
ඒ 2005 වසරේ දිනයකි. බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි දී ක්‍රිකට් තරගයක් පැවැත්වෙමින් තිබිණි. ස්ථානය වූයේ ජැමෙයිකාවයි. ට්‍රිනිඩෑඩ් කණ්ඩායම පන්දුවට පහර දීමේ වාරය තමන් වෙත පවරාගෙන තිබුණේ ය. ඒ වනවිට පිත්ත හසුරුවමින් සිටියේ මර්ව් ඩිලන් නමැති පිතිකරුවා ය. වින්වර්ඩ් කණ්ඩායමේ ෆර්නික්ස් තෝමස් පන්දු යවන්නා විය. තෝමස් පන්දු යැවීම සඳහා දිව එන්නට වූයේ ය. එහෙත් එය නිමා කිරීමට ඔහුට හැකි වූයේ නැත.
එක් වරම මහත් වූ භයංකර ශබ්දයක් නැඟුණේ ය. ඩිලන් මෙන් ම තෝමස් ද පිටියේ ඇද වැටුණ හ. පිටියේ සිටි සෙසු ක්‍රීඩකයෝ හිස් ලු ලු අත දිව ගිය හ. සුළු වේලාවක් ගත විණි. සියලු දෙනාට පිටිය මැද සිදුවූයේ කුමක් දැයි පැහැදිලි වන්නට විය. ඒ ක්‍රිකට් පිටියට අකුණු සැරක් ඇදී විත් තිබිණි.
වහා යුහුසුළු වූ පිරිස් ඩිලන් සහ තෝමස් රෝහල කරා රැගෙන ගිය හ. ඔවුනට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් හ. වාසනාවකි. ඔවුන් දෙදෙනාට ම තවදුරටත් ජීවත් වීමට වාසනාවන්ව තිබිණි. මෙම සිදු වීම හේතු දෙකක් නිසා අතිශයින් ම වැදගත් විය. එනම් එදින අකුණු සැර වැදෙන විට ජැමෙයිකා දූපතට ඉහළ අහසේ වර්ෂාවක කිසිදු ලකුණක්වත් දක්නට නොවීම යි. අහස දිස්වුණේ නිල් පැහැයෙන් දීප්තිමත්ව ය. අදිසි මොහොතක ඇදුණු අකුණෙන් කිසිදු ජීවිතයකට හානි සිදු නොවීම අනික් සිදුවීම ය.
කෙසේ නමුත් හැම දා පොළොවට පතිත වන අකුණු එතරම් අහිංසක ඒවා නොවේ. සාමාන්‍යයෙන් ගණන් බලා ඇති ආකාරයට වාර්ෂික ව ලොව පුරා ම අකුණු සැර වැදීමෙන් දිවි තොරවන පිරිස විශාල ය. මේ රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් ය. මේ නිසා ම කාලගුණ වාර්තා ගැන අනාවැකි පළ කරන විට අකුණු සැර පිළිබඳවත් අනතුරු ඇඟවීමට බොහෝ විට සැලකිලිමත් වෙයි.
ඉහත සිදු වීමට මුහුණ දුන් ක්‍රීඩකයන්ගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවට ඩිලන් ආගන්තුක නැත. ඒ හෙතෙම 1997-2005 අතර කාලයේ දී ටෙස්ට් සහ එක් දින තරගවල දී කොදෙව් දූපත් නියෝජනය කළ ක්‍රීඩකයකු වන බැවිනි. දකුණතින් වේග පන්දු යවමින් ඔහු කොදෙව්වන් වෙනුවෙන් දස්කම් දැක්වී ය.
ක්‍රීඩා ලොව ඉතිහාසය පුරාවට ම අකුණු සැර වැදුණු සැලකිය යුතු පිරිසක් වෙති. එහෙත් ඔවුන් ඩිලන් හෝ තෝමස් තරම් වාසනාවන්ත වූයේ නැත.
ඇපොලොඩෝරස් නම් මලල ක්‍රීඩකයා
ඇපොලොඩෝරස් දක්ෂ මලල ක්‍රීඩකයෙකි. ඒ විශේෂයෙන් ම ජවන ඉසව්වන්ට ය. හෙතෙම මැසිඩෝනියාව නියෝජනය කරමින් පැරණි ඔලිම්පික් උලෙළක දී ජයග්‍රහණය ලැබී ය. සිය ජයග්‍රහණයේ සතුටත් සමඟින් ඔහු තම නිවස කරා පැමිණියේ ය. නමුත් ඔහුට එම ගමන නිමා කිරීමට හැකියාව ලැබුණේ නැත. ඒ අතරමග දී අකුණුසැරයකට ලක් වූ බැවිණි.
බෝල්ඩ් යනු තුරග තරගවල දී දස්කම් දැක් වූ අමෙරිකානු අශ්වයෙකි. බෝල්ඩ් සිය ඉහළ ම ජයග්‍රහණය ලැබුවේ 1951 වසරේ දී ය. එහෙත් තවත් වසරක් ගත වූ විට එම අශ්වයාට සිය ජීවිතය අහිමි වූයේ ය. ඒ ගොවිපළේ සිටින විට දී අකුණු සරකට නිරාවරණය වීමෙනි.
ලොව දෙවැනි නිල නොවන පාපන්දු තරගය පැවැත්වූයේ 1870 වසරේ දී ය. ඒ එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර ය. එහි දී එංගලන්තය නියෝජනය කළ ක්‍රීඩකයකු වූ තෝමස් නෙවිල් කාටර් ය. මේ වාර්තාගත යොවුන් ක්‍රීඩකයා අකාලයේ දී ම සිය දිවිසැරිය නිමා කළේ ය. ඒ දකුණු අප්‍රිකාවේ දී අකුණු පහරකට ගොදුරු වීමෙනි.
කොලොම්බියානු පාපන්දු ක්‍රීඩකයන් වන ජියොවානි කෝර්ඩොවා සහ හර්ගන් ගැවීරියා පුහුණුවීම් අතරතුර දී අකුණු සැර ප්‍රහාරයට ලක්වූයේ එක ම දිනක දී ය. ගැවිරියා එම මොහොතේ දී ම මිය ගියේ ය. ජියොවානි මිය ගියේ තෙදිනකට පසුවයි. මේ අතරින් ගැවිරියා 1994 ලෝක කුසලාන තරගාවලියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකි. මෙම අනතුර සිදු වූයේ 2002 වසරේ දී ය.
අමෙරිකානු ගොල්ෆ් ක්‍රීඩක ජෝශප් හොවාර්ඩ් 1904 ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි විය. තවත් සිවු වසරක පමණ කාලයක් ගත වූ විට අකුණු සැර අනතුරකට ලක් වීමට ඔහුට සිදු විය. එම අනතුරෙන් ජෝශප්ගේ දිවිය නිමාවට පත් වූයේ ය.
ස්කොට්ලන්තයේ ජෝන් වයිට් අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. 1959-1964 අතර කාලයේ දී හෙතෙම ජාත්‍යන්තර තරග 22 ක ට ක්‍රීඩා කළේ ය. දිනක් ඔහු ගොල්ෆ් පිටියකට ගොස් සිටියේ ය. එකවර වැස්සක් ඇද හැලෙන්නට විණි. වයිට් වහා ම ගසක සෙවනට වී හිස මුවාකර ගත්තේ ය. අවාසනාවක මහතක. එම ගසට අකුණක් වැදිණි. වයිට්ගේ දිවියත් ඒ අකුණු පහරින් අවසන් විය.
ජිම් වැලෙන්ටයින් 1890-96 අතර කාලයේ දී එංගලන්තය නියෝජනය කරමින් ජගත් තරග හතරකට ක්‍රීඩා කළේ රග්බි ක්රීඩාවෙනි. 1904 වසරේ දී ඔහු නිවාඩුවක් ගත කිරීමට වේල්සයට ගියේ ය. ඒ තනිව ම නොවේ. සිය බිරියත් ඇගේ සොහොයුරියත් සමඟිනි. මෙම චාරිකාවේ දී අවට සිරි නරඹමින් ඔවුහු තිදෙනා ම තුටින් ඔබ මොබ ඇවිදිමින් සිටිය හ. එක් වරම ඔවුන් වෙත අකුණක් පහත් විණි. මේ අනතුරින් බිරියත් ඇගේ සොහොයුරියත් තවදුරටත් ජීවත් වීමට වාසනාවන්ත වූව ද වැලෙන්ටයින්ට එසේ නොවී ය.
අමෙරිකානු පාපන්දු ක්‍රීඩක ඩග් මිලර්ට 1998 වසරේ දී තම දිවිය නිමා කරන්නට සිදු වූයේ ද අකුණු සැරක් හේතුවෙනි. එහි විශේෂත්වයකුත් ඇත. එනම් දෙවතාවක් ම ඔහු අකුණු සැර ප්රහාරයන්ට ලක්වී තිබීම ය.
2018 වසරේ දී ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඩෙබාබ්රාටා පාල් කොල්කටාවේ දී අකුණු සැර ප්‍රහාරයකට ලක් වූයේ ය. ඒ පුහුණු තරගයකට සහභාගි වෙමින් සිටින විට ය. මිය යන විට පාල් 21 හැවිරිදි වියේ පසුවිණි.
බංග්ලාදේශයේ 16 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන මොහොමඩ් නදීම් සහ මිෂානූර් රහ්මාන් එකම දින එකම මොහොතේ දී මිය ගිය හ. ඒ වර්ෂාව නිසා ක්‍රිකට් පුහුණුව නතර කර පාපන්දු ක්‍රීඩා කරන විට දී ය. අකුණු සැර ඔවුන් හමුවට පැමිණියේ ඒ මොහොතේ දී ය. මේ අවාසනාවන්ත සිදුවීම ඉකුත් වසරේ සිදුවිණි.
ප්‍රශාන්ත ඇල්පිටිය