තනියම ඉනිමක කළ කඩුලු සුද්දේ | Page 2 | සිළුමිණ

තනියම ඉනිමක කළ කඩුලු සුද්දේ

 

පසුගිය දා ඉන්දියාවේ මුම්බායි නුවර දී අවසන් වූ නවසීලන්තය හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඉන්දියාවට ලකුණු 372 ක පහසු ජයග්‍රහණයක් හිමි විණි. ඉන්දීය පිල එසේ පහසු ජයක් වාර්තා කරද් දී ප්‍රතිවාදී පිලේ වමත් පාදඟ පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් ඉන්දීය පළමු ඉනිමට අයත් කඩුලු 10 ම දවා ගත්තේ අපහසු ඉලක්කයක් සපුරා ගනිමිනුයි.

 

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පටෙල් මේ හපන්කම සටහන් කළත් ඔහු 1988 වසරේ ඉපදී ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයේ ය.

 

අජාස් පටෙල්ට පෙර පළමු පෙළ ක්‍රිකට් තරගයක දී කඩුලු දහයම දවා ගත් නවසීලන්ත ක්‍රීඩකයා ලෙස සඳහන් වන්නේ ඇල්බට් මෝස් ය. ඔහු 1889-90 තරග වාරයේ ක්‍රයිස්චර් හි දී පැවැති තරගයක දී කැන්ටබරි පිල වෙනුවෙන් වෙලින්ටන් පිලේ කඩුලු 10 ම ලකුණු 28 ක ට දවා ගෙන තිබුණි. ඔහුගේ පළමු පෙළ පළමු තරගයේ දී මෙම දක්ෂතාව පෙන්වුව ද මොස් ද එංගලන්ත ජාතිකයෙකි.

 

මීට අමතරව 1930 වසරේ ඔස්ට්‍රේලියානු පිලට ක්‍රීඩා කළ ක්ලැරි ග්‍රිමට් යොර්ක්ෂයර් පිලට එරෙහිව පැවැති තරගයේ දී කඩුලු 37 ක ට යොක්ෂයර් පිලේ කඩුලු 10 ම දවා ගත්තේ ය. ඔහුගේ මෙම දස්කම ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සටහන් කළ ද ඔහු නවසීලන්ත ජාතිකයෙකි. තරුණ වියේ පසු වූ ග්‍රිමට් එකල නවසීලන්තයට ටෙස්ට් තත්ත්වය හිමිව නොතිබූ බැවින් වැඩි අවස්ථාවක් ලබාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය දකුණතින් පාදඟ පන්දු යැවූ ක්‍රීඩකයෙකි.

 

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී අජාස් පටෙල්ට හිමිවන්නේ තෙවැනි තැනය. එහි පළමු තැන 1956 වසරේ පැවති එංගලන්ත ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයක දී ලකුණු 53 ක ට කඩුලු 10 ම දවාගත් ජිම් ලේකර් ට හිමිව ඇත. දෙවැනි තැන හිමි අනිල් කුම්බ්ලේ ට ය. ඔහු 1998-99 තරග වාරයේ පාකිස්තානයට එරෙහිව ඉනිමක කඩුලු 110 ම ලකුණු 74 ක ට දවා ගෙන තිබිණි.

 

කෙසේ වුවත් ජීමී ලේකර් මෙන්ම අනිල් කුම්බ්ලේ ද මෙම හැකියාව සටහන් කර ඇත්තේ ඔවුන්ගේ රටේ දී ය. ඒ අනුව අජාස් පටෙල් නවසීලන්තය වෙනුවෙන් ඉනිමක කඩුලු 10 ම දවාගැනීම විදෙස් රටකදී වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසිනි. උපන් රට සැලකිල්ලට ගතහොත් අජාස් පටෙල්ට ද එක්තරා ආකාරයකට එම ගෞරවය ලබාදිය නොහැකිය.

 

සීවලී එදිරිවීර

Comments