
වසර දොළහකට පෙර ඇරඹි ඇන්ජලෝ මැතිව්ස් නැමැති විශිෂ්ට ක්‍රීඩකයාගේ ක්‍රිකට් චාරිකාවට දැන් කණ කොකා හඬමින් තිබේ
ක්‍රීඩාව තුළ මානුෂිකත්වය මෙන්ම අමානුෂිකත්වයක් ද තැවරී නැත්තේම නොවේ. තුරඟ තරගයක දී ජය ලබාගන්නා අශ්වයා ගෞරව සම්ප්‍රයුක්තව අගයන්නාක් මෙන්ම ඊට පසු දිනෙක සදාකාලික ආබාධයකට ලක්වුවහොත් එම තුරඟාගේ හිමිකම වනුයේ මිලි මීටර් කීපයක් විශාල අනුකම්පා විරහිත මූණිස්සම් පිරුණු පිස්තෝල උණ්ඩයක් පමණි. ඒ එය එම ක්‍රීඩාවේ පවතින යථාවාදී මුහුණුවර ය.
මෙම තත්ත්වය ආබාධයට පත්වන ක්‍රීඩකයකු සම්බන්ධයෙන් වුව ද සමරූපී ය. අදාළ ආබාධයට ලක්වන ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව භෞතිකව වෙඩි තබා විනාශ නොකළ ද (රෝම යුගයේ ග්ලැඩියේටර් සටන්කරුවන් වැනි විවිධ සටන්කාමීන් ද එලෙස ඝාතනය කෙරිණි.) ඔහුගේ ක්‍රීඩා ජීවිතය අවසන් කර දැමුණේ අනුකම්පා විරහිතව ය. එය ක්‍රීඩකයකුගේ ක්‍රීඩා ජීවිතයට ඔහුගේ අභිමතයකින් තොරව වෙඩි තැබීමක් වැනි ය. කොටින්ම කියන්නේ නම් එය හැඳින්විය හැක්කේ ද ක්‍රීඩා ජීවිතය ඝාතනයට ලක්කිරීමක් ලෙස ය.
මේ ආකාරයෙන් සිය දහස් ගණන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දක්ෂතා හීනවීම, ආබාධ හෝ වෙනයම් කාරණා හේතුකොටගෙන ස්වකීය ක්‍රීඩා ජීවිතයේ සම්පූර්ණයෙන්ම අහිමිකරගත් අවස්ථා එමට තිබේ. මෑතකාලීනව අට එවැනි තත්ත්වයක් දැකිය හැක්කේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ට ක්‍රීඩකයකුව සිටි ඇන්ජලෝ මැතිව්ස් සම්බන්ධයෙනි. ඔහු ගේ ද ක්‍රීඩා ජීවිතය බලහත්කාරයෙන් ඈවර කිරීමක් නුදුරු අනාගතයේ අපේක්ෂා කළ හැකිව තිබේ.
එසේ කියන්නේ ඇයි?
2009 ජූලි 04 වැනි දා එනම් මීට වසර දොළහකට පෙර ගාල්ල ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ඇරඹි ඇන්ජලෝ මැතිව්ස් නැමැති විශිෂ්ට ක්‍රීඩකයාගේ ක්‍රිකට් චාරිකාවට දැන් කණ කොකා හඬමින් ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති හෙයිනි. ඒ ඔහුගේ කළවයේ මාංශ පේශි ආශ්‍රිතව පවතින ආබාධය වරින් වර මතුව එමින් ඔහුට එය දැඩි ලෙස පීඩාකරමින් ඇති නිසා ය.
එම ආබාධය අලුතෙන් හටගත් ආබාධයක් ද නොවේ. ඔහු ඉන් පීඩා විඳින්නේ 2015 තරම් ඈත යුගයක සිට ය. එහෙයින් පසුගිය වසර හය පුරාම මැතිව්ස් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේ පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් නොවන බව කිවයුතු ය. එහෙයින්ම ඔහුට ඔහුගේ උපරිම දක්ෂතා මතුකරගැනීමට නොහැකිවූවා සේම කණ්ඩායමට ද ඔහු පූර්ණ ශක්තියක් වූයේ නැත. එය සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැති ටෙස්ට් සංචාරයේ දී නැවත වරක් මනාව තහවුරු විණි. එය සිදුවූයේ කෙසේ ද?
දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ පිටියට පිවිසි ඔහු එක් ලකුණක් වෙනුවෙන් පැති මාරු කරගනිද් දී පෙර කී මාංශ පේශි ආබාධය යළි මතුවිණි. ඒ හේතුවෙන් මැතිව්ස්ට සිදුවූයේ පිටියෙන් ඉවත්වීමට ය. ඔහු යළි පිටියට ආවේ ශ්‍රී ලංකා පිලේ අටවැනි කඩුල්ල ද බිඳවැටුණු පසු ය. එසේ පැමිණිය ද ඔහුට ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දු එකොළහකට පමණි.
මේ හේතුවෙන් ම දෙවැනි ඉනිමේ දී ද මැතිව්ස්ට පන්දුවට පහර දෙන්නට පැමිණියේ අට වැනි කඩුල්ල බිඳ වැටුණු පසුව ය. කණ්ඩායම වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ඔහු එසේ පිටියට පැමිණිය ද මැතිව්ස් ට ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දු පහකට පමණි. සුපුරුදු පරිදි එම ඉනිමේදී ත් ඔහු සිය කඩුල්ල පහසුවෙන් කොදෙව් පන්දුයවන්නන්ට තිළිණ කළේ ය. ඒ නිසි පරිදි පන්දුව වෙතට යොමුවී පහර එල්ල කිරීමට නොහැකිවීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ දැවීයාම් දෙකටම බලපෑවේ ඔහුගේ කළවයේ මාංශ පේශි ආබාධය යි.
දීර්ඝ කාලීන යෝග්‍යතා ගැටලුව
ඔහුගේ මෙම ආබාධය අප පෙර කීවාක් මෙන් අද ඊයේ ඇති වූ තත්ත්වයක් නොවේ. ඔහු එයින් මුදවා ගනු පිණිස විවිධ පුනරුත්ථාපන ප්‍රතිකාරයන් වෙත යොමුකරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ ය. එහෙත් අවාසනාවට ඒ කිසිවක් දීර්ඝ කාලීන පිළියම් බවට පත්වූයේ නැත.
මේ සියලු තත්ත්ව මත ඇන්ජලෝ මැතිව්ස් නමැති විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයා සිය ක්‍රිකට් ජීවිතයේ බොහෝ වෙනස්වීම් ඇතිකරගත්තේ ය. ඒ අතර ප්‍රධානම වෙනස වූයේ තුන්ඉරියව් භූමිකාවෙන් නික්මී කණ්ඩායම තුළ විශේෂඥ පිතිකරුවකු බවට පත්වීමට තීරණය කිරීමයි. ශ්‍රී ලංකා ජාතික තේරීම් කමිටුව ද සැමවිටම ඔහු කළමනාකරණය කරගනිමින් ක්‍රිකට් තරග වෙනුවෙන් යොදා ගැනීමට දීර්ඝ කාලයක් තිස්සේ උත්සුක වූයේ ය.
2018 වසරේ සිට පන්දුයැවීමෙන් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් වූයේ ඒ අනුව ය. එසේ තුන් ඉරියව් භූමිකාවෙන් ඉවත් වූ දා සිට මැතිව්ස් ක්‍රීඩාකර ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව විස්සකි. එම තරග අතරතුර ශතක හතරක් සහ අර්ධ ශතක නවයක් (නොදැවී රැස්කළ ද්විත්ව ශතකයක් ද සමඟ) සමඟින් ටෙස්ට් ලකුණු 1428 ක් රැස් කරන්නට ද ඔහුට හැකිවූ බව සැබෑ ය. එය එක අතකින් බලන කල අසාර්ථක ලකුණු රැස්කිරීමකැයි කියන්නට ද නොහැකි ය. එහෙත් එය ඇන්ජලෝ මැතිව්ස් වැනි විශිෂ්ට හැකියාවක් සහිත ක්‍රීඩකයකුට ඇතැම්විට ප්‍රමාණවත් නොවන්නට පිළිවන.
ජාමය ගලවා ගැනීම හා ජාතික වගකීම
මාංශ පේශි ආශ්‍රිතව වරින් වර ආබාධයන්ට ලක් වුවද තම අත්දැකීම් යොදා ගනිමින් ඉඳහිට හෝ හොඳ ඉනිමක් ගොඩනගා ඉහළ ලකුණු සාමාන්‍ය පවත්වාගෙන යමින් ඇන්ජි කණ්ඩායම තුළ තම ස්ථානය තහවුරු කරගෙන සිටියේ ය. තමුන්ගේ දවසේ දී ඇන්ජි යනු විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් වූ හෙයින් මෙන්ම ඔහු වෙනුවට ආදේශ කළ හැකි විකල්ප නැතැයි උපකල්පනය කළ හෙයින් ඇන්ජි ගේ ස්ථානය දිගින් දිගටම තහවුරු විණි. එහෙත් දැන් එම තත්ත්වය වෙනස්ව ඇත. විශිෂ්ට දක්ෂතා සහිත ක්‍රීඩකයන් රොත්තක් ජාතික කණ්ඩායමේ දොරටුව අසළ පොදි කමින් සිටී. ඔවුනට අවශ්‍ය වන්නේ තමන්ට කියා ස්ථානයක් වෙන් කරගැනීම පමණ ය.
මෙවැනි තත්ත්වයක් මැද ඇන්ජිගේ ස්ථානය තවදුරටත් අර්බූදයක් නිර්මාණය කරන බව නොරහසකි. යළි කිසිදා ඇන්ජිට පෙර සිටි ඇන්ජි සතු ප්‍රභාමත් හැකියාන් අතරට නිරතුරුව පැමිණිය නොහැකි වීම ඊට ප්‍රධාන හේතුව ය. ඔහුගේ දක්ෂතා නිරන්තර නොවීම හා කණ්ඩායමට අවශ්‍ය මොහොතේ දී පෞද්ගලික කුසලතා මතුනොවීමෙන් සිදුවන්නේ ඇන්ජි සතු විභවතාවයන් නිෂ්ප්‍රයෝජනය තත්ත්වයට පත්වීම ය. එලෙස ඉඳහිට දස්කම් දැක්වීම ඔහුගේ පෞද්ගලික ක්‍රිකට් ජීවිතයට වැදගත් බව සැබෑ ය. එහෙත් එය නිරන්තර නොවීමෙන් ජාතික කණ්ඩායමක විෂයේ කිසිසේත්ම වැදගත් නැත.
අප එසේ කියන්නේ රටක ජාතික කණ්ඩායම නියෝජනය කළ යුත්තේ තමන්ට පෙර රට පෙරටු කරගෙන වන හෙයිනි. එසේ නොමැතිව පෞද්ගලිකව තම ස්ථානය තහවුරු කරගැනීමේ අරමුණෙන් ඉඳහිට විශාල ඉනිම් ක්‍රීඩා කිරීම ඇන්ජිට නොව අන්කවරකුට වුව යෝග්‍ය නැත. දැන් අකමැත්තෙන් වුවද පිළිගත යුත්තේ ඇන්ජිගේ ක්‍රිකට් ජීවිතය තුළ සිදුවෙමින් ඇත්තේ එවැන්නක් බව ය. ඔහු දැන් ක්‍රීඩා කරන්නේ තම ජාමය බේරාගැනීමට ය. ඒ තම ස්ථානය රැකගනිමින් කෙසේ හෝ තවකලක් කණ්ඩායමේ, මධ්‍යම කොන්ත්‍රාත්තුව අත්සන් තබන ක්‍රීඩකයෙක් වශයෙන් රැඳී සිටීමට ය. එහෙත් ඔහු ගේ ගත කියන්නේ නුඹ තවදුරටත් රටක ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසු නැති බව ය.
ඇන්ජි ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ට යැයි පැවසිය හැකි සේවාවක් සිදුකල බව සැබෑ ය. එහෙත් දැන් ඒ සියල්ල අතීත කාරණාවන් ය. කිසිදා කිසිවකුට අතීත කීර්තිය මත පිහිටා වර්තමානයේ ගිමන් හැර අනාගතය ගැන අපේක්ෂා සිහින ගොඩනංවා රටක අරමුණු නිර්මාණය කිරීමට නොහැකි ය. ඔබට ඇතිතරම් කාලයක් ලබාදී ඇති හෙයින් තවදුරටත් කාලය බලාපොරොත්තු වීම අනවශ්‍ය අපේක්ෂා පොදි බැඳීමකි.
කොටින්ම කියන්නේ නම් දැන් ඔබේ වයස ද අවුරුදු තිස් හතරකි. ඒ අනුව බලද්දීත් තවදුරටත් ජාතික පිලේ ක්‍රීඩකයකු වශයෙන් රැඳී සිට සිදුකළ හැකි මහා සේවාවක් සඳහා ප්‍රමාණවත් කාලයක් ද ඔබට නැත. දැන් ඔබට කළ හැකි එකම සේවාව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි වගකීම නිසි පරිදි භාවිතයට ගත හැකි යෞවනයකුට ලබාදී නික්ම යාම ය.
එසේ නික්ම නොයමින් කෙසේ හෝ කණ්ඩායම තුළ රැඳී සිටින්නට උත්සහ ගන්නේ නම් සිදුවිය හැක්කේ තේරීම් කමිටුවේ වෙඩි පහරකට ලක්ව ක්‍රිකට් ජීවිතය අවසන් කරගැනීමට ය. එසේ නම් දැන් කළ යුතුව ඇත්තේ අන්කවුරුන් හෝ තම ක්‍රිකට් ජීවිතයට වෙඩි තබන තුරු නොසිට දැන්ම ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීම ය. ඒ සඳහා දින වකවානු ලබාදෙන්නට ද ඔබට පිළිවන. එවිට ඔබට ගෞරවණීය හා මතක සටහන් වලින් පිරුණු සමුගැනීමක් ක්‍රිකට් ලෝලීන් අතර ඉතිරි කර ක්‍රිකට් පිටියෙන් ගෞරවණීයව නික්ම යන්නට හැකි ය. එහෙත් ඒ කවදා ද කෙසේ ද යන්න තීරණය කළ යුත්තේ ඔබම ය.
කසුන් ඉරුගල්බණ්ඩාර