අශාන් සිල්වා කටුකුරුන්ද හොල්ලයි | Page 2 | සිළුමිණ

අශාන් සිල්වා කටුකුරුන්ද හොල්ලයි

 

මෝටර් රථ ධාවන තරග වසන්තය නැවතත් දේශිය ධාවන පථයට කැන්දමින් පසුගිය දා කටුකුරුන්ද ගුවන් ධාවන පථයේ දී නිමා වු කටුකුරුන්ද ස්පීඩ් අප් 2021 තරගාවලියේ සියලු ගෞරව දිනා ගැනීමට යොවුන් ධාවන ශූර අශාන් සිල්වා සමත් විය.

මෝටර් රථ තරග ඉසව් 14 කින් සමන් විත වූ එස්.එල්.ටී. මොබිටෙල් කටුකුරුන්ද ස්පීඩ් අප් 2021 තරගාවලිය මෙරට ලියාපදිංචි පිළිගත් මෝටර් රථ ක්‍රීඩා සංගම් 10 එකතුවෙන් ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝර්ට් ක්‍රීඩා සමාජ මව් සංගමය සංවිධානය කර තිබිණි. එකසිය විස්සකට අධික තරගකරුවන්ගේ සහභාගිත්වයෙන් නමුත් ප්‍රේක්ෂකයන්ගෙන් තොරව මෙවර තරගාවලිය සංවිධානය කර තිබිණි.

ස්පීඩ් අප් තරගාවලියේ වේගවත්ම හා දිනයේ දක්ෂතම රියදුරා තෝරන තරග ඉසව් දෙකෙන්ම ජයගැනීමට සමත් වූයේ ධාවන ශූර අශාන් සිල්වා ය. එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා පළමු තරගය ධාවකයන් 16 දෙනෙකුගෙන් ආරම්භ වුවත් තරග නිමා කළේ තරග කරුවන් 12 දෙනෙකු පමණි. වට 10 කින් සමන් විත වූ පළමු තරග ඉසව්වෙන් ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත් කෞශාල් සමරසිංහ පළමු දෙවැනි වට පෙරමුණ ගෙන ධාවනයේ යෙදුණ ද පලපුරුද්ද හා ප්‍රවීණත්වය විදහාලූ අශාන් තෙවැනි වටයේ දී කෞශල්‍ය අභිබවා පෙරමුණ ගත්තේ ය.

එතැන් සිට තරග ඉසව්ව නිමා වෙන තුරුම තම ආධිපත්‍යය පවත්වාගෙන යාමට ඔහුට හැකිවිය. දෙවැනි ස්ථානය රැකගැනීමට තියුණු තරගයක නියැලුණු කෞශල්‍ය හා උෂාන් පෙරේරා තියුණු තරගයකට අවතීර්ණව සිටිනු දක්නට ලැබිණි. අවසානයේ උෂාන් කෞෂල්‍ය අභිබවා යමින් දෙවැන්නා ලෙස තරගය නිමා කළ අතර කෞෂල්‍යට හිමි වුණේ තෙවැනි ස්ථානයයි.

එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා දෙවැනි තරග ඉසව් ආරම්භ වූයේ පළමු තරග ඉසව්වේ ජයග්‍රාහී පෙළ ගැස්ම අනුව යමිනි. පෙරමුණේ අශාන් දෙවැන්නා ලෙස කුෂාන් තෙවැන්නා ලෙස කෞශල්‍ය තරගයට එක්වූ අතර තරග ආරම්භයේ සිටම තියුණු තරගයක් දැකගැනීමට අවකාශ හිමිවිය. අශාන් පසුකර යමින් කෞශල්‍ය හා උෂාන් දෙවැනි හා තෙවැනි වටයන් හි දී පෙරමුණ ගත්තත් නැවතත් ධාවන පථයේ සියුම් තාක්ෂණික ක්‍රම අනුගමනය කරමින් අශාන් පෙරමුණට පැමිණියේ ය. දෙවැනි හා තෙවැනි ස්ථාන වෙනුවෙන් උෂාන් කෞෂල්‍ය හා රෝහිත රාජපක්ෂ අතර විවෘත තරගයක් නිර්මාණය වූයේ ඉන් පසුවය. විටක රෝහිත ද විටක උෂාන්ද තවත් විටක කෞෂල්‍ය ද පෙරමුණ ගනිමින් දෙවැනි හා තෙවැනි ස්ථාන වෙනුවෙන් තියුණු සටනක නිරත වූ හ. නමුත් සමස්ථ තරගාවලියට උඩුයටි කුරු කරමින් අශාන් ප්‍රථමයා වූ අතර එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා දෙවැනි තරග ඉසව්වෙන් කෞෂල්‍ය සමරසිංහ දෙවැන්නා වද්දී රෝහිත රාජපක්ෂ තෙවැන්නා විය.

මෙවර වේගවත් තරග ඉසව්වක් නියෝජනය කරමින් මර්සිඩිස් බෙන්ස් මෝටර් රථයක් ප්‍රථම වරට දේශීය ධාවන පථයක දැක ගත හැකි වූයේ ය. ඒ ඩැරන් විරසිංහ මර්සිඩිස් ඒ.45 ඒ.එම්.ජී. රථයකින් තරගාවලිය නියෝජනය කරමිනි.

තරග ඉසව් 14 කින් සමන්විත වූ තරගාවලියේ පළමු තරග ඉසව්ව ලෙස ධාවන පථයට පිවිසියේ එස්.එල්.ඊ. 1300 සී.සී. ෆොඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වයි. එම තරග ඉසව්ව නියෝජනය කරමින් ධාවකයින් 26 දෙනෙකු සහභාගිවීම හේතුවෙන් එය අදියර දෙකක් යටතේ පැවැත්විණි. ඒ අනුව එහි පළමු අදියර තෙනුක ලියනාරච්චි ජයගත් අතර දෙවැනි අදියර ජයගත්තේ තිළිණ මලීෂ ය.

ආධුනික ධාවකයන් පළමුව තරග වැදිය යුතු එස්.එල්./ඊ 1300 හා එස්.එල්./ඊ 1000 සී.සී. නිසාන් මාච් තරග ඉසව් දෙක නියෝජනය කරමින් විශාල ආධුනික තරගකරුවන් සංඛ්‍යාවක් තරගාවලිය හා එක්ව සිටිය හ.

එස්.එල්./ඊ 1000 සී.සී. නිසාන් මාච් තරග ඉසව්වේ ජය තෙනුක ලියනාරච්චි හිමි වුවත් තරග නීති රිති උල්ලංඝණය කළ හෙයින් ජයග්‍රහණය දහම් ජයනෙත්ට හිමිවිණි. තෙනුකට හිමිවුයේ දෙවැනි ස්ථානයයි. තෙවැනි ස්ථානය අදීශ කිත්විත්ට හිමිවිය.

එස්.එල්./ඒ. මිනි 7 තරග ඉසව්වෙන් ඉම්රාස් ෆේරේෂ් ජයගත් අතර එස්.එල්/ඒ. 1050 සී.සී. තරග ඉසව්ව ජයගත්තේ ප්‍රවීණ රියැදුරු යෝගා පෙරේරාගේ පුත් තිරාන් පෙරේරා විසිනි. මිනි මෝටර් රථ තරග ඉසව් නියෝජනය කළ තරග කරුවන් පසුගිය දා අප අතරින් සමුගත් ප්‍රවිණ ධාවක බාලාගේ හා හෆීස් කාදර් ගේ ඡායාරුප ප්‍රදර්ශන කරමින් තරගාවලිය නියෝජනය කළ හ.

විරාන් බොතේජු දෙවැනි වේගවත්ම තරග ඉසව්ව වූ එස්.එල්. / එච් 1600 හොන්ඩා වන් මෙකී තරග ඉසව් දෙකෙන්ම ජයගත්තේ එහි දෙවැනි තැන කේශර ගොඩගේ ට හිමිවිණි. පළමු තරග ඉසව්වෙන් ඉඳුවර සේනාධීර තෙවැන්නා වු අතර දෙවැනි තරග ඉසව්වෙන් තෙවැනියා වූයේ සාකීර් වහාබ් ය. සමස්ත තරගාවලියම නියෝජනය කළ එකම තරගකාරිය ෂෙහාරා ඩී. සිල්වා එස්.එල්./එච් 1600 සී.සී. තරග ඉසව්ව නියෝජනය කළත් ඇයට ජයග්‍රාහි ස්ථානයක් හිමිවුයේ නැත.

එස්.එල්./එන්. 1300 සී.සී. ෆෝඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් ශෙනාල් ගුණවර්ධනට ජය හිමි වූ අතර ප්‍රවීණ ධාවක උපුල්වන් සේරසිංහගේ පුත් දෙවින් සේරසිංහ දෙවැන්නා විය. අකිල ද කොස්තා තෙවැන්නා විය. එස්.එල්./එන්. 1500 සී.සී. ෆෝඩ් ලේසර් /මැස්ඩා තරග ඉසව්වෙන් ජය හිමිවුයේ තරිදු ධර්මරත්නටයි.

රන්දික නිරෝෂන එස්.එල්. එච්. 2000 සී.සී. සුභාරු ලෙගසී තරග ඉසව්වෙන් ජයගත් අතර අසංක බණ්ඩාර දෙවැන්නා විය.

සටහන සහ ඡායාරූප - ගීෂා මුණසිංහ

 

 

 

Comments