කොවිඩ් ක්‍රීඩා පොකුරු අනවශ්‍යයි | සිළුමිණ

කොවිඩ් ක්‍රීඩා පොකුරු අනවශ්‍යයි

 

පසුගිය දා ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ය. එහි උද්යෝගය තවත් ඉහළ නැංවුණේ එම අවසන් තරග සජීවීව නැරඹීමේ අයිතිය ප්‍රේක්ෂකයන්ට ද ලබා දී තිබූ හෙයිනි.

ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඉඩ අවකාශයෙන් හරි අඩක් ප්‍රේක්ෂකයිනට වෙන්කර ඇතැයි කීවාට ඊටත් වඩා ප්‍රේක්ෂක පිරිසක් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහා තරග නැරඹීමට මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගණයට එක් රොක්ව සිටිය හ.

එක්තරා ආකාරයකට එය රජයේ සෞඛ්‍ය නිර්දේශ නොසලකා හැරීමකි. එය වඩාත් බැරෑරුම් වන්නේ එසේ පැමිණි ප්‍රේක්ෂකයන් අතරින් අතළොස්සක් මුව ආවරණ ගලවා දමා තරගකරුවන් දිරිගන්වන්නට උනන්දුවන ආකාරය දකිද්දී ය. එවැනි කණ්ඩායම් ආණ්ඩු මට්ටු කිරීමේ අවසරය ඒ වනවිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අතින් ගිලිහී තිබුණේ තරග උණුසුම විසින් සමස්ත ප්‍රේක්ෂාකාගාරයම වෙළාගෙන තිබූ හෙයිනි. කෙසේ නමුත් එය එසේ කියා වොලිබෝල් සම්මේලනයට අත පිසදමා ගැනීමටත් හැකියාවක් නැත. ඔවුන් එය කෙසේ හෝ ඉටුකළ යුතු වගකීමකි, වගවීමකි.

දැන් එම සිදුවීම සිදුවී අවසානය. කෙසේ නමුත් එයින් පාඩම් උගෙන අනාගතයේ දී මේ වරද සිදුවන්නට ඉඩනොදීම සියලු ක්‍රීඩා බලධාරීන්ගේ වගකීම ය. එය දැන් වඩා හොඳින් ඉටුකිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ය. ඒ මේ දිනවල ලංකා ප්‍රිමියර් ලීගය හෙවත් එල්.පී.එල්. තරගාවලිය ආරම්භවී ඇති හෙයිනි. එම තරගාවලිය නැරඹීමට ද ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් හරි අඩකට අවසරය හිමිව ඇත. එහෙයින් ජනාධිපති රන් කුසලානයේ තැන තැන සිදුවූ සිදුවීම් ආකාරයේ සංසිද්ධීන්ට එල්.පී.එල්. ප්‍රේක්ෂකාගාර තල්ලු නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගවීම වහා අවශ්‍යය.

එය සිදුකරන්නේ කෙසේදැයි ඇතැම්විට ඇතැමෙක් අසනු ඇත. නිවැරදිව සන්නිවේදනය කරමින්, ප්‍රේක්ෂකාගාර වෙත යොමුකරන ලද සී.සී.ටී.වී. හෝ වීඩියෝ කැමරා ඇස් මගින් අධීක්ෂණ කටයුතු සිදුකර අදාළ සෞඛ්‍ය විරෝධී හැසිරීම් පෙන්වන ප්‍රේක්ෂකයන්ට නීති මගින් කටයුතු කිරීම ඔස්සේ එය පහසුවෙන් සිදුකළ හැකි ය. එසේ සෞඛ්‍ය විරෝධීව හැසිරී හසුවූ ප්‍රේක්ෂකයන් වෙත්නම් ඔවුනට දඩ මුදලක් හා තම වියදමෙන් නිරෝධානයට ලක්වන්නට සැලැස්වීමෙන් ද එය යම් පමණකට පාලනය කළ හැකි ය. මෙහිදී අවශ්‍ය වන්නේ අදාළ ක්‍රීඩා සංගමය තමන්ට ලැබී ඇති නිදහස සඳහා අවංකව වගවීම ය.

අප එසේ කියන්නේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සිදු වූ ආකාරයටම එල්.පී.එල්. තරගාවලිය අතරතුර ප්‍රේක්ෂකාගාර තුළින් මුව ආවරණ ඉවත්කර තරග උණුසුම අත්විඳින ප්‍රේක්ෂකයන් දක්නට ලැබුණහොත් ගැඹුරු අර්බූදයක් නිර්මාණය විය හැකි බැවිණි.

ඒ සමාජය තුළින් අලුත් කොවිඩ් පොකුරු බිහිවීමේ අවදානමක් නිර්මාණය වීමට එය පාර කැපීමක් වීමට ඉඩ ඇති හෙයිනි. එවැනි තත්ත්වයක් උද්ගතවුවහොත් අලුත් අවුරුදු පොකුරු, නත්තල් පොකුරු, පෑලියගොඩ පොකුරු, බ්‍රැන්ඩික්ස් පොකුරු ආදී කූප්‍රකට කොවිඩ් පොකුරු අතරට එල්.පී.එල්. පොකුර, වොලිබෝල් පොකුර ආදී වශයෙන් ක්‍රීඩා පිටි හරහා මතුව එන කොවිඩ් පොකුරු ද එක්වන්නට ඉඩ තිබේ. එය සාපරාධී වරදකි. රටක් වශයෙන් රජයක් වශයෙන් කොවිඩ් මර්දනය කිරීමට නොතිත් උත්සහයක නියැලෙමින් සිටියදී ක්‍රීඩා සම්මේලන හා ප්‍රේක්ෂකයන් වශයෙන් සිදුකරන වගකීම් විරහිත හැසිරීමකි.

එහෙයින් මෙම තත්ත්වය නිවැරදිව තේරුම්ගෙන කටයුතු කිරීමේ වගකීම ක්‍රීඩා ප්‍රේක්ෂකයන්ට මෙන්ම තරග හා තරගාවලි සංවිධානය කරන්නවුන් සතුව තිබේ. ඒ සඳහා කළ යුත්තේ මේ වනවිට රජයේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව අනුගමනය කිරීම පමණි. එසේ නොවුණහොත් සිදුවන්නේ මේ වනවිට යම් යම් ක්ෂේත්‍ර ඔස්සේ පිබිදෙමින් ඇති ක්‍රීඩා පිටිය එසැණින් මැලවී යාම පමණි.

Comments