පුලතිසිපුර ගොවි ජනපදයෙන් බිහිවූ වෘත්තීය සමිති නායකයා | සිළුමිණ

පුලතිසිපුර ගොවි ජනපදයෙන් බිහිවූ වෘත්තීය සමිති නායකයා

ගේ තාත්තා දෙවැනි ලෝක මහා යුද්ධයට සහභාගි වූ සොල්දාදුවක්. මගේ තාත්තා වගේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ තාත්තා, සිරිපාල ගම්ලත් ඇමතිතුමාගේ තාත්තා සහ රොෂාන් රණසිංහ ඇමතිතුමාගේ සීයා යන ඒ හැමෝම දෙවැනි මහා ලෝක යුද්ධයේ හිටපු සොල්දාදුවෝ. ඒ විදිහට යුද්ධයට සම්බන්ධ වුණ සොල්දාදුවන්ට උපහාරයක් විදිහට ආරම්භ කළ සේවා මුක්ත ගොවිජන ව්‍යාපාරයෙන් මගේ තාත්තාටත් පොළොන්නරුවෙන් ඉඩම් ලැබුණා. මගේ අම්මා, තාත්තා මහනුවර දිස්ත්‍රික්කයේ ඉපදුණත් මම ඉපදුණේ ඒ සේවා මුක්ත ගොවි ජනපද ව්‍යාපාරයේ ට්‍රැක් 9 ගමේ. දරුවන් 7 දෙනෙකුගෙන් යුතු පවුලේ දෙවැනියා මමයි. 

අතීත මතක සිහි කරමින් සිළුමිණ හා කතාබහට එක්වූ ඔහු දිසානායක මුදියන්සේලාගේ උදේනි විමලරත්න දිසානායක හෙවත් උදේනි දිසානායක ය. සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිත්වය දරන උදේනි දිසානායක වෘත්තීය සමිති ජීවිතයට ප්‍රවිශ්ට වූ මාර්ගය සිහිපත් කළේ මෙලෙසිනි.

¨ මම පාසල් ගියේ පොළොන්නරුව සේවා මුක්ත කඳවුරු මහා විද්‍යාලයට. මගේ තාත්තා ගොවියෙක් නිසා මටත් ඒ ගැන ලොකු උනන්දුවක් හැර ඉගෙනම ගැනවත් රැකියාවක් කිරීම ගැනවත් ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. පවුලේ වැඩිමහල් දරුවට පවුලේ බර වැඩිපුර දැනෙන එක, ඒ බරට උරදෙන එක ඒ කාලේ ගොවි ජනපදවල ජීවත් වුණ දරුවන්ට අරුම දෙයක් නෙවෙයි. අපේ පවුලේ වැඩිමලා ගැහැනු දරුවෙක් නිසා මට පවුලේ බර නිරායාසයෙන්ම ආවා. ඒ නිසාමදෝ තේරෙන වයස වෙද්දි මම ගොවිතැන් වැඩවලටයි වඩාත් ඇලුම් කළේ. අපේ ගෙදර ගව පට්ටියක් හිටියා. අක්කර පහේ කුඹුරක් තිබුණා. ඊට අමතරව බදු අරගෙන වැඩ කරපු කුඹුරුත් තිබුණා. ඒ නිසාම මගේ වැඩි කැමැත්ත තිබුණේ ගොවිතැනට. මම සාමාන්‍ය පෙළ විභාගය දෙපාරක් කළා. දෙපාරම අසමත් වුණා. ඊට පස්සේ අවුරුද්දක් විතර ගොවිතැන් වැඩ කරගෙන ඉන්නකොට පවුලේ යෝජනාවක් විදිහට තාත්තා මට කිව්වා ¨පොඩ්ඩක් ඉගෙන ගත්තොත් හොඳයි නේද පුතේ¨ කියලා. ඒ නිසා ටියුෂන් පන්ති ගිහින් ටිකක් මහන්සි වෙලා විභාගෙට ලියලා සාමාන්‍යෙපෙළ සමත් වුණා. ඒ කාලේ ඩඩ්ලි සිරිසේනත් උසස්පෙළ කරන්න සේවා මුක්ත කඳවුරු මහා විදුහලට ආවත් ටික කාලෙකින් ඔහුත් රැකියාවකට ගියා. මමත් කොළඹ ආවා. අපේ පවුලේ හත්දෙනාගෙන් හය දෙනෙක්ම රාජ්‍ය සේවකයෝ. අක්කා විශ්‍රාමික මාණ්ඩලික හෙද නිලධාරිනියක්. මල්ලි ගුවන් හමුදා නිලධාරියෙක් විදිහට වැඩ කළා. නංගිලා දෙන්නෙක් ගුරුවරියෝ. එක් නංගි කෙනෙක් බැංකු නිලධාරිනියක්. අනිත් නංගි පමණක් පූර්ණකාලීනව ගොවිතැන් කටයුතුවල යෙදිලා ඉන්නවා. මම දන්න තරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම සාමාජිකයන් පිරිසක් රාජ්‍ය සේවයේ කටයුතු කළ එකම පවුල අපි වෙන්නත් පුළුවන්.¨

ඔහු ඒ අතීතය සිහි කරන්නේ අභිමානයෙනි. පාසල් ජීවිතය අවසන් කර කොළඹට පැමිණෙන උදේනි දිසානායක රැකියා කිහිපයක නියැළීමෙන් පසු 1986දී රාජ්‍ය සේවයට එක්වෙයි. උදේනි දිසානායක නම් වෘත්තිය සමිති නායකයා බිහිවීමේ මඟ සැකසෙන්නේ 1996 දී ඔහු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී එම දෙපාර්තමේන්තුවට පත්ව ආ නව පරිපාලන නිලධාරී යූ.එච්. ලියනගේ නිසාය. 

¨ එතුමාව මම ඊට කලින් ඉඳන් අඳුනනවා. 80 වැඩවර්ජනය මෙහෙය වූ ඔහු කලක් පොළොන්නරුවේ වැඩ කළා වගේම තාත්තා එක්ක වමේ දේශපාලනය කළ ඔහුගේ සමීප මිතුරෙක්. ඒ කාලේ මම එතුමාට කතා කළේ අංකල් කියලා. ඉතින් එතුමා අපේ දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියා වෙලා ආවම මට පුදුමත් හිතුණා. මම ගිහින් සර් කියලා කතා කළාම ඔහු මාව පැත්තකට අඬගහලා කිව්වා මම තාම අර ලියනගේ අංකල්ම තමයි කියලා. එතැන් සිට අපේ පරණ සුහදතාව අලුත් වුණා විතරක් නෙවෙයි ඔහු මගේ වෘත්තිය සමිති ජීවිතයේ ගුරුවරයා බවට පත්වුණා.

ඒ කාලේ අපේ මේ වෘත්තිය සමිතිය සමස්ත ලංකා රජයේ ලිපිකරු සංගමය නමින් හැඳින්වුණේ. 1996දී මාව සංගමයට බැඳෙන්නේ යූ. එච්.ලියනගේ සහෝදරයා නිසයි. 2002 වසරේදී මම සංගමයේ වැඩබලන ප්‍රධාන ලේකම් තනතුරට පත්වුණා. 2004න් පසු සංගමයේ නම සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමය බව පරිවර්තනය වුණා. නැවත වරක් නම වෙනස් වෙලා දැන් සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරි සංගමය බවට පත්වීම අප කළ වෘත්තීය අරගල නිසා ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකියි. ¨

වෘත්තීය සමිති නායකයකුගේ ජීවිතයට ජයග්‍රහණවලට වඩා සමීප වන්නේ අභියෝග සහ බාධක කම්කටොලුය. ඒ ගැන අත්දැකීම් ද අපේ කථානායකයා සතුව ඇත. ¨ මම වෘත්තීය සමිති ක්ෂේත්‍රයට ආවේ මේ ක්ෂේත්‍රය පණගැන්විය නොහැකි දුර්මතවලින් පිරුණු කාලපරිච්ඡේදයකයි. ඒකට ප්‍රධාන හේතුව වුණේ රුපිල් 10ක වැටුප් වැඩිවීමක් වෙනුවෙන් 1980 වැඩවර්ජනයට සම්බන්ධ වූ රාජ්‍ය සේවකයන් විශාල පිරිසකට රැකියාව නැතිවුණා. ඒ කාලේ මම වැඩ කළේ පොළොන්නරුවේ. මට මතකයි රජයේ සේවකයෝ බොහෝ දෙනෙක් අපේ ගෙවල්වල ඇවිත් කුළී වැඩ කළා. බොහෝ දෙනෙක් ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව දිවි හානිකරගත්තා. ආණ්ඩුව විසින් දේශපාලන වුවමනාවන් මත කිසිම සුදුසුකමක් නැති විශාල පිරිසක් ලිපිකරු සේවයට ඇතුළත් කිරීම නිසා රාජ්‍ය සේවය බරපතළ කඩාවැටීමකට ලක් වුණා.

ඒ තත්ත්වය වර්තමානය දක්වාත් බලපෑවා. අපට වැඩවර්ජනයකට ලිපිකරුවෝ එළියට ගන්න බැරි තත්ත්වයක් තිබුණා. එහෙම වුණොත් රැකියාව නැති වෙයි කියලා විශාල භීතියක් ඔවුන් තුළ තිබුණා. නමුත් ඒ තත්ත්වය වෙනස් කරමින් 2014 දි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී අපි විශාල උද්ඝෝෂණයක් පැවැත්වුවා. ඒ වගේම 2019 පෙබරවාරි 27 වැනිදා අපේ කළමනාකරණ සේවයේ වෘත්තීය සමිති 10ම ඒකරාශි කරලා ඉල්ලීම් 13ක් මුල්කරගනිමින් පැවැත්වූ දැවැන්ත වැඩවර්ජනය ඉතිහාසගත වූ අවස්ථාවක්. මම එ් ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු විදිහට කටයුතු කළා. 80 වැඩවර්ජනය නිසා අකර්මණ්‍ය වෙලා පැත්තකට වෙලා හිටපු 15,000කට වැඩි පිරිසත් අළු ගසා දාලා කොළඹට ගෙන්වන්න එදා අපට හැකිවුණා.¨

එහෙත් එදා ජයග්‍රහණයේ මල් ඵල නෙළා ගැනීමට නොලැබුණු බව උදේනි දිසානායක සිහි කළේ තරමක සංවේගයකිනි. ¨එදා අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ කළ සාකච්ඡාවේදී ඔහු පැවසුවා, අපේ ඉල්ලීම් සහ යෝජනා ආයතන කිහිපයකට අයත් ගැටලුවක් නිසා ඒ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදීමට අවශ්‍ය නිසා ටික කාලයක් දෙන්න කියලා.

නමුත් එය අපේ පාර්ශ්වයේ ඇතැම් අය පිළිගත්තෙ නැහැ. ඔවුන් මට අවලාද නැඟුවා මම සටන පාවාදුන්නා කියලා. එහෙම අවලාද නැඟූ සමහරුන්ට අවශ්‍ය වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ හමුවෙලා විසඳුමක් ලබාගන්නයි. නමුත් ඒ යෝජනාව මම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව ජනාධිපතිවරයා මාව පෞද්ගලිකව දන්න නිසයි එවැනි හමුවමකට පවා එකඟ වුණේ. ඒ ලැබූ අත්දැකිීම් නිසා මම විශාල කනස්සල්ලකට වගේම ජයග්‍රහණය ආසන්නයේ තියෙද්දි අපේම සමහර අයගේ හැසිරීම නිසා එය නැතිවීම ගැන විශාල හිත් වේදනාවකුත් ඇතිවුණා.¨ 

සැබෑ නායකයා යනු පරාජය අබියස නොසැලෙන පරිණත බවක් සහ ආත්ම ශක්තියකින් පරිපූර්ණ වූවෙකි. උදේනි දිසානායක ඒ පරිපූර්ණ බව ලබා ඇත්තේ දශක දෙකක් පැරණි සිය වෘත්තිය සමිති ක්‍රියාකාරී ජීවිතයෙනි.

¨ වෘත්තීය සමිති ජීවිතයේදී පෞද්ගලිකව ලැබූ ලාභයක් නැහැ. හැමදාම බැණුම් අහනවා. තර්ජනය කිරීම්, බියවැද්දීම් වගේ ශාරීරික පීඩාවලට මුහුණ දීලා නැති වුණත් සමාජ මාධ්‍ය තුළින් සමහරු අපිව මානසිකව වට්ටන්න බොහෝ දේවල් කරනවා. වෘත්තිය සමිති ජීවිතය කියන්නේ අමුතුම කලාවක්. ඒක ඇඟේ නැති කෙනෙකුට සාර්ථක ගමනක් යන්න බැහැ.

වෘත්තිය සමිති නායකයෙකුට පවුල සහ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් බොහෝ කැපකිරීම් කරන්න සිදු වෙනවා. කැපවීමක්, ආදරයක් තියෙන කඩාවැටීම් ළඟ නොසැලෙන කෙනෙකුට පමණයි මේ ක්ෂේත්‍රය තුළ පැවැත්මක් තියෙන්නෙ.¨

එවැනි ශක්තිමත් පෞරුෂයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වූ පරමාදර්ශී චරිත පිළිබඳව ද අප ඔහු විමසීමු.

¨යූ.එච්.ලියනගේ සහෝදරයා නිසා මම වෘත්තිය සමිතියේ සාමාජිකත්වය ලැබුවට මේ ගමන ආවේ මගේම ශක්තියෙන්, මගේම දැනීමෙන්. ඒ හැර මට පරමාදර්ශයක් වූ විශේෂ චරිත නැහැ. නමුත් මම ගරු කොට සලකන චරිත කිහිපයක් සිටිනවා. ඒ, අපේ සංගමයේ හිටපු සභාපතිවරුන් වෙන හේමා විල්බට් සහ ඩබ්. ජී. මුතුබණ්ඩා සහෝදරයන්. උපදෙසක් මඟපෙන්වීමක් අවශ්‍ය වූ විට අදටත් මම කතාකරන්නේ ඔවුන්ටයි. ඒ වගේම ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ සභාපති, නීතිඥ ආනන්ද ගුණතිලක කියන්නේ නිරන්තරයෙන්ම මාව දිරිගන්වන කෙනෙක්.¨

සාමාජිකයකු ලෙස මධ්‍යම කාරක සභාවට පත්වීමෙන් පසු පිළිවෙලින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, වැඩබලන ලේකම්, භාණ්ඩාගාරික, ප්‍රධාන ලේකම් යන තනතුරු දැරූ උදේනි දිසානායක සභාපති ධුරයට පත්වන්නේ 2016 වසරේදීය. ඊට අමතරව ඔහු තවත් වෘත්තිය සමිති අංශ ගණනාවක් නියෝජනය කරයි. වෘත්තීය සමිති 10කින් සැදුම් ලත් කළමනාකරණ සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, වෘත්තීය සමිති 17කින් සමන්විත ජාතික වෘත්තීය සමිති පෙරමුණේ ප්‍රධාන ලේකම්, වෘත්තීය සමිති 60කින් පමණ සැදුම් ලත් සන්ධානයේ කැඳවුම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු ආදී වගකිව යුතු තනතුරු රැසක් ඔහු විසින් දරනු ලබයි. රාජ්‍ය සේවයට බලපාන බරපතළ ගැටලු රැසක් ඇති බව පවසන උදේනි දිසානායක අවධාරණය කරන්නේ 2015න් පසු රාජ්‍ය සේවකයාට කිසිදු වැටුප් වැඩිවීමක් සිදුනොවීමත් ජීවන වියදම ඉහළ යෑමත් නිසා ඔවුන් අසීරුතාවට පත්ව ඇති බවයි. එසේ වුවද රාජ්‍ය සේවකයා නිතර පුරවැසියාගේ විවේචනයට, දෝෂදර්ශනයට ලක්වන්නේ ඇයි දැයි අප ඔහු විමසීමු. 

¨ රාජ්‍ය සේවකයාට එල්ල වන ප්‍රධාන චෝදනාව වැඩ කරන්නේ නැහැ කියන කාරණාව. ඉස්සර අපි අපිට එහා පැත්තේ ඉන්න නිලධාරියා නිවාඩු ගද්දි ඔහුගේ වැඩ ආවරණය කරන බවට අත්සන් කළා නම් අනිවාර්යයෙන්ම ඒ වැඩ ටික කරනවා. අතීතයේ තිබුණු දින හතේ නීතිය වැනි දේ තුළින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂතාව වැඩි වුණා. බදු ගෙවන ජනතා මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් විදිහට රාජ්‍ය සේවයට එනවා නම් ඒ කැපකිරීම කරන්න සූදානමින් පැමිණිය යුතුයි.¨

1958 ජනවාරි 18 වැනිදා උපත ලැබූ, මේ වන විට 63 වැනි වියේ පසුවන උදේනි දිසානායක ගේ වැඩිමහල් පුතු කෝලිය මධුසංඛ බැංකු නිලධාරියකු වන අතර බාල පුතු යොහාන් ඉරන්ත මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ජීවිතයේ සාර්ඛකත්වයට ආශිර්වාදයක් වූ තම පියා පිළිබඳ ඔහු සිහි කළේ වඩාත් සංවේදීවය.

¨ජීවතුන් අතර සිටියා නම් මගේ ජීවිතේ ගැන වැඩිපුරම සතුටු වෙන්නේ මගේ තාත්තා. ඔහුට හිතාගන්න බැරි තරම් දුර ගමනක් මම ආවා. ඒ වගේම බිරිය ශ්‍රියානිගෙන් සහ දරුවන්ගෙන් ලැබෙන සහයෝගයටත් විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි¨.

එදා මෙන් ගොවිතැනේ නියැළෙන්නට විවේකයක් නැතිවුවද විවේකයක් ලැබුණු ගමන් ඔහු දැනුදු යන්නේ පොළොන්නරුවේ ගමටය. ¨ගම ගැන ඇල්ම, ආදරය තවම එදා වගේමයි. ගමේ මඟුලක්, අවමඟුලක් ගැන ආරංචි වුණොත් උදේ ගිහින් හවස එන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම ඊට සහභාගි වෙනවා. මගේ අම්මට දැන් වයස අවුරුදු 96ක්. අම්මවත් බලලා ගමේ අය එක්ක කතාබහ කරලා එන එක මට ලොකු සතුටක්. ඊට අමතරව පවුලේ හැමෝම එක්ක සංචාරය කරන්න කැමතියි. මේ දවස්වල නම් විවේකයක් ලැබුණු ගමන් පුතාලා දෙන්නගේ ගෙවල්වල ගිහින් මිනිබිරියයි මුනුපුරෝ දෙන්නයි එක්ක කාලය ගතකරන එක තමයි මගෙයි බිරියගෙයි ලොකුම සතුට.¨

ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්නේ

Comments