
'පියාට හැකිනම් පුතා ට ද සමාජ පිළිගැනීමක් හිමිවන්නේ නිරායාසයෙනි. ප්රශ්නය ඇත්තේ විශිෂ්ට යැයි කියන සියලු පියවරුන්ගේ දරුවන් අසමසම විශිෂ්ටයන්ම වන්නේ ද යන්න සම්බන්ධවයි. මෑත කාලීන ක්‍රීඩා ලෝකයේ එවැනි අපූරු පියපුතු උරුමයන් සම්බන්ධයෙන් තැබෙන සටහනකි මේ.'
ඉකුත් සමයේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ නම රැන්දු ක්‍රීඩකයින් කීප දෙනෙකු ගේ පුත්‍රයින් විවිධ ක්‍රීඩා වලින් තරග පිටියට පිවිසෙනු වාර්තා වුණා.
අනතුරකින් තුවාල ලබා දැනට ප්‍රතිකාර ලබමින් සිටින විශිෂ්ට ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන ශූරයකු වන මයිකල් ෂූමාකර්ගේ පුත්‍රයා මික් ෂුමාකර් ඒ අතරින් ප්රමුඛයි. ඔහු දැන් “ෆෝමියුලා 1” ධාවන තරග වලට පිවිසිලා. පහළ මට්ටමේ තරග වලින් ඉදිරියට පැමිණි මික් ප්‍රාර්ථනා කරන්නේ තම පියා ෂුමාකර් මෙන් දස්කම් දැක්වීම කෙරෙහියි.
“පියාගේ ආශිර්වාදය මට ලැබෙනවා. මට ෂූමාකර් නාමය යළි ධාවන පිටියට ගෙන ඒමට ලැබීම ගැන ආඩම්බරයි.” ඔහු පවසනවා.
මේ අතර ලෝක පාපන්දු ක්‍රීඩාවේ අතිශය ආකර්ශනීය හා දක්ෂතා සපිරි ක්‍රීඩකයෙක් තමයි ඩේවිඩ් බෙකම් කියන්නේ. පසුගිය කාලේ එංගලන්තයෙන් බිහිවුණු ඉහළ වෘත්තිය මට්ටමක් පෙන්නුම් කළ පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකුණේ ඔහුයි. දැන් ඔහුගේ පුත් රෝමියෝ බෙකම් පාපන්දු පිටියට ඇවිත්.
ඩේවිඩ් බෙකම් ගේ හිමිකාරිත්වය සහිත අමෙරිකානු තෙවැනි පෙළ ෆෝට් ලෝඩර්ඩේල් සමාජයට රොමියෝ ක්‍රීඩා කිරීම අරඹා ඇතිබවයි විදෙස් වාර්තා සඳහන් කළේ. පියා මෙන් රෝමියෝ ක්‍රීඩා කරන්නෙත් මැදපෙළ ප්‍රහාරකයකු ලෙසයි. තමාට උවමනා පියා මෙන් ඉහළ මට්ටමක ක්‍රීඩා කිරීම බවයි 19 හැවිරිදි රෝමියෝ පවසන්නේ.
මේ ආකාරයටම සීයාගේ අමරණීයත්වය තවදුරටත් විකසිත කරන්න සිතාගෙන ක්‍රීඩා පිටියට පැමිණි ක්‍රීඩකයෙක් ගැන අපට අසන්නට ලැබෙන්නේ අමෙරිකාවෙන්. ඒ තමයි අසම සම බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලීගේ නාමය ඉදිරියට ගෙන යන්නට ඉදිරිපත්ව සිටින නිකෝ අලී වෝල්ෂ්. අලීගේ දියණියක වන රෂේඩාගේ පුත්‍රයාට තමයි වෝල්ෂ් කියා කියන්නේ. ඔහු අලිගේ බොක්සිං පරපුරේ තුන්වැනි කණ්ඩායමට නියෝජනය කරන්නෙක්. තමාගේ මංගල බොක්සිං තරගය ජයගත් වෝල්ෂ්ගේ බලාපොරොත්තුව සීයා තැබූ නාමය තවදුරටත් ඉහළට ඔසවා තැබීමයි. “මගේ සීයා බොක්සිං ක්‍රීඩාවේ අති විශිෂ්ටයෙක්. මට උවමනා අලී නාමය නැවත ජනතාව අතරට ගෙන යාමයි. මම ඒ වෙනුවෙන් කැප වී තරග වදිනවා.” යි වෝල්ෂ් පවසනවා.
ඒ ආකාරයටම මොහොමඩ් අලීගේ දියණියක වන ලයිලා අලී කාන්තා අංශයේ බොක්සිං වළල්ලට පැමිණ ශූරතම ක්‍රීඩිකාවක් ලෙස නමක් දිනාගත්තා. ඇය ලෝක බොක්සිං ශූරියක ලෙස එදා කැපී පෙණුනා.
ක්‍රීඩාවේ පිය-පුතුන් ගන කතා කරන විට විශිෂ්ට නාමයක් තැබූ දෙදෙනකු වූයේ ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ධාවන තරග වල ලෝක ශූරයින් වුණු කෙකි රෝස්බර්ග් සහ නිකෝ රොස්බර්ග්. පියා කෙකි 1982 ලෝක ශූරයා වුණු අතර පසුව පුතා නිකෝ ලෝක ශූරයෙක් වුණේ ඊට අවුරුදු 34 කට පසුවයි. ඒ 2016 වසරේ ලෝක ශූරයා බවට පත්වෙමින්. මොවුන් දෙදෙනාට කලින් ග්‍රෙහැම් හිල් 1962 හා 1968 ලෝක ග්‍රෝන් ප්‍රී මෝටර් රථ ශූරතා දිනා ඇති අතර ඔහුගේ පුත් ඩේමන් හිල් ඊට වසර 28 කට පසුව ලෝක ශූරතාව දිනුවේ 1996 වසරේ යි.
ඒ ආකාරයේම බොක්සිං පවුලක් ගැන තොරතුරු වාර්තාවන්නේ මෙක්සිකෝවෙනුයි. ඒ චාවේස් පවුල සම්බන්ධයෙනුයි. පියා ජූලියෝ සෙසාර් චාවේස් ලෝක බොක්සිං කවුන්සලයේ “සුපර් ෆෙදර්වේට්, ලයිට් වේට් සහ සුපර් ලයිට් වේට්” ශූරයා වුණා. ඒ 1984 - 90 කාලයේ දී. ඔහුගේ පුතා ජූලියෝ සෙසාර් චාවේස් (කනිෂ්ඨ) 2011 - 12 දී එලෙස කිරුළු පැළඳීමට සමත් වුණා.
ක්‍රිස්ටෝපර් රණසිංහ