
'ගැහැනියගේ පින කුණු මුල්ලේ යැයි කියමනක් තිබේ. එහෙත් අයි.පී.එල්. නැතහොත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ගැන කතා කරද්දී කුණු මුල්ලේ නොව පිරිමින්ගේ ඇත්තේ අයි.පී.එල්. තරගාවලියේ දැයි සිතේ. මේ ඒ ගැන ය.'
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළඟ අදියර සඳහා කණ්ඩායම් විසින් රඳවා ගත් ක්‍රිඩකයන් නිල වශයෙන් නිවේදනය කළේ ය. ඒ අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් සිවු දෙනෙකු බැගින් රඳවා ගැනීමට අවස්ථාව හිමිව තිබිණි.
ඒ අනුව යෂස්වි ජයිස්වාල් රාජස්ථාන් රෝයල්ස් පිල විසින් ඉන්දීය රුපියල් කෝටි 4 ක් ගෙවා තම කණ්ඩායමේ රඳවාගෙන ඇති බව අනාවරණය වුණේ ය. ඊට අමතර ව තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ඔවුහු සිය කණ්ඩායමේ රඳවාගෙන තිබේ.
ඊට සංජු සැම්සන් (රුපියල් කෝටි 14) සහ ජෝෂ් බට්ලර් (රුපියල් කෝටි 10) ඇතුළත් ය . මේ අතුරින් වඩාත් අවධානයට ලක්වූ රඳවා ගැනීම වූයේ යෂස්වි ජයිස්වාල් ය. මේ සමඟ ම යෂස්වි ජයිස්වාල් ගැන බොහෝ සාකච්ඡා සෑම තැනකම සිදුවීමය.
19 වැනි වියේ පසුවන යෂස්වි ජයිස්වාල් මෙවර තරගාවලියේ තරග 10 ක දී ලකුණු 249 ක් රැස් කිරීමට සමත් වූ පිතිකරුවෙකි. මෙවර අයි.පී.එල්. තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තෙවැනි වැඩිම ලකුණුලාභියා වූයේ ද ඔහු ය. ජයිස්වාල් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එක්කර ගත්තේ ද ඉන්දීය රුපියල් කෝටි 2.4කට ය. ඒ තෝරාගැනීම ගැන සෑහීමකට පත්වෙමින් රාජස්ථාන් කණ්ඩායම තවත් වසරක කාලයකට යෂස්වි කෙරෙහි විශ්වාසය තබා ඇත.
යෂස්වි මෙම ස්ථාවරය දක්වා පැමිණීමට ආ ගමන ඉතා දුෂ්කර එකකි. ඔහු කලක් මුම්බායි නගරයේ වීදිවල ගොල්ගප්පා (පානි-පූරි කෑම වර්ගයකි) විකිණුවෙකි. ඔහු උපන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ භාදෝ හි දිස්ත්‍රික්කයේ සුරයවන් නගරයේ ය. තවමත් 19 හැවිරිදි යෂස්වි ජයිස්වාල් කුඩා කල සිට ම ක්‍රිකට් ක්‍රීඩකයකු වීමට දැඩි ආශාවෙන් පෙළුණු පුද්ගලයෙකි. ඔහුගේ පියා භූපේන්ද්‍ර ජයිස්වාල් භදෝහි හි කුඩා කඩයක් පවත්වාගෙන යන අතර මව කාංචනා ජයිස්වාල් යනු ගෘහණියකි.
වයස අවුරුදු 10 දී ඔහු මුම්බායි වෙත යැවීමට තීරණය කළ මව්පියෝ ඔහු මායානගර් වෙත පිටත් කළේ ය. ඒ මුම්බායි හි වර්ලි ප්‍රදේශයේ ජීවත් වූ ඥාතියකු වන සන්තෝෂ් වෙතට ය. මාස 5-6 ක් එතැන රැඳුණු ඔහු අසාද් මයිදාන් පුහුණුවීම් සඳහා ගියේ ය. එහෙත් නෑදෑ ගෙදර කුඩා වූ හෙයින් දිගු වේලාවක් එහි සිටීමට ඉඩකඩ මදි බව කුඩා ජයිස්වාල්ට වැටහිණි. ඉන් පසු, යෂස්වි තම බඩවියත පෝෂණය කිරීම සඳහා අසාද් පිටියේ රාම් ලීලා කාලය තුළ පානි-පූරි (ගොල්ගප්පා) සහ පලතුරු විකිණීමට පුරුදුව සිටියේ ය.
ඒ අතර ඔහු එළකිරි විකුණන වෙළෙඳ සැලක ද සේවය කළ අතර, පසුව කිරිහළේ අයිතිකරු දිනක් ඔහුව සේවයෙන් ඉවත් කර තිබුණේ ය.
මේ අතර ජයිස්වාල්ට උදව් කිරීමට ක්‍රීඩා සමාජයක් ඉදිරිපත් වූයේ ය. ඔහු හොඳින් ක්‍රීඩා කළහොත් පමණක් තමන් හා රැඳී සිටීමට අවසර දෙන බවට කොන්දේසියක් පැනවීමට මෙම ක්‍රීඩා සමාජයේ බලධාරීන් ක්‍රියා කර තිබිණි. ඒ කාලයේ යෂස්විගේ රැකියාව වූයේ පාන් සෑදීමට අත් උදව් දීම ය. මෙහි දී ඔහුට දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය ද ලැබිණි. මේ අතර මුදල් සෙවීම සඳහා යෂස්වි කළේ නැතිවුණු පන්දු සොයා යළි අලෙවි කරන්නට කටයුතු කිරීමයි.
එය එසේ වූයේ තරග පැවැති 'අසාද් මයිඩන්' පිටියේ ක්‍රීඩා කරන තරගවල පන්දු බොහෝ විට නැතිවීම සාමාන්‍ය තත්ත්වයක් වූ හෙයිනි. එලෙස නැතිවන පන්දු සොයා ගත් යෂස්වි ඒවා යළි අලෙවි කර මුදල් ලබා ගැනීමට පුරුදු වී සිටියේ ය.
දිනක් අසාද් පිටියේ ක්‍රීඩා කරන අතරතුර පුහුණුකාරිනී ජ්වාලා සිං ට යෂස්වි නෙත ගැටුණේ ය. එම සිදුවීම ඔහුගේ ගමන් මඟ සම්පුර්ණයෙන් ම උඩු යටිකුරු කර දැමූ සිදුවීමක් විය. උත්තර ප්‍රදේශයේ පදිංචි ජ්වාලා සිංගේ පුහුණුකාරිත්වය යටතේ යෂස්වි ගේ දක්ෂතා දින දින දියුණු විණි. අනතුරුව ඔහු ඉතා හොඳ ක්‍රීඩකයකු බවට ද පත්විය.
පලතුරු වෙළෙන්දාගේ පුතා
කාශ්මීරයේ පළතුරු වෙළෙන්දෙකු ගේ පුතෙකු වු උම්රාන් මලික් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ට එක් වීමට වරම් ලැබූ අතර එම දීගය ඔහුව එක රැයෙන් කෝටිපතියෙක් බවට පත් කළේ ය.
ජම්මු නගරයේ පදිංචි පලතුරු සහ එළවළු වෙළෙන්දෙකු වන අබ්දුල් රෂීඩ්ගේ බාල පුත්‍රයා වූ ඔහු අද ඉන්දීය ක්‍රිකට් ලොව දිදුලන තරුවක් වීමට සුදුසුකම් හිමිකර ගෙන සිටින්නෙකි. 1999 නොවැම්බර් 22 වැනි දා ජම්මු හි ගුජ්ජර් නගර් ප්‍රදේශයේ උපන් උම්රාන් මලික් ක්‍රමික ව වේග පන්දුයවන්නෙක් වශයෙන් වැඩිදියුණු වූ ක්‍රීඩකයෙකි. ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන, දකුණත් වේගපන්දු යවන්නෙකි.
ඔහුගේ දක්ෂතා බැබළුණේ ඔහුගේ පුහුණුකරු රන්දීර් සිං මින්හාස් හරහා ය. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් සිය ක්‍රිකට් දිවියේ තෙවැනි තරගය මුම්බායි කණඩායමට එරෙහිව ක්‍රීඩා කරද්දී උම්රාන් සියලු දෙනා පුදුමයට පත් කරමින්, සිය පන්දු වාරයේ වේගවත් පන්දු කිහිපයක් ම යවමින්, පිතිකරුවන් භීතියට පත් කළේ ය.
එහිදී ඔහු පැයට කිලෝමීටර් 150 ක වේගයෙන් පන්දු යොමු කළේ ය. උම්රාන් මලික් , ටී නටරාජන් වෙනුවට ආදේශකයක් ලෙස ද තවත් අය හැඳින් වූ හ.
ජම්මු සහ කාශ්මීරයේ ගින්නට හසු නොවු තරුණ වේග පන්දු යවන්නා 2021 වාරයේ දී දැල් පන්දු යවන්නකු ලෙස සිය මංගල ගමන ආරම්භ කර ඇත්තේ දීර්ඝ ඉන්දීය ක්‍රිකට් සවාරියක් පිළිබඳ අපේක්ෂා දල්වමිනි.
බන්ධුල ජයමාන්න