සමාගම්වලට විකිණුනු දොස්තරලාගෙන් සේනකට විරෝධයක් | සිළුමිණ

සමාගම්වලට විකිණුනු දොස්තරලාගෙන් සේනකට විරෝධයක්

 

පෝස්ටර්, බැනර රටපුරා ප්‍රදර්ශනය විය.ඒ සමඟ ම සේනකට මෙබඳු දුරකථන ඇමැතුම් ද ලැබෙන්නට විය.

“තමුසෙගෙ ආයුෂ කෙටියි. කොංගෝවේ ලුමුම්බාට වුණු වැඩේ මතකයි ද? ගල් පරුවත එක්ක හැපෙන්න තරම් තමුසෙගෙ ඔළුව හයිය නැහැ.”

“වෛද්‍ය පීඨයේ වැඩ කරගෙන ඉන්නවා අයිසේ, ඔය සංස්ථාවෙන් අයින් වෙනවා.”

වැඩ බරින් මිරිකුණ ද සේනක දෙතුන් මසකට වරක් ගමට ගියේ ය. මහනුවර තේ වතුවල ලැයින් කාමරවලට ද ගියේය. ගැමියන් සමඟ කම්කරුවන් සමඟ කතාවට වැටුණේ ය.

“කොහොමද ඉතින්...?”

“ඔහෙ ඉන්නවා තමයි. බඩු මිලයි...”

“බේත් මිල?”

“බේත්වලට නම් දැන් ඉස්සර වගේ සල්ලි යන්නෙ නැහැ. ස්පිරිතාලෙන් ඕන කරන බේත් ඔක්කොම ලැබෙනවා. පිටින් ගන්න නියම කරන බේතුත් ඉස්සර වගේ නොවෙයි. හරිම ලාබයි. ඒ ගැන නම් සන්තෝසයි. බඩු මිල නම්...!”

සේනක ඔවුන්ගෙන් සමුගන්නේ දුක ද සතුට ද මුසු සිතිනි.

සේනක රට තුළ තබාගත යුතු අත්‍යවශ්‍යම ඖෂධ වර්ග 171 ක් නම් කෙළේ ය. එක ඖෂධයක්වත් අඩු නොවන සේ ඖෂධ සැපයීම පිළිබඳව සේවකයන් අවධානයෙන් සිටිය යුතුයි.

“ජීවිතයත් මරණයත් අතර සටනේදී මරුවා පැරදවීමට රෝගියාට උදවු කිරීමට ඇති සාධකයයි ඖෂධය. වෛද්‍යවරයා කොපමණ දක්ෂ වුණත් කලට වේලාවට ඖෂධ නොලැබුණොත් රෝගියා මිය යන්නට පුළුවන්. මේ නිසා හැමවිට ම අත්‍යවශ්‍ය ඖෂධ රට තුළ ඇද්ද? නැත්නම් කොපමණ ගෙන්වා ගත යුතුද? කොපමණ නිපදවා ගත යුතුද? යන ප්‍රශ්නවලට ඔබ ළඟ පිළිතුරු තිබිය යුතුයි” සේනක දිනක් සේවක කමිටු රැස්වීමකදී කීය.

සේවකයෝ මහත් කැපවීමෙන් ඒ ඉල්ලීම ඉටු කළහ. එහෙත් එක් අවස්ථාවක සේනකට සේවකයකු සේවයෙන් පහ කිරීමට සිදුවිය. එදා සේනක සිය මේසය වටා ඇවිදිමින් හිසට තට්ටුකර ගනිමින් යමක් හෙමින් කොඳුළේය. ඔහු තීරණයකට බැස්සේ ය. රැකියාවක් නැතිවීම මිනිසකුට ජීවිතය අහිමිවීමක්. එහෙත් ඖෂධ සංස්ථාව තුළ අකාර්යක්ෂම වීම, අකටයුතු සිදුවීම, ජීවිත දහ දහසක් අහිමිවීමක්... අත්‍යවශ්‍ය එක් ඖෂධ වර්ගයක් ලංකාවට ගෙන ඒම පමාවීමට එක් සේවකයකු වග කිව යුතු විය. ඔහු නිසා සිදුවූ පාඩුවට ජීවිතවලින් වගකීමට සිදුවනු ඇත. බිබිලේ ක්‍රියාත්මක විය. ඒ සේවකයාට රැකියාව අහිමිය. නොගෙන්වූ ඖෂධය වහා ගෙන්වීමට විශේෂ ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදු විය.

දිනක් සේනක බිබිලේ සංස්ථාවේ සිට අමාත්‍යාංශයට ගියේ අතරමගදී සංස්ථා සේවකයකු සිටිනු දුටුවේය.

“කොහේද යන්නේ?”

“කොම්පඤ්ඤවීදියට”

“නඟින්න. මම එතනට ගිහින් දාන්නම්.”

සේවකයා සේනකගේ රියෙන් ගොස් අවශ්‍ය තැන දී බැස්සේ ය.

“ස්තුතියි” කියන විට ඔහුගේ තොල් පැටලිණ.

ඊට පසු සතියම ඔහු ගෙවූයේ නොසන්සුන්වය. සේනකට මුහුණදීම ඔහුට අපහසු විය.

“මා එදා ඔෆිස් එකෙන් පැනල ගියා. සර්ට මම අහුවුණා. ඒත් මට දොස් කීවේ නැහැ. මං වරදක් කළේ.” ඔහුට පසුතැවිල්ල දරා ගැනීම අපහසු විය.

ඊළඟ සතියේ පැවති සේවක කමිටු රැස්වීමේ දී ඒ සේවකයා පාපෝච්චාරණයක් කළේ ය.

“මට මේක ඉවසන්න බැහැ. හිතේ දුක පැසවනවා. එදා මා පැනලා ගියාට මට සමාවෙන්න.”

බිබිලේ අනුකම්පාවෙන් ඔහුට කන්දුනි.

“රාජකාරි කළා කියලා පෞද්ගලික වැඩ අත අරින්න ඕන නැහැ. මින් පසු ඒ වගේ දෙයක් කරන විට පූර්ව අනුමැතියක් ගන්න.”

ඉන්පසු ඒ සේවකයාගෙන් එබඳු වරදක් නොසිදුවිණි.

ඖෂධ සංස්ථාවේ කටයුතු කඩාකප්පල් කිරීමට සංස්ථාවේ සේවය කරන අයගෙන් කීප දෙනකු ඩැහැ ගැනීමට ඖෂධ සමාගම් ගත් වෑයමෙන් පළක් නොවිණි. සේවකයෝ උතුම් අරමුණක පිහිටා සිටියහ. උපසේන ජයරත්නගේ නායකත්වයෙන් යුතු සේවක පිරිස ඩොලර් කෝටි ගණනකටවත් මිලට ගත නොහැකි විය. එහෙත් ඒ ස්ථානවලට ලංකාවේ ප්‍රධාන පුවත්පත් කීපයක් සහ වෛද්‍යවරු සංස්ථාවට එරෙහිව ප්‍රචාරන කටයුතුවලට යොදා ගත හැකි විය.

“සමාජවාදී රටවලින් ගෙන්වන ඖෂධ තත්ත්වයෙන් බාලයි.”

මිලට විකුණුනු පුවත්පත් සහ වෛද්‍යවරු කීහ.

“සමාජවාදී රටවලින් බේත් ගෙන්වීමේදී කිසිවකුට කොමිස් ගන්නට හෝ වෙනත් ලාබ ප්‍රයෝජන භුක්ති විඳින්නට හෝ ඉඩක් නැහැ. ඒ නිසයි ඔය චෝදනාව” සේනක පිළිතුරු දුන්නේ ය.

පෝලන්තයෙන් ගෙන් වූ ඉන්සියුලින් පුවත්පත්වල සහ ඇතැම් වෛද්‍යවරුන්ගේ අවඥාවට ලක්විය. රසායනාගාරවල, කොළඹ, යාපනේ සහ මහනුවර රෝහල් චිකිත්සාගාරවල පරීක්ෂණ පවත්වා ඒ ඉන්සියුලින් උසස් තත්ත්වයේ බව ඔප්පු කළ සංස්ථාව ඔවුන් දුර්මුඛ කළේ ය.

“ඖෂධවල තත්ත්වය හා බෙදාහැරීම නිශ්චය කරන තුරු සංස්ථාව මඟින් ඖෂධ සඳහා අමුද්‍රව්‍ය ගෙන්වීම නවත්වනු” යි එක්තරා සංගමයක් ඉල්ලීය.

“ගිය අවුරුද්දට පෙර ඖෂධ තත්ත්ව පරීක්ෂණ සඳහා මේ රටේ කිසිම වැඩපිළිවෙලක් නොතිබුණු බව ඔය ඇත්තන් දැන සිටියේ නැද්ද”යි සේනක ‘ජනවේගය’ පුවත්පතට ලිපියක් ලියමින් ඒ සංගමයෙන් ඇසීය.

සංස්ථාව, ඖෂධ සඳහා අමුද්‍රව්‍ය ගෙන්වීමට විරුද්ධ වන අය අතර ලංකා ඖෂධ නිෂ්පාදන සංගමය ද විය. පෞද්ගලික ඖෂධ නිෂ්පාදන ආයතන පහළොවෙන් හතක් ම මේ සංගමයට අයත් විය. ඇම්.ඇප්.ජේ. කර්මාන්ත සහ මැක්වුඩ්ස් සමාගම ඇතුළු ආයතන අටක් සංස්ථාවේ වැඩපිළිවෙලට සහාය පළ කළේ ය.

1973 ජූනි 16 වැනිදා ‘ජනවේගය’ පුවත්පත බේත් මුදලාලිලා පිළිබඳව පළ කළ ලිපියේ මෙසේ සඳහන් විය.

“කලින් පෞද්ගලික අංශය මඟින් කිලෝග්‍රෑමයකට පවුම් දෙසීයක් ගෙවා මෙරටට ගෙන්වන ලද ‘ඇම්පිසිලියා’ නමැති ඖෂධය, ඒවා කලින් ගෙන්වූ ‘බී වෑම්’ නමැති සමාගමෙන් ම ඖෂධ සමාගම දැන් ගෙන්වන්නේ පවුම් තිස් අටකට ය. පියර් සමාගම ටෙට්රසයික්ලින් නමැති ඖෂධය සඳහා කිලෝ ග්‍රෑමයකට රුපියල් 611 ක් වැය කරයි. එහෙත් ඖෂධ සංස්ථාවට මේ බෙහෙත් නමගිය ආයතනයකින් ගෙන්වීමට වැයවන්නේ රුපියල් 125 ක් පමණි.

විදේශීය ඒකාධිකාරි කර්මාන්ත සමාගම් රටේ ආර්ථික නිදහසට බලපාන මේ වැදගත් ප්‍රශ්නයේ දී මෙබඳු ද්‍රෝහී පිළිවෙතක් ගන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකි ය. ඒ සමඟම අපේ ජාතික කර්මාන්ත ආයතන දහයක් ඖෂධ සංස්ථා වැඩපිළිවෙලට සහයෝගය පළ කිරීම, නිදහස් මතධාරී දේශප්‍රේමීන්ගේ ප්‍රීතියට හේතුවේ. නව සමාජයක් ගොඩ නැඟීම සඳහා රටක් හා ජාතියක් වශයෙන් අප ගෙන යන අරගලයේ දී අධිරාජ්‍යවාදී සූරා කන්නන් හා ඒකාධිපතින් කරන බලපෑම් පරාජය කිරීමේ වැදගත්කම මේ සිද්ධියෙන් පැහැදිලි වේ.

ජනවේගය - 1973.06.16

ජනතාව අතර සංස්ථාව පිළිබඳව කලකිරීමක් ඇති කිරීමට ගෙන ගිය සංවිධානාත්මක කූට ව්‍යාපාරයට පිළිතුරු දිය යුත්තේ ක්‍රියාවන්ගෙන් බව කී සේනක බිබිලේ, බේත් පෙති සහ කරල් නිෂ්පාදනය වැඩි කරන ලෙස නිෂ්පාදකයන් ගෙන් කාරුණිකව ඉල්ලීය. නිෂ්පාදකයෝ ක්‍රියාත්මක නොවූහ. සේනකට කන් නුදුන්හ.

පෞද්ගලික නිෂ්පාදකයන් නිපද වූ බේත් පෙති එක් කෝටි අසූ ලක්ෂය, පනස් හය කෝටියක් දක්වා ද, කරල් හතළිස් ලක්ෂය තුන්කෝටි හය ලක්ෂය දක්වා ද වැඩි කිරීමට සැලසුම් කළ සේනක ඒ පිළිබඳ සාකච්ඡාවක් සඳහා 1973 අප්‍රේල් 06 වැනිදා පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයන් කාර්යාලයට කැඳවීය.

ලාංකික නිෂ්පාදකයන් ඒ සඳහා කැමැත්ත පළ කළ ද ඖෂධ නිෂ්පාදන විදේශ සමාගම් ඊට විරෝධය පළ කළේ ය‍.

“ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි අඩු මිලට පිටරටවලින් ගෙන්වනවා. ඒ පිළිබඳ සම්පූර්ණ අයිතිය අපේ සංස්ථාවට පැවරෙනවා. ඔබ කළ යුත්තේ අප ගෙන්වන අමුද්‍රව්‍යවලින් අපට අවශ්‍ය ප්‍රමාණයට පෙති සහ කරල් නිපදවීම ය. අඩු මිලට රටට අවශ්‍ය මුළු බේත් ප්‍රමාණයම සැපයීමට එවිට අපට පිළිවනි.”

විරෝධය පෑ සමාගම් ඔහුට කීකරු වූයේ නැත. ඖෂධ සංස්ථා සේවක කමිටුවේ සභාපති උපසේන ජයරත්න සංස්ථා සේවකයන් ඇමතීය.

“අමුද්‍රව්‍ය ගෙන්වා වැඩි මිලට බේත් පෙති කරල් නිපදවා, මිල ඉහළ නංවා, අධික ලාභ ලැබූ දුෂ්ට ඖෂධ මුදලාලිලා අපට එකඟ නොවීම පුදුමයක් නොවෙයි. ඔවුන් හීලෑ කිරීමට දැන් අපි ජනතාව සමඟ පෙරට යමු. ජය ලැබෙන තුරු නොනවතින සටනක් අපි අරඹමු. වහාම අරඹමු.”

මිනිස් ජීවිතයට වඩා මුදලට අධික ලාභයට මුල් තැන දෙන ඖෂධ සමාගම්වල සැබෑ ස්වරූපය හෙළි වූ මොහොතේ සේවක පිරිස ඒ ජනතා ද්‍රෝහීන් පිළිබඳව පෙර නොවූ තරමේ වෛරයකින් පිපුරුණහ.

ඒ ඖෂධ සමාගම්වල සේවකයන් අතරට මේ පුවත ලැබිණ.

“සංස්ථාවේ ඉල්ලීමට එකඟවිය යුතුයි” ඖෂධ සමාගම් සේවකයෝ ඖෂධ කම්හල් තුළ උද්ඝෝෂණය කළහ. ඔවුන්ගේ ස්වාමිවරු ඔවුන්ට ද කන් නුදුන්හ. එවිට සමාගම් සේවකයෝ රජයට සන්දේශයක් ඉදිරිපත් කළහ.

“රටට අවශ්‍ය ඖෂධ නිපදවීමට සිය කම්හල්වල ඉඩ නොදෙන මේ ජනතා ද්‍රෝහීන්ට ඉඩ නොදෙන මේ ජනතා ද්‍රෝහීන්ට ඉඩ නොදෙනු. අක්කර පනහට වැඩි ඉඩම් ජනසතු කළ මේ රජයට මේ දුෂ්ටයන්ගේ කම්හල් ටික ජනසතු කරන්නට බැරි ඇයි? වහාම මේ සමාගම් ජනසතු කරන්න”

සංස්ථාවේ ඉල්ලීමට ඖෂධ සමාගම් පිටු පෑ පුවත රටේ පැතිරීමත් සමඟ සේනක බිබිලේට ධෛර්යය දෙමින්, සුබ පතමින් සිය දහසක් මිනිස්සු ලිපි එවූහ.

“අධිරාජ්‍යවාදී බූවල්ලන් වන ඖෂධ සමාගම් භංගවේවා! සේනක බිබිලේට ජයවේවා!”

පෝස්ටර්, බැනර රටපුරා ප්‍රදර්ශනය විය.

ඒ සමඟ ම සේනකට මෙබඳු දුරකථන ඇමැතුම් ද ලැබෙන්නට විය.

“තමුසෙගෙ ආයුෂ කෙටියි. කොංගෝවේ ලුමුම්බාට වුණු වැඩේ මතකයි ද? ගල් පරුවත එක්ක හැපෙන්න තරම් තමුසෙගෙ ඔළුව හයිය නැහැ.”

“වෛද්‍ය පීඨයේ වැඩ කරගෙන ඉන්නවා අයිසේ, ඔය සංස්ථාවෙන් අයින් වෙනවා.”

සේනක ළං වීමට පෙර ඔහුගේ බිරිය ලීලා බිබිලේ දුරකථන ඇමතුම පිළිගැනීමට යයි.

“කවුද කතා කළේ?”

ආපසු එන බිරියගෙන් සේනක අසයි.

“මගෙ යාළුවෙක්. මිසිස් පෙරේරා” ඇය පිළිතුරු දෙයි.

ඇගේ මුහුණේ ඇති බියපත් පෙනුම ඔහුට පෙනෙයි.

“ආ...” ඔහු ද නිහඬ වෙයි. පසුව සිනාසෙයි.

“මා දන්නවා. තර්ජනයක් නේද? ඕවා ගණන් ගන්න එපා. මා වැඩ කරන බව මට පේනවා. ඔවුන්ට රිදිලා තියෙන්නේ ඒකයි.”

ඇගේ මුහුණ ශෝකයෙන් පිරී ඇති සැටි සේනක දුටුවේ ය.

කවර මොහොතක හෝ ඖෂධ සමාගම්වලින් ඔහුට අනතුරක් වේය යන හැඟීම ඇය තුළ විය.

“ඩොලර් දශ ලක්ෂ ගණන් ගසා කෑමට ඔවුන්ට තිබුණු අවස්ථාව නැති කළ කෙනෙකුට යහතින් ඉන්න ඉඩ දෙයි කියල හිතන්න බැහැ. ඔයා පරෙස්සම් වෙන්න ඕනේ. මට නිතර ලැබෙන්නෙ නරක ආරංචි.”

සේනක කළේ හඬ නඟා සිනාසීමය.

“විවේකයක් කියලා දෙයක් ඔයාට නැහැ. උදේ ඉඳලා රෑ දොළහ වනතුරු වැඩ කරන දවස් වැඩියි. අසනීප තියාගෙනත් ඔයා වැඩ කරනවා.”

“ලීලා, ජීවත්වන සුළු කාලය තුළ හැකි තරම් වැඩ කළ යුතුයි. තව ටිකක් මහලු වුණාම විවේක ගන්නවා.

ඔහු එදා ඒ ගමන යන්නට සැරසෙනවිට ඇය ඊට පෑවේ දැඩි විරෝධයකි.

“ඔයාට අද සනීප නැහැ. මුහුණ බැලුවම ඒක පේනවා.”

ඔහු මෝටර් රියට නැඟී ඈ දෙස බැලුවේය.

“ඔයාගෙ ආදරේ මට දරා ගන්න බැරි තරම්.”

එදා ඔහුට කොළඹ වෛද්‍ය පීඨයේ රැස්වීමකට සහභාගි වීමට නියමිතව තිබිණ.

ඖෂධ සමාගම් විසින් මෙහෙයවනු ලබන වෛද්‍යවරුන් ද ඒ රැස්වීමට පැමිණෙන බව ලීලාට අසන්නට ලැබිණ. විඩාපත් රෝගී පෙනුමෙන් යුතු සේනක ඊට සහභාගි නොවුණහොත් මැනවයි ඇය සිතුවා ය. එහෙත් ඔහු දැඩි සිතින් යුතුව රිය පදවාගෙන යනු ඇය බලා සිටියා ය.

“එයාගේ තාත්තලා සීයලාත් එහෙම ය. හිතුවොත් හිතුවා. කඟවේන්නු වගේ තමයි. තෝරා ගත්තු පාරේ දිගටම යනවා.”

දිනක් සේනක ගේ මව කී බව ලීලාට සිහිවිය.

වෛද්‍යවරුන්ගෙන් ද, වෛද්‍ය ශිෂ්‍යයන්ගෙන් ද වෛද්‍ය පීඨ ශ්‍රවනාගාරය පිරී තිබිණ. වෛද්‍ය පීඨයක වෙනත් මහාචාර්යවරයෙක් ද වේදිකාවේ සිටියේ ය.

ඖෂධ සංස්ථාවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් මහාචාර්ය සේනක බිබිලේ සිය දේශනය ඇරැඹීය. සභාව නොසන්සුන් විය.

“ඔය ප්‍රතිපත්තියෙන් අපට වැඩක් නැහැ. ඖෂධවල තත්ත්වය බාල කළ සංස්ථාවක් අපට එපා.” කිසිවකු කෑ ගසනු ඇසිණි.

“දැන් බේත් හිඟයක් තියෙනව. මිනී පෙට්ටි සාප්පුවලට වාසියි.” තවත් අයෙක් කෑ ගැසූහ.

වෛද්‍යවරුන්ගේ මුවින් ද ඖෂධ සංස්ථාවට චෝදනා නැගිණ. ජනතාවගේ යහපත අරමුණු කොට රජයේ ඖෂධ ප්‍රතිපත්තිය සකස් වී ඇති ආකාරය ඔවුන්ට පැහැදිලි කළ ද ඒ කරුණු ඖෂධ සමාගම් විසින් විකෘති කරනු ලැබූ ඔවුන්ගේ සිත්වලට නොපිවිසෙනු පෙනිණ.

“නුඹ අඩු මිලට බේත් දෙන්නේ කොහොමද? ඕවා බාල බේත්” යළි යළි ඒ බොළඳ තර්කය මතු විය.

“එසේ නම් ඒවා බාල බව ඔප්පු කරන්න. තත්ත්ව පරීක්ෂණයකට ලක් කොට නියම තත්ත්වයේ ඖෂධ වර්ග අප අඩු මිලට ගෙන්වනවා. ගසා කෑමෙන් තොර නිසා ඒවායේ මිල අඩුයි.”

ඔහු දෙන පිළිතුර ඝෝෂාව මැද මැකී ගියේය.

“ජනතාව ගසා කන සමාගම්වල දුෂ්ටකම් අනුමත කරන වෛද්‍යවරු පිරිසක් නොදියුණු රටක් වන ලංකාවේ දක්නට ලැබීම තරම් අවාසනාවක් තවත් නැහැ”යි සේනක සිතීය.

සභාවේ ඝෝෂාව මඳක් අඩු වූ විට සේනක ඖෂධ සමාගම් කීපයක් ම ඇති ඇමෙරිකාවේ සෙනෙට් සභිකයකු වූ ග්ලෝඩ් කෙනඩිගේ ප්‍රකාශනයක් ඉදිරිපත් කෙළේ ය.

 

 

තව කොටසක් ලබන සතියේ...

Comments