ශීත ඔලිම්පික් සීතල කරන්න අමෙරිකාවෙන් තීන්දුවක් | සිළුමිණ

ශීත ඔලිම්පික් සීතල කරන්න අමෙරිකාවෙන් තීන්දුවක්

 

'චීනය හා අමෙරිකාව අතර ඇත්තේ සීතල යුද්ධයකි. ඒ යුද්ධය සීතල යැයි කීවාට ආර්ථික හා යුද ශක්තිය අතින් ඉතා උණුසුම් ය. ඒ සඳහා ඔවුන් දෙපිරිසම ආසියානු මහාද්වීපයත්, අප්‍රිකානු හා දකුණු අමෙරිකානු මහාද්වීපත් නියෝජනය කරන බොහෝ රටවල් තමන්ගේ ග්‍රහණයට නතුකරගනිමින් සිටිති. සමස්ත ලෝකය තුළ ව්‍යාප්තව ඇති සාගර කලාපයන් හි බලය අත්පත් කරගැනීමේ දැවැන්ත ව්‍යායාමයක නියැලී සිටිති. එහෙත් ඒ කිසිවක් ක්‍රීඩාවට ගෝචර නැත. මේ අමෙරිකා - චීන ගැටුම ක්‍රීඩාව තුළින් එළියට ආ මොහොතක් ගැන ය.'

ධවල මන්දිරය පසුගිය දා කීවේ ලබන වසරේ චීනයේ පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උළෙල සඳහා රාජතාන්ත්‍රිකයන් සහභාගි නොකරවීමට තීරණය කරන බවය. ඒ සඳහා හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ චීනය තුළ සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝණයට විරෝධය පෑමක් ලෙස එකී තීරණයට එළඹෙන බවයි.

'අපි කිසිදු නිලධාරියෙක් මේ වෙනුවෙන් සහභාගි කරවන්නේ නෑ. ඒකෙන් අපි අපේක්ෂා කරන්නේ චීනයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වලට එරෙහිවයි. ඔවුන් බටහිර ෂිංජියෑන්ග් පළාතේ උයිගර්ස් හි මුස්ලිම්වරුන්ට සලකන ආකාරයට වගේම සෙසු මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වලට අපි විරුද්ධයි. ඒක තමයි මෙම විරෝධයෙන් ප්‍රදර්ශනය කරන්නේ.' අමෙරිකා ධවල මන්දිරයේ ප්‍රකාශයෙන් දක්වා තිබුණේ ය.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ ධවල මන්දිරය, 'බයිඩන් පාලනය යටතේ කිසිදු රාජතාන්ත්‍රිකයෙක් හෝ නිලධාරියෙක් 2022 බීජිං සීත ඔලිම්පික් උළෙල නියෝජනය කරන්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ වගේම පැරාලිම්පික් උළෙල සම්බන්ධයෙනුත් අපේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නෑ. මේ දවස්වල ෂිංජියෑං කේන්ද්‍ර කරගෙන සිදුවන වාර්ගික ඝාතන හා අපරාධ වලට අපි දැඩිව විරෝධය පානවා.' සිය මාධ්‍ය ලේකම්වරිය වන ජෙන් සාකි මගින් ප්‍රකාශ කර තිබිණි.

මෙම ක්‍රීඩා උළෙලට අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සෙසු නිලධාරීන් යැවීමෙන් සිදුවන්නේ ෂිංජියෑං හි සිදුවන ක්‍රෑර හා බරපතල මානව හිමිකම් කඩකිරීම් සඳහා වක්‍රාකාරයෙන් සහය පළකිරීමක් බවද ධවල මන්දිර ප්‍රකාශිකාව පෙන්වා දී ඇත.

කෙසේ නමුත් මෙම තීරණය අමරෙිකානු ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ශීත ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ දී කිසිදු අර්බූදයක් නිර්මාණය නොකරන බවත් බයිඩන් පාලනය යටතේ ක්‍රීඩකයන්ට ලබාදිය හැකි උපරිම සහයෝගය පිරිනැමෙන බවද ධවල මන්දිර ප්‍රකාශකයා අවධාරණය කර තිබිණි.

ධවල මන්දිරය බීජිං ශීත ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකළේ අමෙරිකානු ජනපති ජෝ බයිඩන් විසින් රටවල් සියයක නියෝජිතයන්, සිවිලි ක්‍රියාධරයන් සහභාගි කරවා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් වන දෙදින සමුළුව පැවැත්වීමට දිනයකට පෙර දී වීම විශේෂත්වයකි.

අමෙරිකාවේ මෙම තීරණය පිළිබඳ වොෂිංටන් නුවර පිහිටා ඇති චීන තානාපති කාර්යාලය ද ප්‍රතිචාර දක්වා තිබේ. ශීත ඔලිම්පික් උළෙල වර්ජනය කරමින් රාජතාන්ත්‍රිකයන් හා නිලධාරීන් නොඑවන බවට අමෙරිකාව කර ඇති ප්‍රකාශය පිටුපස ඇත්තේ දේශපාලන හැසිරීමක් බව පවසමිනි. එසේම ඔවුන් ගන්නා ලද එකී තීරණය ඔලිම්පික් උළෙලට කිසිසේත්ම බලපෑම් නොකරන බවට ද චීන තානාපති කාර්යාලය පවසා ඇත. එය වොෂිංටන් හි පිහිටි චීන තානාපති කාර්යාලය විසින් නිවේදනය කළ ද බීජිං පාලනයේ නිල ප්‍රකාශයක් බව පැහැදිලිව පැවසිය හැක.

'අපි අමෙරිකානු දේශපාලනඥයන්ට කිසිම ආරාධනාවක් සිදුකරලා නෑ. එහෙව් තත්ත්වයක රාජතාන්ත්‍රික වර්ජනයක් කරන්න කිසිම ඉඩක් හෝ අවශ්‍යතාවයක් නෑ.' වොෂිංටන් හි චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ලියූ පෙන්ග්යූ පවසා තිබිණි.

'ඒ වගේ උඩඟු තීන්දුවක් කියන්නේ දේශපාලන හැසිරවීමකට. එමගින් සිදුවන්නේ ඔලිම්පික් සංස්කෘතිය වළ පල්ලට යවන එකයි.' චීනය වැඩිදුරටත් පවසයි. කෙසේ නමුත් චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අමෙරිකාව ගන්නා ලද මෙම තීරණය ප්‍රධාන කාරණාවන් සම්බන්ධයෙන් දෙරට අතර පවතින සංවාදයට හා සහයෝගීතාවයට බලපෑමක් නොකරනු ඇති බවයි.

අමෙරිකානු බලධාරීන්ගේ තීන්දුව හා එක්වෙමින් ඔස්ට්‍රේලියාව, කැනඩාව හා මහා බ්‍රිතාන්‍යය ද මේ වනවිට බීජිං ශීත ඔලිම්පික් උළෙල වෙනුවෙන් සිය තානාපතිවරුන් ඇතුළු කිසිදු නිලධාරියකු සහභාගි නොකරන බව මේ වනවිට ප්‍රකාශ කර ඇත. මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හා ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් තම රාජ්‍යයන් චීන බීජිං නුවර ශීත ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගි කරවනු ලබන්නේ ක්‍රීඩකයන් පමණක් බව දැනටමත් පවසා තිබේ.

මේ අනුව පැහැදිලි වන කාරණය වනුයේ ක්‍රීඩාව යනු දසක කීපයකට සිට දේශපාලන බලයේ භාවිතය පිණිස යොදාගන්නා අතකොළුවක් බවට පත්කරගැනීමට ලෝකයේ ප්‍රධාන බලවතුන් ගේ සිට දැඩි උත්සහයක් පවතින බව ය. අවසන එය ක්‍රීඩාවේ පැවැත්මට අනිසි ලෙස බලපෑම් කරනු ඇතැයි ද සිතීමට පිළිවන් හෙයින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා සෙසු ලෝක ක්‍රීඩා සම්මේලන යුහුසුළුව සැලකිලිමත්වීම වැදගත් ය. මන්ද ලෝකය තුළ සමතුලිත භාවය හා සුහදත්වය ගොඩනැංවීමේ දී විශාලම කාර්ය භාරයක් සිදුකළ හැක්කේ ක්‍රීඩාවට වන හෙයිනි.

 

කාන්ති ජයසිංහ

Comments