අතුර තරම්ම අවධානම් පොල් රා කර්මාන්තකරුවන්ගේ ජීවිත | සිළුමිණ

අතුර තරම්ම අවධානම් පොල් රා කර්මාන්තකරුවන්ගේ ජීවිත

 

පොල් රා කර්මාන්තය බහුලව සිදු කළ දකුණු පළාත අද ඒ සඳහා අවධානය යොමු කරන්නේ ඉතාම අල්ප වශයෙනි. දකුණු වෙරළ හා ඒ ආසන්න ඉඩම්වල පොල් වගාව දිගු කලක සිට සිදුවූ අතර පරම්පරා ගණනාවක සිට මෙම කර්මාන්තයෙහි නියැළුණු ව්‍යාපාරිකයන් සරු ආදායම් ලැබූවන් වේ. මීට වසර 35කට පමණ පෙර රා කර්මාන්තය සඳහා තම කාලය ශ්‍රමය කැප කළ පිරිස සරු ආදායම් ලැබූ මුදලාලිලා ලෙස හඳුන්වන ලද අතර හවසට ඇඟපතේ අමාරුව මග හරවා ගන්නට පොල් ‘රා’ කට්ටක් බොන්න ‘රා’ පොළට ගිය කම්කරුවාට එය දිව ඔසුවක් ලෙස දැනුණි.

සංචාරක කර්මාන්තය සඳහා වැඩි අවධානයක් යොමු කළ පසු දකුණු වෙරළ ආසන්නයේ පැවති ඉඩම් කඩිනමින් සංචාරක නිකේතන ඉදිකිරීම වෙනුවෙන් සංවර්ධනය විණි. පොල් රා කර්මාන්තයෙන් වසරකට උපයන ලද ආදායම සංචාරක කර්මාන්තය හරහා මසකින් උපයන්නට හැකි වීම නිසා වෙරළාසන්න ඉඩම් විවිධ පුද්ගලයන්ට විකුණන ලදී. ඇතමුන් තමන් විසින්ම සංචාරක හොටල් ඉදිකරවා පොල් රා කර්මාන්තයෙන් සංචාරක කර්මාන්තයට මාරු වූ අතර ඒ හේතුවෙන් වෙරළාසන්න ඉඩම්වල සරුවට වැවී තිබූ පොල් රුක්පා කපා බිම හෙළන්නට මැළි නොවුණි.

මෙම කර්මාන්තයේ ඇදවැටීම පිළිබඳව ‘සිළුමිණ’ට අදහස් දැක්වූ ඉඳුරුව අතුරුවැල්ල පදිංචි කිත්සිරි කන්නන්ගර මෙසේ කීය.

“මගේ සීය ජයතිලක කන්නන්ගර 1974 සිට රජයේ අවසර ලත් පොල් රා කර්මාන්තකරුවෙක්. ඒ කාලේ තිබුණෙ රෝක්ලන්ඩ්, මැන්ඩිස්, වාද්දූව මැස්ටිය වගේ ස්කාගාර. අද තියන්නෙ මැන්ඩිස් ස්කාගාරය විතරයි දකුණු පළාතටම. ඉස්සර වෙරළබඩ ඉඩම් හැම එකක්ම පොල් ගස් වලින් පිරිල. හරිම ලස්සනයි බලන්න. ඒ සියල්ල පසුකාලීනව වෙනස් වුණා. සංචාරක කර්මාන්තය අපේ පළාතේ මුල් බැස ගත්තට පස්සෙ පොල් ඉඩම් සංචාරක හෝටල් ඉදිකිරීම වෙනුවෙන් සංවර්ධනය වුණා. පොල් කර්මාන්තය දියුණු විය යුතුයි. මුහුදුකරයට වෙනත් වගාවන්ට වඩා පොල් වගාව තමයි සුදුසු ම. මේ කර්මාන්තයේ තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි මදින උදවියගේ හිඟකම. පිට පළාත්වලින් තමයි මදිනකරුවන් එන්නෙ. ඒ අයගෙන් වඩා හොඳින්ම මදින කෙනාව වැඩි මුදලක් දීල වෙනත් කෙනෙක් අරගන්නව. මොකද මේ කර්මාන්තයේදී ‘මදින්නා’ කියන පුද්ගලයා අත තමයි ‘පොල් රා’ වල රස රැඳිල තියන්නෙ. විශේෂයෙන් ‘රා’ තොල කට ගාන උදවිය දන්නව ඒක. මදින කෙනා තමයි ‘පොල් රා’ වල ප්‍රමිතිය තීරණය කරන්නෙ. මදිනකරුවන් දකුණු පළාතට ආවෙ හලාවත, මීගමුව, නාත්තන්ඩිය ප්‍රදේශ වලින්. ඒ අතර දමිළ අයත් ඉන්නව. දමිළ අය හොඳ විනයකින් මේ කර්මාන්තයේ නියැළෙනව. දැන් ඉන්න මදින අයගේ විනයක් නැහැ. කර්මාන්තයට ආදරයක් ඇතිව, කර්මාන්තයේ නියැළෙන උදවියට සහය දෙමින් කටයුතු නොකිරීම තමයි විනය නැහැ කියන්නෙ”

ඉඳුරුව අතුරුවැල්ල පදිංචි කේ. ගාමිණී රංජිත්ගේ අදහස මෙසේය.

“ මේ කර්මාන්තය දැන් වැටිල. මම අවුරුදු 05ක විතර ඉඳල ඒක නතර කළා. කර්මාන්තය කරන් යන්න පොල් ගස් නැහැ. ඉඩම්වල හෝටල් හදලා. ඒ වෙනුවෙන් පොල් ගස් කපල ඉවරයි. අපිට බදු දෙනවට වඩා ගස් අයිතිකරුවන්ට පොල් ගෙඩි හැටියට විකුණන එක විශාල ලාභයක් තියනවා. ඉතින් කවුද ගස් දෙන්නෙ රා මදින්න”

ඉඳුරුව පදිංචි කේ. වීරසිරි මෙසේ කීය.

“ මම වසර 20ක විතර ඉඳල මේක කරගෙන යනවා. අද කර්මාන්තය ඇද වැටිල කරගෙන යන්නෙ ඉතාම අපහසුවෙන්. මම ගස් 200ක් විතර කරනව. ඉස්සර මදින්නට ලීටරයට රුපියල් 15ක් ගෙව්ව. අද ඒක රුපියල් 30ක් විතර වෙනවා. ස්කාගාරයෙන් අපිට ගෙවන්නෙ රුපියල් 40ක විතර මුදලක්. මගේ ලඟ මදිනකරුවන් 02ක් ඉන්නනව. එයාල පුරුදු වෙලා ඉන්නෙ මුලින් අත්තිකාරම් අරන් පසුව වැඩ කරන්න. ආපු ගමන් රුපියල් ලක්ෂ දෙකක් විතර අරන් තමයි රැකියාව කරන්නෙ. එයාල කොයි වෙලාවෙ යයිද දන්නෙ නැහැ රස්සාව දාල. එහෙම යන අය අනන්තවත් ඉන්නව. අපිට පාඩුව දරාගෙන වෙන කෙනෙක් හොයා ගන්න වෙනව ඊට පස්සෙ.”

මදිනකරුවකු වන එල්. එච්. චන්ද්‍රරත්නගේ අදහස මෙසේය

“මම අවුරුදු 18 ඉඳල රා මදින්නෙක් හැටියට රස්සාව කරනවා. ජීවිතයයි මරණයයි අතර සටනක් කළත් අපිට බයක් දැනෙන්නෙ නැහැ. නමුත් පොඩි වැරදීමක් වුණොත් ජීවිතයම අනතුරේ. අපිට රැකවරණයක් නැහැ. රක්ෂණයක් වගේ දෙයක් තියනව නම් වටිනවා. ඒ වගේම සමාජයෙන් කිසි ඇගයීමක් නැහැ. හොඳ වැටුපක් නැහැ. අපිට විශ්‍රාම වැටුපක් තියනවා නම් වටිනව රස්සාවෙන් අයින් වුණු කාලෙට ජීවත් වෙන්න.”

තිළිණ දේශප්‍රිය කුමාරගේ මෙසේ කීය.

“මගේ සීය සැමී කුමාරගේ මේ කර්මාන්තය කළා. ඉන් පසුව මගේ තාත්ත විජිත කුමාරගේ කළා. අද මම කරන් යනවා. නමුත් අද නම් ඒතරම් පහසු නැහැ. මට බලපත්‍ර තියෙනව රා එකතු කරන්න, රා එකතු කරන ස්ථානයට, පොල් ගස්වලට. 2016 ‘පොල් රා’ ළඟ තබා ගැනීමේ බලපත්‍ර ගාස්තුව රු. 1000.00යි තිබුණෙ. පසුව ඒක රු.100,000.00ක් වුණා.

අද වන විට ඒක වසරකට රු. 25,000.00ක් වෙනවා. ඊට අමතරව පොල් ගසකට රු. 50.00ක් බැගින් ගෙවන්න වෙනවා. මදිනකරුගේ ජීවිතය අවදානමක තියල කරන කර්මාන්තයේදි ‘රා’ ලීටරය රු. 43යි මිල නියම වෙලා තියන්නෙ. අනික අපිට නීති තද වැඩි නිසා කරන් යන්න අමාරුයි. අපිට යම් ප්‍රමාණයකට ‘රා’ විකිණීමට අවසරයක් දෙනව නම් වටිනව. ඒකේන් ‘රා’ මිලදී ගන්න කෙනාට අඩු ගාණට ලැබෙනව වගේම අපිටත් ආදායමක් එනව. කර්මාන්තයත් රැකෙනව.”

බෙන්තොට සිංහරූපාගම පදිංචි මදිනකරුවකු වන කේ.වී. පද්මසිරි (55) මෙසේ කීය “ මේ රස්සාව කරන්නෙ අවුරුදු 30ක විතර ඉඳල. අද වෙනකොට ‘රා’ කර්මාන්තර වැටිල ඉවරයි. මගේ දරු පවුලම රැකෙන්නෙ මේකෙන්. ”

ඉඳුරුව අතුරුවැල්ල පදිංචි පර්සි රංජිත් කන්නන්ගර (70) අද කර්මාන්තය අතහැර සිටින අයෙකි. ඔහුගේ අදහස මෙසේය.

“මම අවු. 18න් පාසලින් අයින් වුණු ගමන් මේ කර්මාන්තයට අතගැහුවා. මදින අයෙක් අද රුපියල් ලක්ෂයක් විතර හොයනව මාසයකට. මිනිස්සු ඉන්න රටේ මදින්න පුහුණු ශ්‍රමිකයන් නැහැ. අනිත් කාරණය තමයි ‘මතට තිත‘ ප්‍රතිපත්තිය. ඒකෙන් වුණේ ගමේ තිබුණු කසිප්පු වගේ දේවල් නැති වුණ නිසා සුරාබදු නිලධාරීන්ට රජයේ ඉහළ නිලධාරීන් ලබාදුන් නඩු ලබාදීමේ ඉලක්ක නිසා කසිප්පු වැටලීම් වෙනුවට ‘පොල් රා’ බොන පිරිස හා ළඟ තබාගන්නා පිරිස වටලන්න පටන් ගත්ත. අනිත් කාරණය පොල් මිල ඉහළ ගිය නිසා ගස් බදු දෙන්නෙ නැතිව ගියා. නිශ්පාදන වියදම වැඩි වුණා‘

‍දකුණේ පොල් රා කර්මාන්තය ඇඳ වැටී අවසන්ය. මීට වසර දහයකට පමණ පෙර මෙම ප්‍රදේශයෙහි බලපත්‍රලාභී පොල් රා එකතු කරන්නන් (රේන්දකරුවන්) 45ක් පමණ සිටියත් අද වන විට දකුණු පළාතටම ඇත්තේ බලපත්‍රලාභීන් 05දෙනෙක් පමණි. දිනකට ස්කාගාරයට ඉඳුරුව බෙන්තොට ප්‍රදේශයෙන් ‘රා’ ලීටර් 7000-8000ක ප්‍රමාණයක් රැගෙන ගිය නමුත් අද එය ලීටර් 600-700 දක්වා අඩුවී තිබේ. මදිනකරුවන්ගේ ගණනද අඩුය. කඹ සහ මුට්ටි වැනි අමුද්‍රව්‍ය වල මිල ඉහළ ගොස් ඇත. බලපත්‍ර ගාස්තුවල මිල සංශෝධනයක් විය යුතු බවට අදහස් මතුව තිබේ.

පොල් රා වෙනුවට අරක්කු බොන පිරිස පමණක් වැඩිවී ඇත. එහෙත් ස්වාභාවික පොල් රා වෙනුවට කෘතිමව රා නිපදවන පිරිසක්ද කර්මාන්තයේ ගෞරවයට හා ප්‍රමිතියට හානිවන පරිදි එක්ව සිටිනු දක්නට තිබේ. ස්වාභාවික පොල් රා කර්මාන්තයේ නියැළෙමින් දීර්ඝ ගලක සිට එම කර්මාන්තය රැක ගනිමින් අදටත් විශාල මුදලක් වැයකොට අපහසුවෙන් කර්මාන්තය කරගෙන යන පිරිසට එක් පොල් ගසක්වත් නැතිව කෘත්‍රිම රා නිපදවන පිරිස සිදුකරන හානියක් ද නැතුවා නොවේ.

වහ වහා පොල් ගස් සිටුවන්නට රටේ ජනතාව පෙලඹවීම වැදගත්ය. පොල් රා කර්මාන්තයට ඒ තුළින් විශාල පිටුවහලක් වනු ඇති බව විශ්වාස ය. කුඩා කර්මාන්ත කරුවන් නගා සිටුවීම වෙනුවෙන් ජනපතිගේ ආකල්පය ඉතා සුබදායක බව මෙම කර්මාන්කරුවන් දනී. මෙම කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් අදාළ බලධාරීන් නිසි කලට නිසි යෝජනා ඉදිරිපත් කොට අවශ්‍ය නීතිමය ලිහිල සමගින් පහසුකම් සැපයීම හා දිරි ගැන්වීම අවශ්‍යම වේ.

 

 

 දර්ශන කරුණාරත්න, බෙන්තොට

 දර්ශන කරුණාරත්න, බෙන්තොට

Comments