ලොවට ම යළි මරබිය ගෙනෙන ඔමික්‍රෝන් | සිළුමිණ

ලොවට ම යළි මරබිය ගෙනෙන ඔමික්‍රෝන්

කුත් වසර ආරම්භයේදී මුළු ලෝකයම චීනය ප්‍රතික්ෂේප කළ ආකාරයට මේ වන විට මුළු ලොවම දකුණු අප්‍රිකාව ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇත. ඒ, එරටින් නව කොරෝනා වයිරස ප්‍රභේදයක් හඳුනාගැනීමත් සමඟිනි. මුල්වරට ලොව පුරා කොරෝනා වයිරසය පැතිර යෑමෙන් පසුව එම වයිරසයේ වර්ධනීය ප්‍රභේද කිහිපයක්ම ලොව පුරා රටවලින් හඳුනා ගැනිණි. එම වයිරස ප්‍රභේද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනා ගැනීමේ පහසුව පිණිස ග්‍රීක හෝඩියේ අක්ෂර මාලාවට අනුව නම් කරන ලදී. ඇල්ෆා, බීටා යනාදී වශයෙන් නම් ලැබූ එම වයිරස ප්‍රභේද අතර ජනප්‍රියම ප්‍රභේදය වූයේ ඩෙල්ටා ප්‍රභේදයයි. 

එයට හේතුව වූයේ ඩෙල්ටා ප්‍රභේදය දකුණු ආසියාව පුරා අතිශය දරුණු ලෙස පැතිර යෑමයි. ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවට ද ඩෙල්ටා නිසා ඉතා කනගාටුදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය. දැන් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් මේ නව වයිරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රෝන් යනුවෙන් නම් කර ඇත. ඒ, මේ වන විට හඳුනාගත් වයිරස ප්‍රභේදයන්ට ලබා දුන් නම් අනුව මීළඟට ග්‍රීක හෝඩියේ ඇති අක්ෂරය අනුව ගළපමිනි.

ඔමික්‍රෝන් ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාව ඇතුළු ආසන්න රටවල් කිහිපයකින් හඳුනාගත් අතර ඒ සමඟින් ලෝකයේ බොහෝ රටවල් අප්‍රිකා කලාපයේ ජනතාවට තම රටවලට පිවිසීම තහනම් කරන නිවේදන නිකුත් කළේය. එහෙත් මේ සම්බන්ධව දකුණු අප්‍රිකාව බෙහෙවින් කනගාටුවට පත් වූයේ එදා චීනය හුදෙකලා වූ අන්දමට අද තමා හුදෙකලා වන බව සිහිපත් කරමිනි. දකුණු අප්‍රිකාවේ අගමැතිවරයා ලෝකය අමතමින් පවසා සිටියේ සැබවින්ම මේ වයිරස් ප්‍රභේදය තම රටේදී නිර්මාණය වූවා යැයි සිතිය නොහැකි බවයි. එහෙත් තම රටේ විද්‍යාඥයන් එම ප්‍රභේදය කල් තබා හඳුනාගත් බැවින් තමන් එය ලොවට හෙළි කළ බවත් ඒ හේතුවෙන් ලොවම ඔමික්‍රෝන ගැන දැනුම්වත් වූ බවත් අගමැතිවරයා පවසා සිටියේය. ඒ හැර ලොව පුරා ඔමික්‍රෝන් පැවතිය හැකි බව පෙන්වා දෙන දකුණු අප්‍රිකාව, තමන් කල් තබා එය හඳුනා ගත් පමණින් එම වයිරස් ප්‍රභේදය තම රටේ නිර්මාණය වූවා යැයි සිතිය නොහැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

සැබවින්ම දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය පර්යේෂණ අංශය බොහෝ සාර්ථක එකකි. ලෝකයේ සෙසු බොහෝ දියුණු රටවල් හා කරටකර සිටිමින් දකුණු අප්‍රිකානු සෞඛ්‍ය පර්යේෂණ අංශය කටයුතු කළ අතර ඒ හේතුවෙන්ම මීට පෙර ද කොරෝනා වයිරසයේ තවත් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනීමට හැකියාව ලැබිණි.

එහෙත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස වන්නේ ඔමික්‍රෝන් ඒ සියලුම වයිරස ප්‍රභේදයන්ට වඩා භයානක වන බවයි.

ඔමික්‍රෝන් හැදුණේ කොහොමද?

මිනිසා ඇතුළු සියලුම ජීවීහු පරිණාමය වෙති. වයිරස ද ජීවී විශේෂයකි. එබැවින් වයිරස ද පරිණාමය වේ. ජීවීන් පරිණාමය වීමේදී තමන් විනාශ කිරීමට හේතු වන යම් යම් දේට ඔරොත්තු දීමේ හැකියාව ඇති කර ගනිති. පරිණාමය යනුවෙන් අදහස් කරන්නේ ද වඩා ශක්තිමත් වීම යනුවෙන් අතිශය සරලව හැඳින්විය හැකිය. කොවිඩ් රෝගයට හේතු වූ කොරෝනා වයිරසය ලොව පුරා පැතිර යෑමේදී එයට ද මිනිසාගෙන් එල්ල වූ නොයෙක් බාධකවලට මුහුණ පෑමට සිදුවිය. එවිට වයිරසය කළේ නව ප්‍රභේද බිහි කරමින් වඩා ශක්තිමත්ව තම පැතිරීම සාර්ථක කර ගැනීමයි. උදාහරණයක් ලෙස කොරෝනා වයිරසය පැතිර යන විට මිනිසා එන්නත් නිපදවා එය පාලනය කිරීමට කටයුතු කළ අතර, ඩෙල්ටා වැනි ප්‍රභේද බිහි කරමින් මිනිසා පරයමින් ඉතා සාර්ථක ලෙස තම ව්‍යප්තිය සිදු කිරීමට වයිරසය කටයුතු යෙදූ අන්දම දැක්විය හැකිය. ඔමික්‍රෝන් ප්‍රබේදය යනු එහි වර්ධනීය අවස්ථාවකි.

දකුණු අප්‍රිකානු වෛද්‍ය පර්යේෂකයන්ට අනුව ඔමික්‍රෝන් වඩා භයානක වන්නේ මෙවර වයිරසය පරිණාමය වන විට එහි ප්‍රෝටීන සංයුතිය වෙනස් කර ගෙන ඇති බැවිනි. මේ දක්වා මිනිසා සොයාගත් එන්නත් මඟින් සිදු කරනු ලැබුවේද වයිරසයේ ඇති ප්‍රෝටීන් අණු විනාශ කර දැමීමයි. එහෙත් මෙවර වයිරසය ප්‍රෝටීන් අණුවල සංයුතිය වෙනස් කිරීමෙන් වයිරසය එන්නත් මඟින් මර්දනය කළ නොහැකි මට්ටමක පවතින බවට සැක පහළ වී ඇත.

අනෙක් අනුමානය වන්නේ ඔමික්‍රෝන් ඒඩ්ස් වයිරසයේ විකෘතියක් ලෙස බිහිවූ බවයි. ඒඩ්ස් රෝගියකුගේ සිරුරට ඇතුළු වූ කොවිඩ් වයිරසය එම රෝගියාගේ සිරුරේ අභ්‍යන්තරයේ ඇතිවූ ප්‍රතිශක්තිය සමඟ සටන් වැදීම හේතුවෙන් ඒඩ්ස් වයිරසය හා මිශ්‍රව වඩා ප්‍රබලව ඔමික්‍රෝන් ප්‍රභේදය බිහිවන්නට ඇතැයි යනුවෙන් උපකල්පනයක් ද මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් අතර ඇතිවී ඇත.

මේ කෙසේ වුවද දැන් එක දෙයක් පැහැදිලිය. එනම් ඔමික්‍රොන් වඩාත් වේගයෙන්, වඩාත් ප්‍රබලව ලොව පුරා සංසරණය වෙමින් පවතින බවය.

ලෝකය යළි වැසෙයිද?

ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු ලෙස ලොව පුරා පැතිරීමට ඉඩ ඇති බව ප්‍රකාශ වීමත් සමඟම ලෝකයේ බොහෝ රටවල් තම තමන්ට අනුව ආරක්ෂක විධිවිධාන යෙදීමට කටයුතු යෙදීය. බොහෝ රටවල් කුමක් කළ යුතු දැයි සිතමින් සිටියදී ජපානය වහාම සියලුම විදේශිකයන්ට තම රටට ඇතුළු වීම තහනම් කරමින් නීති පැනවීය. මේ තීරණය පුදුමයට කරුණක් වුවද ජපාන ආණ්ඩුව එය ජනතාවගේ කැමැත්ත තමන් වෙත දිනා ගැනීමට කළ වෑයමක් ලෙසින් ද දැක්විය හැකිය. ලොව පුරා කොවිඩ් පැතිර යන අතරතුර ඔලිම්පික් උලෙළ පවත්වීම සම්බන්ධව ජපාන ජනතාවගෙන් ජපාන රජයට චෝදනා එල්ල වූයේ එම උලෙළ පැවැත්වීමෙන් පසු ටෝකියෝ නගරයේ කොවිඩ් ආසාදිතයන් ඉතා විශාල ලෙස ඉහළ ගිය බැවිනි.

මේ අතර ලොව පුරා බොහෝ රටවල් දකුණු අප්‍රිකානු කලාපයෙන් කිසිදු පුද්ගලයකුට තම රටවලට ඇතුළු විය නොහැකි අන්දමට නීති පැනවීමට කටයුතු යෙදීය. ඒ සමඟින් ලොව පුරා රටවලින් ඔමික්‍රෝන් ආසාදියන් වාර්තා වන්නට වූයේ තත්ත්වය තවත් බැරෑරුම් කරමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඔමික්‍රෝන් හඳුනාගත් බවට වූ නිවේදනය නිකුත් කර සතියක් ඉක්ම යෑමට මත්තෙන් නිවේදනයක් මඟින් ප්‍රකාශ කර සිටියේ මේ වයිරස් ප්‍රභේදය මුළු ලොවම යළිත් දරුණු වසංගත තත්ත්වයක් කරා ගෙන යෑමට තරම් ප්‍රබලත්වයෙන් යුක්ත බවයි.

ඇමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, හොංකොං ඇතුළු රටවල් රැසකින් ආසාදිතයන් වාර්තා වන්නට පටන් ගැනීමත් සමඟම බොහෝ රටවල් සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු කරන්නට විය. මේ වන විටත් ජර්මනිය සහ ප්‍රංශය ඩෙල්ටා පැතිර යෑමට මුහුණු දෙමින් සිටි අතර ඇමෙරිකාව තම ජනතාවට ජර්මනියේ සහ ප්‍රංශයේ සංචාරය තහනම් කර ඇත. දිල්ලි, මුම්බායි ඇතුළු ලොව පුරා ගුවන් තොටුපොළ රැසක් ඔමික්‍රෝන් පැතිරීමේ අධි අවදානම් ස්ථාන ලෙස නම් කරනු ලැබූ නමුත් මේ දක්වා ඒ අතරින් බොහෝ ස්ථානවල කිසිඳු ආරක්ෂීත ක්‍රියාමාර්ග අලුතෙන් පැනවීමට කටයුතු කළ බවක් දැන ගන්නට නැත.

ලෝකයම මේ වන විට කොවිඩ් පැතිර යෑමෙන් රටවල් වසා දැමීමේ දරුණු අතුරු ප්‍රතිඵලවලට මුහුණ දෙමින් සිටින බැවින් යළි විවර කළ රටවල් ඔමික්‍රෝන් හමුවේ වසා දැමීමට බොහෝ රටවල පාලකයන් කැමැත්තක් නොදක්වන බවක් දැක ගන්නට ඇත. එමෙන්ම එන්නත් කෙරෙහි ජනතාවගේ විශ්වාසය ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතින්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තද මරණ පෙර සේම වාර්තා වන බව තහවුරු වී ඇති බැවිනි. සමස්ත ජනගහනයෙන් සියයට 80 ඉක්මවා එන්නත් ලබා දුන් සිංගප්පූරුව මේ වන විට ඉතා විශෘල වශයෙන් කොවිඩ් ආසාදිතයන් සහ මරණ වාර්තා කරමින් සිටී. සිංගප්පූරුව ඉතා ක්‍රමවත් ලෙස සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබූ අතර සංචරණ සීමා ඉවත් කළ සැණින් මෙලෙස ආසාදියන් වාර්තා වෙමින් පවතින බව විචාරකයන්ගේ අදහසයි. පසුගිය සැප්තැම්බර් මාස 20 වැනිදා වන විට එරටින් වාර්තා වී තිබුණේ ආසාදිතයන් 78,721ක් පමණී. එහෙත් එතැන් සිට මාස දෙකක් ගත වන විට, එනම් නොවැම්බර් මස 30 වැනිදා වන විට සිංගප්පූරුවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,62,851ක් දක්වා වේගවත් ලෙස ඉහළ ගොස් තිබිණි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ එන්නත්කරණය කිසිදු පලක් නොමැති ක්‍රියාවක් බවට සිංගප්පූරුව හොඳම උදාහරණයක් බවයි. කෙසේ වුවද සිංගප්පූරුවේ මේ දක්වා වාර්තා වී ඇත්තේ මරණ 781ක් බව ද අමතක කළ යුතු නැත. එන්නත වඩා සාර්ථක වන්නේ මරණ අවම කර ගැනීම සඳහා බව ද විද්‍යාඥයන් පෙන්වා දුන් බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.

කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඔමික්‍රෝන් අති භයානක මාරාන්තික වයිරසයකි. එය වේගයෙන් පැතිර යන අතර මරණ සංඛ්‍යාව ද වේගයෙන් වර්ධනය කරමින් සිටී. කොවිඩ් වයිරසයෙන් මිනිස් වර්ගයාට ගැළවීමක් නොමැති බවට ඔමික්‍රෝන් උදාහරණ සපයමින් සිටින බව අමතුවෙන් කිව යුතු නොවේ.

ඔමික්‍රෝන් ආවේ වසංගතය ඉවර කරන්නද?

මේ අතර ඔමික්‍රෝන් වයිසරය සම්බන්ධව ජර්මන් විද්‍යාඥයකු වන කාර්ල් ලුටර්බාෂ් අමුතුම අදහසක් පවසා ඇත. එනම්, මේ වයිරස ප්‍රභේදය සමඟින් කොවිඩ් වසංගතය ලොවින් තුරන් වනු ඇති බවයි. මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ඉතා දරුණු ලෙස පැතිර ගියද එමඟින් මරණ අවම වනු ඇති බවත් ඒ හේතුවෙන් කොවිඩ් යනු සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට පත් වනු ඇති බවත් එයම වංසගතයේ අවසානය සේ හඳුනාගත හැකි බවත් මහාචාර්යවරයා තම අදහස ඉදිරිපත් කරමින් පවසා ඇත. කෙසේ වුවද ඔහුගේ අදහස නිවැරදි විමට යම් ඉඩක් ඇති නමුත් එය පොදුවේ පිළිගැනීමට තවමත් කාලය පැමිණ නොමැති බව ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසයි.

ශ්‍රී ලංකාවටත් ඔමික්‍රෝන් එයිද?

බොහෝ රටවල් මේ වන විට ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය තම රටට ඇතුළු වීම වැළැක්වීමට කටයුතු යොදමින් සිටින අතර, අප රටේ බලධාරීන් ද ඒ යටතේ වයිරසය පිළිබඳ දැනුම්වත් වූ සැණින් ආරක්ෂක විධිවිධාන යෙදීය. දකුණු අප්‍රිකාවෙන් සහ ආශ්‍රිත කලාපයේ රටවල් රැසකින් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සති දෙකක කාලයක් සඳහා තහනම් කරමින් නීති පැනවූ අතර, ගුවන් තොටුපොළ තුළ වයිරස ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ගෙන ඇති ආරක්ෂක ක්‍රියාමාර්ග තර කිරීමටද උපදෙස් ලබා දී තිබිණි. යම් හෙයකින් දැනට වයිරසය හඳුනාගෙන ඇති රටකින් සංචාරකයකු මෙරටට පැමිණියහොත් එම පුද්ගලයා ඉතා විධිමත් ලෙස නිරෝධායනය කරමින් ඔහුගෙන් ජෛව සාම්පල ලබාගෙන ඔමික්‍රෝන් වයිරසය ආසාධනය වී ඇතිද යන්න සොයා බැලීමට කටයුතු කරන බවත් බලධාරීන් පෙන්වා දී ඇත.

ඔමික්‍රෝන් වයිසරය එය හඳුනා ගැනීමට පෙර සිටම ව්‍යාප්ත වෙමින් පැවැති බැවින් මීට මාසයක පමණ කාලයක සිට ලංකාවට පැමිණි සංචාරකයන් සම්බන්ධයෙන් ද තොරතුරු සොයමින් වයිරසය මෙරටට පැමිණීමට කිසියම් ඉඩක් වී දැයි සොයා බැලීමට කටයුතු යොදා තිබෙන බව ද වාර්තා වේ.

Comments