ඉන්දියාවට ගොස් රට හරහා දුවන්න ශ්‍රී ලංකාවත් සූදානම් | සිළුමිණ

ඉන්දියාවට ගොස් රට හරහා දුවන්න ශ්‍රී ලංකාවත් සූදානම්

 

අසල්වැසි ඉන්දීය මලල ක්‍රීඩා සම්මේලනය විසින් දකුණු ආසියාතික රටවලට පමණක් සීමා වන පරිදි අභිනවයෙන් සංවිධානය කර ඇති අන්තර්ජාතික රට හරහා දිවීමේ තරගාවලිය එළඹෙන ජනවාරි මස 15 වැනි දින පැවැත්වෙයි.

ඉන්දියාවේ නාගලන්තයේ පිහිටි කොහිමා නගරයේ දී මෙවර දකුණු ආසියාතික රට හරහා දිවීමේ තරගය ක්‍රියාත්මක කෙරෙන අතර, එය ඉසව් 04 ක් යටතේ පැවැත් වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව ද සහභාගි වීමට පියවර ගෙන ඇත්තේ මෙරට දුර දිවීමේ ක්‍රීඩකයන් සඳහා තවත් අන්තර්ජාතික මට්ටමේ තරඟ අත්දැකීමක් ලබාදීම උදෙසා මෙන්ම කලාපීය ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙනි.

දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිතව පදක්කම් සටහන් කරගත් අතීත ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකි. ඒ මඟ අනුගමනය කරමින් මෙවර තරගාවලියට එක් වීමේ අදහසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ වන විට පෙර පුහුණුවීම්වල නිරත වෙමින් සිටිති.

ඔවුන්ට අවස්ථාවක් ලබා දීමේ අරමුණ ඇතිව හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ‍ ක්‍රීඩාංගණ පරිශ්‍රයේ දී මෙවර තෝරා ගැනීමේ පරීක්ෂණය පැවැත්විණි.

විවෘතය පිරිමි සහ කාන්තා තරගයට අමතරව යොවුන් බාලක සහ බාලිකා කණ්ඩායම් තෝරා ගැනීමද මෙහි දී සිදු කෙරුණි.

පවත්වන ලද තෝරා ගැනීමේ පරීක්ෂණයේ දී පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අන්තර්ජාතික තරග අත්දැකීම් සහිත ක්‍රීඩකයකු වූ යුද හමුදාව නියෝජනය කළ ආර්.එම්.එස්. පුෂ්ප කුමාර සමත් විය. කිලෝමීටර් 10ක දුර ප්‍රමාණයකින් සැදුම්ලත් වූ මෙම තරගය නිම කිරීම සඳහා ඔහුට ගතවූ කාලය මිනිත්තු 32.09කි.

මෙම තරගයට සමගාමීව පැවැති කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදාව නියෝජනය කළ ජාතික මලල ක්‍රීඩිකාවක වන එම්.එස්.පී.එම්.පෙරේරා සමත් වූවා ය. ඒ සඳහා ඇය සටහන් කළ තරග නිමි කාලය මිනිත්තු 38.22 කි.

පිරිමි- 1.ආර්.එම්.එස්. පුෂ්ප කුමාර (මි. 32.09), 2.එස් ආර්. විජේවික්‍රම (මි.32.10), 3.කේ. ෂම්මුගේෂ්වරන් (මි.32.23), 4.එච්.ඩී.එස්.ඩී. ගුණසේකර (මි.33.05), 5.වී. වක්ෂාන් (මි.33.19), 6.ටී.ඩබ්ලිව්. රත්නපාල (මි.33.25), 7.ජේ.කේ. බණ්ඩාර (මි.33.34), 8.පී.කේ. මාලගම්මන (මි.33.41), 9.ආර.ඒ.එස්. ලක්මාල් (මි.34.59).

කාන්තා- 1.එම්.එස්.පී.එම්. පෙරේරා (මි. 38.22), 2.එච්. එම්. ඩබ්ලිව්.ජී. ඩබ්ලිව්. එම්. හේරත් (මි. 39.40),3.එච්. එම්.සී.එස්. හේරත් (මි. 39.41), 4.වී. ක්‍රිෂාන්තනී (මි. 40.07), 5.ඩබ්ලිව්.එම්. නිමේෂා (මි. 40.51), 6.ඒ.එස්.එන් බණ්ඩාර (මි. 40.55) 7.ආර්.ඒ.ලක්ෂිකා මධුවන්ති (මි. 41.45), 8.එච්.ඩබ්ලිව්.සී. දමයන්ති (මි. 41.57), 9.ඒ. අනූෂා (මි.42.11).

යොවුන් බාලක තරග ප්‍රතිඵලය

( කිලෝ මීටර් 08)- 1. කේ. එම්. ජාලිය සංගීත් (මි. 28.59), 2. ඇන්ජලෝ බෙනඩික්ට් (මි.29.05), 3. ඒ.සී.පී. මධුභාෂණ (මි.30.09), 4. ටී.එන්.එම්. බණ්ඩාර (මි.30.18), 5 ඒ. කේ. ඩී. ඩී. දිල්හාරා (මි.30.53), 6. ඩබ්ලිව් කේ චමින්ද (මි.31.17), 7. එස්. කබිලාන් (මි.31.33), 8. එම්.ඒ. පසිදු (මි.31.36), 9. එච්.ඒ.වී.එස්.කේ. සම්පත් (මි.31.58)

යොවුන් බාලිකා තරග ප්‍රතිඵලය

(කිලෝ මීටර් 06) - 1. ඩබ්ලිව්. එම්. කසුනි (මි.25.03), 2. ජී. ඩබ්ලිව්.ඕ. එන්. ෆොන්සේකා (මි.25.39), 3.හෂිනි ලක්ෂානී (මි.26.22), 4. ඩබ්ලිව්.ටී. පේෂිලිකා (මි.26.28), 5.බී.ඩබ්ලිව්. නයනා සෙව්වන්දී (මි.27.31), 6. ටී.ජී. හිමන්සී (මි.28.01), 7.ඒ.එම්.පී.ජී.ඒ. දිව්‍යාංජලී (මි.28.42), 8.බී.පී.ජී.පී.එම්. බාලසූරිය (මි.28.58), 9.එම්.කේ.එච්. භාග්‍යා (මි.29.04)

---------------------------------

2022 අයි.සී.සී. වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයට ශ්‍රී ලංකාව ඩී කාණ්ඩයෙන්

 

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි දී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ තරග සැලැස්ම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඩී කාණ්ඩයේ තරග වැදීමට නියමිතව ඇත. අවුරුදු 19 න් පහළ අයි.සී.සී. තරගාවලිය පැවැත්වෙන්නේ 14 වැනි වතාවටය.

ශ්‍රී ලංකාව සමඟ එම කාණ්ඩයේ තරග වදින අනික් කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තයයි.

මෙවර තරගාවලිය සඳහා රටවල් 16 ක් සහභාගි වෙයි. තරගාවලිය තරග 48 කින් සමන්විතය. ලබන වසරේ ජනවාරි 14 වැනි දා සිට පෙබරවාරි 5 වැනි දා දක්වා තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ 10 ක් යොදා ගැනේ.

නවසීලන්ත කණ්ඩායම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සඳහා මෙවර සහභාගි නොවන බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. ඒ නිරෝධායන අර්බුදයක් හේතුවෙනි. ඒ අනුව ස්කොට්ලන්තයට තරගාවලිය විවෘත කර ඇත්තේ නවසීලන්තය වෙනුවට ය.

ඒ කාණ්ඩය යටතේ බංග්ලාදේශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග කරන අතර, ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව හා උගන්ඩාව තරග වදිනුයේ බී කාණ්ඩයෙනි. ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, පැපුවා නිව්ගිනියාව හා සිම්බාබ්වේ තරග වදිනුයේ සී කාණ්ඩය යටතේ ය.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හා අවසන් මහා තරග සර් විව් රිචඩස් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ. වත්මන් ශූරයන් වශයෙන් බංග්ලාදේශය ගෞවරයට පාත්‍ර වන අතර සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් මෙම තරගාවලිය ජයගෙන ඇත්තේ 2016 වසරේ දී ය.

 

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ කාණ්ඩ සැලැස්ම

ඒ කාණ්ඩය – එංගලන්තය, බංග්ලාදේශය, කැනඩාව , එක්සත් අරාබි එමීර්

බී කාණ්ඩය – ඉන්දියාව, දකුණු අප්‍රිකාව , අයර්ලන්තය, උගන්ඩාව

සී කාණ්ඩය – පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, පැපුවා නිව්ගීනියාව හා සිම්බාබ්වේ

ඩී කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව , බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය

Comments