
‘ක්‍රිකට් ක්‍රීඩාවේ අනුපමේය ක්‍රීඩකයන් අතර ප්‍රමුඛ තලයේ තැබිය හැකි ක්‍රීඩකයා සේ සැලකිය හැක්කේ විවියන් රිචඩ්ස් ය. ලෝකය තුළ වර්තමානයේ මහත් ජනාදරයට පත්ව ඇති විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාවට උචිතම ක්‍රීඩා රටාවක් යොදා ගනිමින් එය තනිදින හා ටෙස්ට් තරග වලදී ද බියෙන් සැකයෙන් තොරව ප්‍රයෝජනයට ගත් වත්මන් ක්‍රිකට් ක්‍රීඩා රටාවේ පේටන්ට් බලපත්‍රය හිමි ක්‍රිකට් ක්‍රීඩකයා කවුරුන්දැයි ඇසුවහොත් කිවහැක්කේ ඒ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් කියා ය. මේ ඔහුගේ උත්තුංග ජීවිත කතාවේ තවත් පරිච්ඡේදයකි.’
විවියන් රිචර්ඩ්ස් ප්‍රථම වතාවට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්තයට යන්නේ 1973 දී ය. ඔහුට මේ වරම උදා කර දුන්නේ එවකට සමර්සෙට් ප්‍රාන්තයේ ක්‍රිකට් කමිටුව උප සභාපති ලෙන් ක්‍රිඩ් විසිනි. ඔහු එංගලන්ත ගමන සඳහා විවියන්ට උවමනා සියලුම ලියකියවිලි සකසා දුන්නේ ය.
‘විවියන්, ඔයාට එංගලන්තයට ගිහින් ක්‍රීඩා කරලා හොඳ අනාගතයක් හදා ගන්න පුළුවනි. මහන්සි වෙලා ක්‍රීඩා කරන්න.’ ක්‍රීඩ්, විවියන්ට උපදෙස් දුන්නේ එහෙමය.
ඒ අනුව විවියන් සමර්සෙට් වලට ගියේ ප්‍රථමයෙන් ලීග් තරග වලට සහභාගි වෙන්නට ය. ලීග් ක්‍රිකට් වරම විවියන් ට හිමිවුණේ බාත් හි ලැන්ඩ්ස්ඩවුන් ක්‍රිකට් සමාජය තුළ ය. 1973 අප්‍රේල් මාසේ 26 වැනි දා ඔහු ලැන්ඩ්ස්ඩවුන් දෙවැනි පෙළ කණ්ඩායමට තමාගේ පළමු තරගය ක්‍රීඩා කළේ ය.
මේ අතර ලැන්ඩ්ස්ඩවුන් ක්‍රිකට් සමාජයට අයත් ක්‍රීඩාංගණය බාරව සිටි ප්‍රධාන කළමනාකාරවරයාගේ සහයක ලෙස කටයුතු කරන්නටත් විවියන්ට වරමක් ලැබිණි. ක්‍රිකට් වලට අමතරව එංගලන්තයේ දී ඔහුට ලැබුණ ප්‍රථම රැකියාව වූයේ එය ය.
සමර්සෙට් ප්‍රාන්තයේ ඉන්නකොට මගේ කටයුතු හොඳට කළා. මාව එහේදි කවුරුත් පිළිගත්තා. විශේෂයෙන්ම එහෙම වුණේ ක්‍රීඩ් මහත්තයාගේ සැලකිල්ල නිසයි.’ විවියන් තමාගේ ආරම්භය ගැන පවසන්නේ එසේ ය.
ක්‍රීඩාංගණ කළමනාකරු ජෝන් හේවර්ඩ් විවියන්ගේ ගමන ස්ථාවර වන තුරු ඔහුට උපදෙස් දෙමින් විවිධ උපකාර කරන්නට අමතක නොකළේ ය. තමා උපයා ගන්නා මුදල් අරපරිස්සමින් යුතුව වියදම් කළයුතු ආකාරය ඔහුට කියා දුන්නෙත් හේවර්ඩ් ය.
ලැන්ඩ්ස්ඩවුන් දෙවැනි පෙළ කණ්ඩායමට වෙනුවෙන් විවියන් පිත්තෙන් පෙන් වූ හොඳ දස්කම් මාලාව නිසා ඉතා ඉක්මනින් ඔහුට පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට උසස් වීමක් ලැබිණි. මෙහි දී විවියන් පත් වුණේ පළමු පෙළ කණ්ඩායමේ තුන් ඉරියව්වේ ක්‍රීඩකයකු වූ ෂැන්ඩි පෙරේරා නම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා යටතට ය.
‘මගේ මුල් අවධියේ අත දුන් අය අතර ෂැන්ඩිව අමතක කරන්න බැහැ. පළපුරුදු ක්‍රීඩකයකු වුණ ෂැන්ඩි මට ලොකු මඟ පෙන්වීමක් කළා. ඔහු මගේ ක්‍රිකට් වර්ධනයට විශේෂ බලපෑමක් වූ ක්‍රීඩකයකු ලෙස හඳුන්වන්න පුළුවනි.’ විවියන් ෂැන්ඩිව සිහිකරන්නේ ගෞරවයෙනි.
1974 දී විවියන් ලැන්ඩ්ස්ඩවුන් කණ්ඩායමේ හොඳම පිතිකරුවා විය. පිතිකරුවන්ගේ ලකුණු ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියේ ද ඔහු ය. විවියන්ගේ මේ දස්කම් මාලාව සැලකිල්ලට ගත් සමර්සෙට් ක්‍රිකට් බලධාරීහු ඔහුගේ සේවය වසර දෙකක කාලයක් දක්වා ගිවිසුමක් මගින් ප්‍රධාන කණ්ඩායමට ලබාගැනීමට තීරණය කළ හ.
‘අපිට ඔහුගේ අනාගතය පෙණුනා. නිසැකවම ඔහු හොඳම පිතිකරුවකු බව අපි දැක්කා. ඒ නිසා අපි පළමුවෙන් අවුරුදු දෙකක තරග ගිවිසුමකට ඔහුව බඳවා ගත්තා.’ යි සමර්සෙට් කළමනාකාරිත්වය පසුව පැවසුවේ ය.
‘තරග ගිවිසුම ලැබුණාම මම සතුටට පත් වුණා. මොකද මගේ ඉදිරි ගමනට අවශ්‍ය අඩි තාලමක් දමා ගන්න ලැබුණු බව මට දැණුනා.’ යි විවියන් එදා කීවේ සතුටිනි.
1974 දී විවියන් ටෝන්ටන් හි සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයට ගියේ ය. ඒ ඔහුගේ වෘත්තිය මට්ටමේ ක්‍රීඩාවට සූදානම් වන්නට ය. එම සමාජය ඔහුට උවමනා වූ නවාතැන් පහසුකම් සියල්ල සපයා දුණි. විවියන්ට නවාතැන් ගන්නට ලැබුණේ ප්‍රාන්තයට අයත් තට්ටු නිවාසයක වන අතර එහි ඔහුගේ අනිත් නවාතැන් සගයින් වුණේ ඉයන් බෝතම් සහ ඩෙනිස් බ්‍රේක්වල් දෙදෙනා ය.
එංගලන්තයේ දී විවියන් සහභාගි වූ ප්‍රථම පළමු පෙළ තරගය පැවැත්වුණේ 1974 අප්‍රේල් 27 වැනි දා ය. එය ස්වන්සි ක්‍රීඩාංගණයේ පැවතියේ ග්ලැමෝගන් ප්‍රාන්ත කණ්ඩායම සමඟ ය. ඒ බෙන්සන් ඇන්ඩ් හෙජර්ස් එක්දින තරග මාලාවේ තරගයකි. පිතිකරුවෙක් ලෙස ඉතා හොඳ ඉනිමක් ක්‍රීඩා කළ විවියන් තරගයේ වීරයා විය. තරගයට පසුව සමර්සෙට් කණ්ඩායමේ නායක බ්‍රයන් ක්ලෝස් සියලුම ක්‍රීඩකයින් කැඳවා ජයග්‍රහණය වෙනුවෙන් විවියන් දුන් දායකත්වය ඇගයීමට ලක් කළේ ය.
‘විවියන් කවුරුත් එතරම් දැන සිටියේ නැහැ. තමාගේ පළමු තරගයේ දී ම ඔහු ක්‍රීඩා කළ ජයග්‍රාහි ඉනිම නිසා ඔහුගේ හැකියාව ගැන කාටත් අවබෝධ වුණා. විවියන් තරග දිනවන්න හැකි පිතිකරුවකු බවත් පෙන්නුම් කෙරුවා.’ ඔහුත් සමඟ එකට ක්‍රීඩා කළ වික් මාක්ස් කීවේ ය.
සමර්සෙට් තරග වරමත් සමඟම විවියන් තුළ ඉදිරියට යන්නට ඇති වුණේ බලවත් උනන්දුවකි. එලෙසම ඔහුගේ බලාපොරොත්තු ද වැඩුණේය. ඔහු වෙහෙසි පුහුණුවීම් වල යෙදිණි. කණ්ඩායම තුළ තමාගේ ස්ථාවරය ඉහළින් රඳවා ගන්නට කටයුතු කළේ දැඩි උනන්දුවකිනි. ‘විවියන් පිත්ත හැසිර වූ ආකාරයට අපට කවදාවත් ඔහුව අභිබවා යන්නට නොහැකි බව දැණුනා.’ යි වික් මාක්ස් එකල සටහනක් ද තබා තිබුණේ ය.
එංගලන්තයේ රැඳී සිටි කාලය තුළ දී වසර ගණනාවක්ම විවියන් ක්‍රිඩා කළේ සමර්සෙට් කණ්ඩායමටයි. එය අතිශයින් සාර්ථක වූ ප්‍රාන්ත තරග වරමක් විය. 1983 දී සමර්සෙට් කණ්ඩායම ‘නැට් වෙස්ට්’ එක්දින ශූරතාව ජයග්‍රහණය කළේ විවියන් සහ ඔහුගේ ගජ මිතුරකු බවට පත් වූ ඉයන් බෝතම් දෙදෙනා එක්ව පෙන් වූ දස්කම් වලිනි. ඔවුන් දෙදෙනා ඉනිමේ අවසාන පන්දු වාර කිහිපය තුළ දී දියත් කළ වේගවත් පිතිහරඹය තම පිලට ශූරතා ජයග්‍රහණයක් ගෙන ආවේ ය.
‘සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමට විවියන් ක්‍රීඩා කළ අවධියේ අපි ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඔහුගේ නායකත්වය මඟ පෙන්වීම උකුසු ඇසින් යුත් පිතිහරඹය ඒ අතර විශේෂයි. ඔහු අපත් සමඟ ක්‍රීඩාගාරය තුළ සිටින විට මහත් ජවයක් අපට දැණුනා.’ යි විවියන් ගැන වැඩිපුරම කතාබහ කරපු වික් මාක්ස් තවත් සටහනක් තබා තිබේ.
මීළඟට : එංගලන්ත ප්‍රාන්ත තරග වල විවියන්ගේ අමරණීය දස්කම්....
ක්‍රිස්ටෝපර් රණසිංහ










