
ඇන්ඩි රිකී පොන්ටිං රොෂාන් ගැරී කර්ස්ටන් ඉදිරියෙන්
'මිකී ආවේ හතුරුසිංහ ගිය පසු ය. මිකී ගිය පසු එන්නේ කවුරුන්දැයි තවම දන්නේ නැත. කෙසේ නමුත් පැමිණිය යුත්තේ මේ කණ්ඩායමේ මානසික ශක්තිය තවදුරටත් වැඩිදියුණු කරන ඔවුන්ගේ දක්ෂතා තේරුම්ගෙන එය වඩාත් ප්‍රභාමත් කළ හැකි පුහුණුකරුවෙකි. මේ ඒ කවුරුන් වියහැකි ද යන්න ගැන සිදුකරන අනුමානයකි.'
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමඟ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගමාලාව ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් විය. ඒ සමඟම ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියා කළ දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර්ගේ සේවා කාලයත් නිමාවට පත් විය. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට වගකීමක් පැවරී ඇත. එනම් නව ප්‍රධාන පුහුණුකරුවෙක් තෝරා ගැනීමයි.
එහිදී යළිත් වතාවක් සුපුරුදු කතිකාව කරළියට පැමිණ තිබේ. එනම් ජාතික පුහුණුකරු ධූරයට දේශීය පුහුණුකරුවකු තෝරා ගැනීමයි. නැතිනම් විදේශීය පුහුණුකරුවකුම තෝරාගත යුතුද යන්නය. මේ පිළිබඳව විමසීමට පෙර දැනට ටෙස්ට් වරම් හිමි සෙසු රටවල්වල ජාතික පුහුණුකරුවන් දෙස අවධානය යොමු කිරීම උචිතය.
රාහුල් ඩ්‍රාවිඩ් (ඉන්දියාව) , ලාන්ස් ක්ලුස්නර් (ඇෆ්ගනිස්තානය), ජස්ටින් ලැන්ගර්, (ඕස්ට්‍රේලියාව) රසල් ඩොමින්ගෝ (බංග්ලාදේශය) , ග්‍රෙහැම් ෆෝඩ් (අයර්ලන්තය) , ගැරී ස්ටීඩ් (නවසීලන්තය), සක්ලේන් මුස්තාක් (පාකිස්තානය) , මාර්ක් බවුචර් (දකුණු අප්‍රිකාව) , ක්‍රිස් සිල්වර්වුඩ් (එංගලන්තය), ෆිල් සිමන්ස් (බටහිර ඉන්දීය කොදෙව්) , ලාල්චාන්ද් රාජ්පුට් (සිම්බාබ්වේ) .
මේ අනුව පැහැදිලි වන කරුණක් ඇත. එනම් ටෙස්ට් රටවල ප්‍රධාන පුහුණුකරුවන් පත් කිරීමේදී දෙස් හෝ විදෙස් යැයි පැහැදිලි වෙනසක් නොමැති බවයි. දේශීය පුහුණුකරුවන් පත් කළ යුතු බවට මත දක්වන බොහෝ දෙනාගේ අදහස් සමානය. දේශීය පුහණුකරුවන්ට සිය රටවල ක්‍රිකට් ක්‍රීඩා මට්ටම පිළිබඳ මනා අවබෝධයක් පවතියි. ක්‍රීඩකයෝ ගැනත් එසේමයි. තවද භාෂාවත් ගැටළුවක් නොවේ.
විදේශීය පුහුණුකරුවන් පත් කළ යුතු බවට මත දක්වන්නන්ගේ ප්‍රධාන හේතුවත් සාධාරණය. ඔවුන් පවසන්නේ විදේශීය පුහුණුකරුවන්ට ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන බවයි. එමෙන්ම වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවට එය අත්‍යවශ්‍ය බවකි.
ඉතා මෑතකදීම ජාතික පුහුණුකරු ධූරය වෙනස් වූයේ අසල්වැසි ඉන්දියාවේ දී ය. ඒ රවී ශාස්ත්‍රී වෙනුවට ඩ්‍රාවිඩ් පත් කිරීමයි. එසේ වූවත් පසුව අනාවරණය වූයේ ඩ්‍රාවිඩ්ව තෝරා ගැනීමට පෙර විදෙස් පුහුණුකරුවෙක් ගේ සේවය සපයා ගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් උත්සහ කර තිබූ බවයි.
එම පුහුණුකරුවා අන් කවරෙක් හෝ නොව හිටපු සුපිරි ඕස්ට්‍රේලියානු නායකයෙකු වන රිකී පොන්ටිං ය. හෙතෙම වත්මනේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරනු ලැබේ. “ඔව්. ඒ කතාව ඇත්තක්. ඒ වුනත් මේ මොහොතේ එවැනි තනතුරක් භාර ගන්නට මට හැකියාවක් නැහැ. ඒ නිසාම මම එය ප්‍රතික්ෂේප කළා” පොන්ටිං පැවසුවේ ය.
මේ අතර මීළඟ ඉන්දීය පුහුණුකරු ලෙසට හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන මහේල ජයවර්ධනවත් යෝජනා වූ බවට ඇතැම් ඉන්දීය වාර්තා පළ විය. මහේල එම වාර්තා ප්‍රතික්ෂේප කළේ ය. බොහෝ දෙනා දන්නා පරිදි හෙතෙම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ මහේල ය.
එමෙන්ම එංගලන්ත පන්දු සියයේ ශූරතාව හිමිකර ගත් කණ්ඩායමේ පුහුණුකරු වූයේ ත් ඔහු ය. එම ජයග්‍රහණයෙන් අනතුරුව හිටපු එංගලන්ත ක්‍රීඩක ඩැරන් ගොෆ් විසින් මහේලව අගය කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ පෙප් ගොඩියෝලා ලෙසටය.
පෙප් ගොඩියෝලා කලක් ස්පාඤ්ඤයට ක්‍රීඩා කළ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙකි. වත්මන් දී ඔහු දැවැන්ත පාපන්දු කණ්ඩායම් ත්‍රිත්වයක ප්‍රධාන පුහුණුකරු ලෙසට අති සාර්ථකව ක්‍රියා කර තිබේ. එම කණ්ඩායම් වන්නේ සිය උපන් රටේම බාර්සිලෝනා, ජර්මනියේ බයර්න් මියුනික් එංගලන්තයේ මැන්චෙස්ටර් සිටී ය.
මේ අනුව ශ්‍රී ලංකාවේ මීළඟ පුහුණුකරු ලෙසට දේශීයව තෝරා ගැනීමක් කරන්නේ නම් මහේල දෙසට අවධානය යොමු කිරීමට මෙරට ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කරනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. එසේ වූවත් එහිදී ගැටළුවක් පවතී. ඒ තමන් ජාතික කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙසට ක්‍රියා කිරීමට සූදානම් නැති බවට ඔහුම පවසා තිබීම හේතුවෙනි. නමුත් ඉකුත් පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර දී මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරයකු වශයෙන් ක්‍රියා කළේ ය.
මේ අතර ඉකුත් දිනවල දී මෙරටින් වාර්තා වූයේ හිටපු ශ්‍රී ලංකා නායකයෙක් වන රොෂාන් මහානාම මීළඟ පුහුණුකරු ලෙසට යෝජනා වී ඇති බවයි. ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ වාර්තාගත පන්දු යවන්නා වන්නේ මුත්තයියා මුරලිදරන්ය . ඔහුගේ අදහස වන්නේත් මීළඟ ජාතික පුහුණුකරු මහානාම විය යුතු බවකි. ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කිරීමෙන් විශ්‍රාම ගත් පසුව මහානාම ජගත් ක්‍රිකට් තරග තීරකවරයෙකු වශයෙන් ද කටයුතු කළේ ය.
මීට අමතරව දැනටත් සාර්ථක පුහුණුකරුවෝ ලෙසට ක්‍රියා කරන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිටිති. ඒ අතරින් හිටපු නායකයෙක් වන දුලිප් මෙන්ඩිස් (ඕමානය), අසංක ගුරුසිංහ (නයිජීරියාව) මෙන්ම පුබුදු දසනායක සහ නවිඩ් නවාස් ඒ අතරින් කැපී පෙනෙයි. මින් පුබුදු කැනඩාව සහ නේපාල ජාතික කණ්ඩායම්වල පුහුණුකරු ධූර දැරීය. නවාස් යොවුන් ලෝක කුසලාන ශූරතාව හිමිකර ගත් බංග්ලාදේශයේ පුහුණුකරුවා ය.
එමෙන්ම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දෙකක පුහුණුකරුවෝ ලෙසට ක්‍රියා කරන්නේත් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙදෙනෙකි. ඒ රුවන් කල්පගේ (කලම්බු ස්ටාර්ස්) සහ තිළිණ කණ්ඩම්බි (ජැෆ්නා කිංග්ස්) ය.
මීළඟ ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ධූරයට දේශීයව තෝරා ගැනීමක් සිදු කරන්නේ නම් අවධානයට යොමු කළ යුතු තවත් වැදගත් සිදුවීමක් ඇත. එනම් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන චන්දික හතුරුසිංහ ජාතික පුහුණුකරු ලෙස පත් කිරීමෙන් පසුව ඇති වූ අමිහිරි අත්දැකීම් නැවතත් සිදු නොවීමට වගබලා ගත යුතුව තිබේ.
කිසියම් හෙයකින් නැවත වතාවක් විදේශීයව ජාතික පුහුණුකරු තෝරා ගැනීමට සිදුවුවහොත් අවධානය යොමු කළ හැකි පුහුණුකරුවන් රැසක්ම සිටිති. මෙවර එල්.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් ත්‍රිත්වයක විදෙස් පුහුණුකරුවෝ ජාත්‍යන්තරව තරග කළ හිටපු ක්‍රීඩකයෝ වෙති.
පාකිස්තානයේ උමාර් ගුල් (ගෝල් ග්ලැඩියේටර්ස්), ඉන්දියාවේ ලාල්චාන්ද් රාජ්පුට් (කැන්ඩි වොරියර්ස්) සහ ඕස්ට්‍රේලියාවේ ස්ටුවර්ට් ලෝ (දඹුල්ල ජයන්ට්ස්) ඔවුහු ය.
මින් ස්ටුවර්ට් ලෝ හට ශ්‍රී ලංකාව විශේෂිතය. ඒ හෙතෙම කලක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහාය පුහුණුකරු ධූරය දැරීමෙනි. එමෙන්ම 1996 එක්දින ලෝක ශූරතාව ශ්‍රී ලංකාව හිමිකර ගත් විට එවර අනුශූරයෝ වූ කැන්ගරු දේශයේ ප්‍රබල ක්‍රීඩකයෙකුත් වීමෙනි. ලෝ මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් වලටත් සිය සේවය ලබා දී තිබේ. තවද එංගලන්ත සහ ඕස‍්ට්‍රේලියානු ප්‍රාන්ත තරගවලදී ත් පුහුණුකරුවෙක් ලෙස ක්‍රියා කර අත්දැකීම් ලබා ඇත. එමෙන්ම නොබෝදා නිමා වූ අබුඩාබි ටී 10 තරගාවලියටත් පුහුණුකරුවකු ලෙසට ඔහු සම්බන්ධව සිටියේ ය.
වත්මන් ඇෆ්ගන් ජාතික පුහුණුකරු වන්නේ හිටපු සුපිරි දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ලාන්ස් ක්ලුස්නර්ය. ඔහු පසුගියදා ප්‍රකාශ කළේ තව දුරටත් එම ධූරයේ ක්‍රියා කිරීමට කැමැත්තක් නැති බවයි.
තවත් සාර්ථක පුහුණුකරුවෙක් ලෙසට හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගැරී කර්ස්ටන් දැක්විය හැකිය. ඔහු සියරට මෙන්ම ඉන්දියාව සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම් වලත් පුහුණුකරු වශයෙන් සාර්ථකව ක්‍රියා කළේ ය.
පසුගිය දා නිමා වූ කොදෙව් ටෙස්ට් තරගමාලාවේ දී ශ්‍රී ලංකා කණ්ඩයාමේ පිතිකරණ පුහුණුකරු ලෙසට ක්‍රියා කළේ ග්‍රාන්ට් ෆ්ලවර්ය. හෙතෙම කලක සිට එම තනතුර දැරුවේ ය. අවැසි නම් ඔහුගේ සේවය ජාතික පුහුණුකරු ධූරයට සලකා බැලිය හැකි ය. නොඑසේ නම් ඔහුගේ සොහොයුරු ඇන්ඩි ෆ්ලවර් ඒ සඳහා ඉතාම සුදුසු ය. හිටපු සිම්බාබ්වේ නායකයකු වන ඇන්ඩි කලක් එංගලන්ත ජාතික පුහුණුකරු ලෙස සාර්ථක වූයේ ය. එමෙන්ම ලොව විවිධ කණ්ඩායම් රැසකම පුහුණුකරුවෙකි.
මෙවර අබුඩාබි ටී 10 තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේ දිල්ලි බුල්ස් කණ්ඩායමයි. එහි ප්‍රධාන පුහුණුකරු වූයේත් ඇන්ඩි ෆ්ලවර්ම ය.
මේ අතර තවත් සාර්ථක පුහුණුකරුවෙක් බවට පත් වී සිටින ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙක් සිටිති. ඔවුන් හිටපු ක්‍රීඩකයෝ ද වෙති. ජේසන් ගිලිස්පි විශිෂ්ටතම දකුණත් වේග පන්දු යවන්නෙකි. පසුගිය කාලයේදී ඔහු එංගලන්තයේ යෝර්ක්ෂයර් ප්‍රාන්තයේ පුහුණුකරු ලෙස සාර්ථක විය. එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අන්තර්වාර පුහුණුකරු වූයේය. දැනට දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පුහුණුකරුවා ය.
විශිෂ්ටතම ආරම්භක පිතිකරුවෙක් වන මැතිව් හේඩන් ඉකුත් කාලයේ දී ක්‍රියා කළේ රූපවාහිනි ක්‍රිකට් ක්‍රීඩා විචාරකයෙක් ලෙසට ය. එසේ වූවත් මෙවර පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු පුහුණුකරණයට පිවිස සිටියේ ය. ඒ පාකිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වශයෙනි. එහිදී පැහැදිලිවම දක්නට ලැබුණු කරුණක් වූයේ හේඩන්ට ජාතික පුහුණුකරුවෙක් බවට පත් වීමට හැකියාවක් තිබෙන බවයි.
දැන් යළිත් වතාවක් පන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අත ය. එමෙන්ම ඉදිරි දෙවසර තුළ ලෝක ශූරතා ත්‍රිත්වයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සිදු වී තිබේ. ඒ ටෙස්ට්, එක්දින සහ පන්දු වාර 20 අංශ වලිනි. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක කිරීමේ ප්‍රධාන කාර්යය පැවරෙන්නේ ජාතික පුහුණුකරුට ය. එහි දී ඔහු දේශීය ද විදේශීය ද යන වග එතරම්ම වැදගත් නොවේ. අත්‍යවශ්‍ය වන්නේ හෙතෙම ඊට නිවැරදි පුද්ගලයා ද යන වගයි.
ප්‍රශාන්ත ඇල්පිටිය










