රන් ටිකිරි සිනා මුව මුව නැංවූ පුංචි සිත්තරුන්ගේ හපන්කම් | සිළුමිණ

රන් ටිකිරි සිනා මුව මුව නැංවූ පුංචි සිත්තරුන්ගේ හපන්කම්

 

ඉකුත් සෙනසුරාදා එනම් දෙසැම්බර් 11 වැනිදා මාස ගණනාවකට පසු කොළඹ මහජන පුස්තකාලය කුඩා දරුවන්ගේ සුන්දර සිනා හඬින් පිරී ගියේය. එපමණක්ද නොව පාට පාට ඇඳුමෙන් සැරසුණු හුරතල් කුඩා දරුවන් ගත පුරා වර්ණ තවරාගෙන තම නිදහස් සිතිවිලි තෙලි තුඩඟ රඳවා කඩදාසි මතට ගෙන එන අති සුන්දර දසුන දැක බලා ගැනීමේ හැකියාවද එහි පැමිණි වැඩිහිටියන්ට උදා විය.

එයට හේතුව වූයේ එදින ලේක් හවුස් ආයතනයේ අධ්‍යාපන ප්‍රකාශන ඒකකය මගින් සංවිධානය කරන ලද ‘මුතු අහුර‘ චිත්‍ර තරගය පැවැත්වීමය.

ලේක් හවුස් පුවත්පත් ආයතනය අධ්‍යාපන ප්‍රකාශන ඒකකය ආරම්භ කර සිටියේ 2020 ජූලි මස පළමුවැනිදාය. එතැන් සිට අප රටේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මුද්‍රණය කරන ලද මාසික ප්‍රකාශන කෙරෙහි අති විශාල ජනතා අවධානයක් හිමි විය. ඒ හේතුවෙන්ම ප්‍රථමයෙන් ප්‍රාථමික එක, දෙක, තුන, හතර සහ පහ වසර අරඹයා ආරම්භ කරන ලද මුතු අහුර මාසික ප්‍රකාශනයන්ට අමතරව හය වසර සිට එකොළහ වසර දක්වා වන පාසල් සිසුන් වෙනුවෙන් සිත්මිණ මාසික ප්‍රකාශනයද ආරම්භ කර පවත්වාගෙන යෑමට ලේක් හවුස් අධ්‍යාපන ප්‍රකාශන ඒකකයට හැකියාව හිමි විය. මීට අමතරව බුදු සරණ දහම් පාසල මාසික පුවත්පත ආරම්භ කරන ලද්දේ රටේ දරුවන් අතර දහම් දැනුම් වර්ධනය කිරීමට මෙන්ම බෞද්ධ පුනරුදය ඇති කිරීමද අරමුණු කර ගනිමිනි. මේ සියල්ලට අමතරව රටේ දමිළ භාෂාව වහරන දරුවන් වෙනුවෙන්ද ලේක් හවුස් අධ්‍යාපන ප්‍රකාශන කිහිපයක්ම මුද්‍රණය වේ.

පසුගියදා පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති චිත්‍ර තරගයේ ප්‍රධාන අරමුණ වූයේ දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ හැකියාව වර්ධනය කිරීම වූ අතර අමතරව කොවිඩ් වසංගත තත්ත්වය මත නිවෙස් තුළටම කොටුවූ දරුවන්ගේ නිදහස් සිතිවිලි අවදි කර ගැනීම සහ ඔවුන්ගේ චින්තන පරාසය පුළුල් කිරීම වැනි විවිධ අරමුණු රැසක්ද ඒ සමග විය. එක සිට හතර වසර දක්වා සෑම මුතු අහුර ප්‍රකාශනයක් සමගම පාසල් දරුවන්ගේ චිත්‍රවලට අවස්ථාව ලබා දී තිබූ අතර තරඟය සඳහා චිත්‍ර 50,176ක් ලැබිණි. ඉන් තෝරාගත් 1,500ක් දෙවන අදියරට යොමු කෙරිණි. එම චිත්‍ර අතරින් එක් ශ්‍රේණියකින් සුවිශේෂ චිත්‍ර 100 බැගින් පසුව තෝරා ගනු ලැබූ අතර, එම චිත්‍ර අතරින් අවසන් වරට හොඳම චිත්‍ර 25 බැගින් එක් වසරකින් තෝරා ගනු ලැබීය.

 

මෙලෙස දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ අධීක්ෂණය යටතේ තෝරා ගැණුනු කුඩා සිත්තරුන් සිය දෙනාට පසුගිය එකොළොස්වැනිදා කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයට ආරාධනා කරණු ලැබූ අතර එහිදී උදෑසන 10ට ආරම්භ වුණු චිත්‍ර තරගය සඳහා මේ කුඩා සිත්තරු සජීවීව චිත්‍ර අඳින්නට වූහ.

ඔවුන්ගේ එම චිත්‍ර ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පීන්ගෙන් සමන්විත වූ මඬුල්ලක් විසින් නිරීක්ෂනය කරණු ලැබූ අතර එමගින් ජයග්‍රාහකයන්

නිවේදනය කරණු ලැබීය.

 

එදින සවස තුනට පමණ ආරම්භ වූ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහභාගි විය. ලේක් හවුස් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, නීති හා පාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන සහ වැඩබලන සාමාන්‍යාධිකාරි සුමිත් කොඩිතුවක්කු ඇතුළු ලේක්හවුස් පාලනාධිකාරියේ නිලධාරීන් රැසක්ද, සිත්මිණ ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ වින්දිත සංස්කෘතියේ ග්‍රහණයෙන් රටේ දරුවන් මුදවා ගත යුතු බවයි.

පසුව ත්‍යාග ප්‍රධානෝත්සවය ආරම්භ වූ අතර සෑම වසරකම පළමුවැනි ස්ථානය දිනා ගත් දරුවන් සඳහා ටැබ් පරිගණකයක්, දෙවැනි ස්ථානය දිනාගත් දරුවන් සඳහා මවුන්ටන් බයිසිකලයක් සහ තුන්වැනි ස්ථානය දිනාගත් දරුවන් සඳහා වටිනා පොත් පාර්සලය බැගින්ද සහතික පත්‍ර ද ප්‍රදානය කෙරිණි.

ඡායාරූප - රංජිත් අසංක / සාලිය රූපසිංහ සහ තුසිත චන්ද්‍රකුමාර

 

Comments