සත්වැනි වතාවටත් කාන්තා කිරුළ කොස්වාඩිය විජයට | සිළුමිණ

සත්වැනි වතාවටත් කාන්තා කිරුළ කොස්වාඩිය විජයට

 

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය 2020

මහරගම තරුණසේවා සභා ගෘහස්ථ වොලිබෝල් සංකීර්ණයේ දී නිමා වූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ කාන්තා කිරුළට සත්වැනිවරටත් උරුමකම් කියන්නට කොස්වාඩිය විජය ක්‍රීඩිකාවෝ පසුගිය සති අන්තයේ දී සමත්වූ හ. අවසන් මහා තරගයේ වරම් හිමිකර ගෙන හාපුරා කියා පළමුවතාවට පිරිමි කිරුළට උරුමකම් කිව්වේ දෙබෑගම රන්තරු ක්‍රීඩකයෝ ය.

පිරිමි අවසන් මහා තරගයේ අපූර්වත්වය වූයේ පළමු වරට හමු වූ ගුරු ගෝල සටනින් ගෝලයා ජය පැන් බීමයි. එනම් දෙබෑගම රන් තරු කණ්ඩායමේ පුහුණුකරු චමින්ද ජයරත්න වොලිබෝල් ක්‍රීඩාවේ අයන්න , ආයන්න කියවා තිබෙන්නේ නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු චන්න ජයසේකර යටතේ ය. එය මෙවර තරගාවලියේ සුවිශේෂත්වයක් විය.

ශූරියන් වූ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ ප්‍රවින පුහුණුකරු සමන්සිරි සෙනෙවිරත්න ය. අනුශූරියන් වූ හයිඩ්‍රාමානී කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් අමිල විජේපාල කටයුතු කරයි.

කාන්තා අවසන් මහා තරගය වට 3-1 ක් ලෙස අවසන් වූ අතර අනුශූරතාව ගලිගමුව හයිඩ්‍රාමනි ක්‍රීඩා සමාජයට හිමිවිය. කාන්තා තරගයේ ඡයා පිටපතක් බඳු වූ පිරිමි අවසන් මහා තරගය ද වට 3 -1 ක් ලෙසින් නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජයට අනුශූරතාව හිමිවිණි.

සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පරාජය කළ ගලිගමුව හයිඩ්‍රාමනී ක්‍රීඩා සමාජය සහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් පරාජය කළ කොස්වාඩිය විජය ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් හ. හොරණ වාසනා කණ්ඩායම සහ බොරලැස්ගමුව බලරැස් කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූයේ පිළිවෙළින් නාත්තන්ඩිය යුනයිටඩ් සහ දෙබෑගම රන්තරු ක්‍රීඩකයෝ ය.

කාන්තා අවසන් මහා තරගයේ පළමු වටයේ ලකුණු රැස්කරන්නට හයිඩ්‍රාමනී ක්‍රීඩිකාවෝ සමත් වූ අතර කරට කර ඉදිරියට ඇදුණු තරගයේ මුල් වටය අවසන් කළේ 25-18 ක් ලෙස ජය තහවුරු කරගනිමිනි.පළමු වටයේ පරාජයත් සමඟ පළපුරුදු ක්‍රීඩිකාවන් ගෙන් සමන්විත වූ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය තරමක පීඩනයක් සමඟ දෙවැනි වටයට අවතීර්ණ වෙමින් හොඳ අභියෝගයක් ලබා දෙනු දක්නට ලැබිණි. එම වටය ,අවසානයේ 25-13 ක් ලෙස දෙවැනි වටය ජය ගනිමින් තරගයට පිවිසෙන්නට විජය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තෙවැනි වටයේ ආරම්භයේ දී ද කරට කර සටනක් දෙමින් විජය ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වන්නට හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවෝ සමත් වු නමුත්, පළපුරුදු විජය ක්‍රීඩිකාවෝ තියුණු අවසානයක් කරා තෙවැනි වටය ගෙන යමින් අවසානයේ දී 26-24 ක් ලෙස එම ජයග්‍රහණය කරන්නට සමත් වුහ.

තීරණාත්මක සිව්වැනි වටයේ ප්‍රථමයෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවෝ සමත් වුවද. නොසැලී ඉදිරියට ආ විජය ක්‍රීඩිකාවෝ පැහැදිලි ලකුණු පරතරයක් සමඟින් පෙරමුණ ගත් හ. ඒ අතර දක්ෂ ලකුණු හඹා යෑමක නිරත වූ හයිඩ්‍රාමනි කණ්ඩායම විජය අභිබවා යෑමට උත්සහ කළ ද, තරගය අවසන් වන තෙක් සිය ග්‍රහණය අත්නොහළ විජය ක්‍රීඩිකාවෝ හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් සාර්ථකව මෙල්ල කරමින් සිව්වැනි වටයත් සමඟින් අවසන් මහා තරගය ජයග්‍රහණය කළේ 25-20 ක් ලෙස ය.

 

පිරිමි අවසන් මහා තරගය

සුපිරි අවසානයක් සටහන් කළ පිරිමි අවසන් මහා තරගයේ දී නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම වට 3-1ක් ලෙස පරාජය කරමින් දෙබෑගම රන් තරු ක්‍රීඩා සමාජය මෙවර පිරිමි කිරුළ දිනා ගැනිමට සමත්විය.

අවසන් මහා තරගයේ පළමු වටයේ දී පෙරමුණ ගත් නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයෝ 25-14 ක් ලෙස වටය නිමා කරන්නට සමත් වු අතර පළමු අර්ධයේ දී යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ මහේෂ් ඉන්දීවර කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සිය කණ්ඩායමට අවශ්‍ය ජවය ආරම්භයේ දී ම ලබා දෙන්නට ද සමත් විය.

දෙවැනි වටය ඇරඹුමේ දී ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට දෙබෑගම ක්‍රීඩකයෝ සමත් වූ අතර යුනයිටඩ් ක්‍රීඩකයින්ට නොසිතූ ප්‍රහාරයක් එල්ල හොඳ අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩනගන්නට රන් තරු ක්‍රීඩකයෝ සමත්වූ හ. දෙවැනි වටය අවසානයේ ප්‍රතිවාදීන් සාර්ථකව මෙල්ල කරගත් රන් තරු ක්‍රීඩකයෝ 25-23 ක් ලෙස එකි වටය ජය වාර්තා කළ හ.

දෙවැනි වටයේ ලද ජයග්‍රහණයේ පන්නරය තවදුරටත් ඉදිරියට රැගෙන ගිය ඔවුහු යුනයිටඩ් කණ්ඩායම දැඩි පීඩනයකට හසුකරමින් ලකුණු ලබා ගත්තේ ශිල්පීය දක්ෂතා සහ ප්‍රතිවාදීන්ගේ දුර්වල ක්‍රීඩා විලාසයෙන් උපරිම ප්‍රයෝජන ලබාගනිමිනි. රන් තරු ක්‍රීඩකයෝ අවසානයේ දී 25-16 ක් ලෙස තෙවැනි වටය ජයග්‍රහණය කරන්නට සමත් වුණේ ජයග්‍රහණය සඳහා සාර්ථක අඩිතාලමක් සකසා ගනිමිනි. තරගයේ තීරණාත්මකම වටය වූ සිව්වැනි වටය ආරම්භයේ දී ම රන් තරු වෙතින් ලැබුණු පන්දුව සාර්ථකව ලකුණක් බවට පරිවර්තනය කරන්නට යුනයිටඩ්හි මහේෂ් ඉන්දීවර සමත් විය.

එකි අභියෝගයෙන් පසුබට නොවු රන් තරු ක්‍රීඩකයෝ සිය සුපුරුදු ක්‍රීඩා විලාශයෙන්ම ඉදිරියට යමින් වරෙක ලකුණු පුවරුවේ පෙරමුණ ගත් හ.

අවසන් ලකුණ ලබා ගැනීමේ දී දැඩි පීඩනයට ලක් වූ රන් තරු ක්‍රීඩකයන්ගේ අත්වැරදීම් සියල්ල ම ලකුණු බවට පෙරැළු නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රීඩකයෝ තියුණු අවසානයකට පිවිසි නමුත් එය 28-26 ක් ලෙස ජයගනිමින් දෙබෑගම රන් තරු ජනාධිපති රන් කුසලානයේ උරුමකරුවන් බවට පත්වීමට සමත් විණි.

බන්දුල ජයමාන්න

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

 

 

Comments