
කනිෂ්ඨ වයස් සීමා මේස පන්දු තරගාවලියේ අතිශූරතම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීමට සෙනුර සිල්වා සමත් වූ අතර අතිශූරතම ක්‍රීඩීකාව වශයෙන් තිළිණ ලබන්නට බිමන්දී බණ්ඩාර ට හැකියාව ලැබිණි.
ක්‍රීඩකයින් 145 ගේ සහ ක්‍රීඩිකාවන් 135 ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලන පුහුණු මධ්‍යස්ථාන ක්‍රීඩාගාරයේ දී පවත්වන ලද මෙවර ජාතික කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අවුරුදු 18 න් පහළ ශූරතාව මෙන්ම අවුරුදු 15 න් පහළ ශූරතාව තහවුරු කර ගනිමින් වසරේ අති ශූරතම ක්‍රීඩකයා සහ අති ශූරතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා ගැනීමට සෙනුර සිල්වා සහ බිමන්දී බණ්ඩාර සමත්වීම කැපී පෙනුණේ ය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබා ඇති සෙනුර සිල්වා සහ බිමන්දී බණ්ඩාර තමන් සතු දක්ෂතාව මැනවින් හසුරුවමින් අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මෙවර තරගාවලිය තුළ දී දක්නට ලැබීම ඉහළ අගයක් ගත්තේ ය.
එහි යහපත් ප්‍රතිඵලයක් ලෙස නුදුරු අනාගතයේ දී ක්‍රියාත්මක කෙරෙන අන්තර් ජාතික මේස පන්දු කෙළිබිම තුළ පෙරළිකාර ජයග්‍රහණ සටහන් කර ගැනීමේ හැකියාව ඔවුන් සතු බව මෙම තරගාවලිය තුළ දී මනාවට ඔප්පු විය. අවුරුදු 18 න් පහළ බාලක අවසාන තරගයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණු සෙනුර සිල්වා හමුවේ වට 03 - 00 ක් ලෙස පරාජය වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ ම හිරුණ වරුෂවිතාන ට අනුශූරතාව හිමි විණි.
අවසන් පූර්ව වටයේදී සෙනුර සිල්වා හමුවේ මහනුවර කිංස්වුඩ් විදුහලේ ධනුෂ්ක විජේසිංහ වට 03 - 00 කින් ද හිරුක වරුෂවිතාන හමුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ම සාලුක ප්‍රේමචන්ද්‍ර වට 03 - 01 ක් ලෙස ද පරාජය ලැබී ය.
ඒ අනුව කොළඹ ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩකයින් තිදෙනෙක්ම අවුරුදු 18 න් පහළ බාලක අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීම ද විශේෂත්වයකි.
මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණු බිමන්දී බණ්ඩාර හමුවේ තරග වට 03 - 01 කින් පරාජය ලැබූ කොළඹ කාන්තා විද්‍යාලයේ අයිලා චිට්ටී හට වයස අවුරුදු 18 න් පහළ බාලිකා අනුශූරතාව හිමි විය.
අවසන් පූර්ව වටයේ දී බිමන්දී බණ්ඩාර හමුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ලෙසන්යා සෙත්සුතුම්දී වට 03 - 00 කින් ද අයිලා චිට්ටී හමුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ම මනීෂා ෂලින්දී වට 03 - 00 කින් ද පරාජය ලැබී ය.
අවුරුදු 15 න් පහළ බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයේ සෙනුර සිල්වා දිනා ගත් අතර එකී බාලිකා ශූරතාව තහවුරු කර ගැනීමට මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දී බණ්ඩාර සමත් වූවා ය.
අවුරුදු 15 න් පහළ බාලක අනුශූරතාව ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙව්මෙත් වීරසේන ට හිමි වූ අතර එකී බාලිකා අනුශූරතාව කෑගලූ බාලිකා විදුහලේ චමීෂා තුෂාදී සතු විය
එම වයස් කාණ්ඩයේ බාලක අවසන් පූර්ව වටයේ දී දෙව්මෙත් වීරසේන හමුවේ කොළඹ රාජකීය විදුහලේ අස්තීෆ් රස්ත් වට 03 - 01 කින් ද සෙනුර සිල්වා හමුවේ කොළඹ රාජකීය විදුහලේ ම විනුක ගුණවර්ධන වට 03 - 00 කින් ද පරාජය ලැබූ අතර බාලිකා අවසන් පූර්ව වටයේ දී බිමන්දී බණ්ඩාර හමුවේ ප්‍රජාපතී බාලිකා විදුහලේ නදිතී රෙහන්සා වට 03 - 00 කින්ද චමීෂා තුෂාදී හමුවේ කොළඹ මියුසියස් විදුහලේ ඔනෙලී ලෙහන්සා වට 03 - 01 කින් ද පරාජය ලැබූහ.
වයස අවුරුදු 12 න් පහළ බාලක ශූරතාව ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ දෙව්මෙත් වීරසේන දිනා ගත් අතර කොළඹ මියුසියස් විද්‍යාලයේ සදින්තී ජයසිංහ ට එකී බාලිකා ශූරතාව හිමි විය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හරීන් නිම්දිනු ට අවුරුදු 12 න් පහළ බාලක අනු ශූරතාවය හිමි වන අතර වාරයේ එකී බාලිකා අනුශූරතාව අම්බලන්ගොඩ දේවානන්ද විදුහල නියෝජනය කළ තමාදී කාවින්ද්‍යා සතු විය. වයස අවුරුදු 10 න් පහළ බාලක ශූරතාව මහනුවර ට රැගෙන යාමට විද්‍යාර්ථ විදුහලේ අගස්ති ආනන්දිත සමත්වන අතර වාරයේ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ අනුගී ඔනාරා එකී බාලිකා ශූරතාවට හිමිකම් කී ය.
අවුරුදු 10 න් පහළ ඉසව්වේ බාලක අනුශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නවිරූ මෙත්සිත ට හිමිවන අතර වාරයේ එකී බාලිකා අනුශූරතාව ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ නිශාදි නිම්තරා තහවුරු කර ගත්තා ය.
මෙවර ජාතික කනිෂ්ඨ ශූරතා මේස පන්දු තරගාවලියේ ජයග්‍රාහි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන ප්‍රදානය යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලන සභාපති හා අභිනව දකුණු ආසියානු මේස පන්දු සම්මේලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
සපුමල් වීදිය බණ්ඩාර