
‘ඇය සොඳුරු බවින් පිරි යෞවනයේ එළිපත්තේ සිටින ක්‍රීඩිකාවකි. රූපත් බවින් වුව සමාජයේ ඉදිරියට යා හැකි ඈ දැන් ලෝකයේ පෙරගමන් යමින් ඇත්තේ ක්‍රීඩිකාවක ලෙස ය. ඒ දිගු ක්‍රීඩා ගමනක නිරත වෙන්න තමන් සූදානම් බව එක් ක්‍රීඩාවකින් නොව ක්‍රීඩා ත්‍රිත්වයක් තුළින්ම ප්‍රකාශ කරවමිනි. මේ ඇගේ ඒ අසමසම දිරියවන්ත ගමනේ සොඳුරු කතාවය.’
ඇගේ පියා ජනමාධ්‍යවේදී අනූෂ සංජීව එදිරිමුනි ය. මව ලේඛිකාවක වන ක්‍රිෂාන්ති කුලසූරිය ය. ඇ මෙම මාපියනට දාව උපත ලැබූයේ 2002 වසරේ දෙසැම්බර් 24 වැනිදා, අගනුවරදී ය. පියා හා මව එක්ව ඇගේ නම ශෙනුකි ලෙස තැබූයේ තිදරු පවුලක මද්දුම දියණියට එය උචිතම නම වනු ඇතැයි සිතා ය. ශෙනුකිගේ වැඩිමහල් සහෝදරිය ඉෂිනි ඔයාෂා පෞද්ගලික විශ්වවිද්‍යාලයක, විද්‍යා අංශයෙන් උපාධියක් හදාරන අතර, බාල සොහොයුරා අවුරුදු 4 ක් වයසැති නෙත් අභිමන්යු ය.
ශෙනුකි කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි සිසුවියකි. පාසල් යෑමටත් ප්‍රථම, ඈ ජිම්නාස්ටික් ක්‍රීඩාවට දක්ෂතා දැක්වූවා ය. එම ක්‍රීඩාව අරඹන විට ඇගේ වයස අවුරුදු 4 කි. පාසල් අධ්‍යාපනයට සමගාමී ව, ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරත වූ ශෙනුකි 2015 වසරේ දී පැවැති ජාතික ක්‍රීඩා උලෙළේ දී, වයස 15 න් පහළ සමාන්තර දණ්ඩ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තා ය. එසේම 2019 වසරේදී පැවැති සමස්ත ලංකා පාසල් අවුරුදු17න් පහළ, හා ජාතික ක්‍රීඩා උළෙලේ සමාන්තර දණ්ඩ ඉසව්වේ රන් පදක්කම් දිනා ගත්තා ය. එම ජයග්‍රහණය සමඟ ජාතික ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානය ඇයට හිමිවිණි. ශෙනුකි 2016 වර්ෂයේ යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී, ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වෙන් සිව්වන ස්ථානයට පැමිණි අතර, 2017 වසරේදී ආසියානු ශූරතාවට ද සහභාගි විය.
ඊට අතිරේකව ශෙනුකි, තම කාලය උපරිම කාර්යක්ෂමතාවයෙන් ප්‍රයෝජනයට ගනිමින්, 2014 වසරේදී කිමිදුම් ක්‍රීඩාවටද පිවිසුනා ය. එවිට ඇගේ වයස අවුරුදු 12 ක් විණි. ඈ එම කිමිදුම් ක්‍රීඩාව තුළින් වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ, ජාතික ශූරිය බවට පත්විය. ඒ 2018 වර්ෂයේ ජාතික වයස් කාණ්ඩ ශූරතාවයේ දී ය. 2019 වසරේ ද ඈ ජාතික ශූරිය බවට පත්වූවා ය.
වයස අවුරුදු 16 ක් වන විට ක්‍රීඩා 2ක ජාතික ශූරිය වූ ශෙනුකිට, තම ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යෑම පිණිස, බර ඉසිලීම් ආදී ව්‍යායාම් වල නිරත වූ අතර පසුව සවිඑසවීමේ (Powerlifting) ක්‍රීඩාවට වඩා නැඹුරු විණි. එය ඈ සිය තෙවැනි ක්‍රීඩාව ලෙස මෙය තෝරා ගත් අතර මෙම වසරේ පැවැති සවිඑසවීමේ ජාතික මහා තරාගාවලියේ කිලෝ ග්‍රෑම් 47 විවෘත බර කාණ්ඩයේ නව වාර්තා දෙකක් තබමින් රන් පදක්කම් තුනක් දිනා දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් විය.
ඒ අනුව ඈ මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ එකිනෙකට වෙනස් ක්‍රීඩා ත්‍රිත්වයකින් ජාතික මට්ටමේ රන් පදක්කම් ලද ළාබාලතම ක්‍රීඩිකාව ලෙසට ක්‍රීඩා වාර්තා පොතට ඇතුළත්ව තිබේ.
මෙම ෙමස 24 තුර්කියේ පැවැත්වෙන ආසියානු සවිඑසවීමේ ශූරතාව සඳහා සුදුසුකම් ලැබූ එක ම කාන්තා තරගකාරිය වන ශෙනුකි ය.
ඈ ඒ සම්බන්ධයෙන් ‘ක්‍රීඩා’ වෙත මෙසේ පැවසූවා ය.
"මට ලොකු විශ්වාසයක් තියෙනවා මෙම ආසියානු සවිඑසවීමේ තරගා-වලියෙන් මට අපේ රටට පදක්කමක් දිනා දෙන්න පුළුවන් කියලා. වෘත්තීය ක්‍රීඩිකාවක් ලෙස ජාත්‍යන්තරයේ ජය-ග්‍රහණය රැසක් මව් රටට ගෙනඑන එක තමයි මගේ අරමුණ. මගේ පුහුණුකරුගේ ආශිර්වාදයත් සමග සිව්වැනි ක්‍රීඩාව ලෙස කාය වර්ධනයට යොමුවෙන්නත් කැමැත්තක් තියෙනවා. ඒ වගේ ම ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා හැකියාව වර්ධනය කරන ශරීර යෝග්‍යතා පුහුණුකරුවකු (Strength and Conditioning Coach) වෙන්නත්, ඒ සඳහා වැඩිදුර අධ්‍යාපනයේ නිරත වෙන්නත් අදහසක් තියෙනවා. මගේ පුංචි කාලේ ඉඳලම තියෙන ලොකු හීනයක් තමයි විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදිකිරීම. ඒ හීනයත් මම කොහොම හරි සැබෑ කරගන්නවා."
සිය බලාපොරොත්තු පවසන්න වගේ ම තමාට මෙතනට එන්න අතහිත දෙන්න උදව් කළ අය මෙනෙහි කරන්නත් ශෙනුකි අමතක කළේ නැත.
"මම අද මෙතන ඉන්නෙ මගේ අම්මයි තාත්තායි නිසා. ක්‍රීඩා දක්ෂතාවය තිබුණු පලියට ම ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න අමාරුයි. ක්‍රීඩිකාවක් ලෙස ශරීර යෝග්‍යතාව පවත්වාගෙන යන්න ඕනැ. ඒවාට අදාළ කෑම වට්ටෝරුවක් තියෙනවා. ක්‍රීඩාවට අදාල ඇඳුම් පැලඳුම් තියෙනවා. මගේ මාසික නඩත්තුවට රුපියල් ලක්ෂයක් විතර වියදම් වෙනවා. ඒ වගේ ම ජාත්‍යන්තර තරග වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත්‍රයේ සිට සියලු වියදම් දරන්නෙත් මගේ දෙමව්පියන්. උදාහරණයක් විදියට ඉදිරියට සහභාගි වන ආසියානු තරගාවලියට ලක්ෂ 4 ක් විතර යනවා. තව දරුවො දෙන්නෙකුත් සිටිය දී, විවිධ අපහසුකම් මැද, මගේ සියලු වියදම් දරන, මාව ක්‍රීඩාවට දිරිමත් කරන මගේ දෙමව්පියන්ට මම ණයගැතියි. ඒ වගේ ම මගේ ජිම්නාස්ටික් පුහුණුකරුවන් වන ඇන්ටන් ඩයස් හා තරිඳු පෙරේරා යන මහත්වරුන්ටත්, කිමිඳුම් පුහුණුකරු චානක වික්‍රමසිංහ මහතාටත්, සවිඑසවීමේ පුහුණුකරු රන්සිලු ජයතිලක මහතාටත්, පුහුණුකරු විමුක්ති ද සොයිසා මහතාටත්, ඉතා ගෞරවාන්විත ව ස්තුතිවන්ත වෙනවා."
ගුවනේ පාවෙමින්, ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතවෙමින්, ජල පතුලේ ම කිමිඳුම් ක්‍රීඩාවේ නිරතවෙමින්, මිහි-පොළව තුළ යකඩ සමග ඔට්ටු වෙන ශෙනුකිගේ දිගු ගමනට හැකි සෑම දෙනා ම සහාය වීම, ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයේ බැබළවීමට දක්වන සහයෝගයක් වනු නොඅනුමාන ය.
යෙනුක සිසිල්චන්ද්‍ර