ලිසා කීර්තිචන්ද්‍ර ආසියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇය කුඩා කල ඇයගේ මිත්තණියගේ නිවෙසේ දුව පැන සෙල්ලම් කරද්දී වර්ණභේදය කුමක්දැයි නොදැන සිටියාය. එවැනි හැඟීමක් ඇයගේ සිතේ නොවූයේ මිත්තණියගේ නිෙවසේ ජීවත් වූ විවිධ ඡවි වර්ණ සහිත දරුවන් දැකීමෙනි. ඇයගේ මිත්තණිය සහ මුත්තණුවන් ඔවුන්ගේම වූ දරුවන් සය දෙනාට අමතරව තවත් ආසියාතික දරුවන් තිදෙනකුටම මවුපියෝ බවට පත්ව සිටියහ. දරුවන් ‘අරන් හදා ගැනීම‘ යනු ඉතාම විවෘතව කළ යුතු දෙයක් බව ඔවුහු විශ්වාස කළහ. එහිලා ඔවුන් සෑම විටම දරුවන්ට මෙන්ම සමාජයට ද සත්‍යම පැවසූ අතර කිසිදු වෙනසක් නොකර සියලුම දරුවන්ට එකසේ සෙනෙහස ලබා දුන්හ.
ලීසා මාරි කීර්තිචන්ද්‍ර වැඩෙන්නේ මෙවැනි පරිසරයක් තුළය. ඇයගේ මව එල්විස් ප්‍රෙස්ලිගේ ප්‍රබල රසිකාවක් වූ බැවින්ම එල්විස් තම දියණියට ලබා දුන් ‘ලිසා මාරි‘ යන නම ඇයට ද ලබා දුන්නාය.
කුඩා කල සිටම සංචාරයට කැමැත්තක් දැක්වූ ලිසා, තරුණ වියේ සිටම උපරිම නිදහස භුක්ති විඳිමින් ලෝකය පුරා සංචාරය කළාය. දිනක් ඇය දකුණු ඇමෙරිකාවේ සංචාරය කරමින් සිටියදී දැඩි සේ රෝගාතුර වූයෙන් සංචාරය අතරමග නවතා යළි බ්‍රිතාන්‍යය බලා පැමිණියාය. වෛද්‍ය පර්යේෂණ රාශියකට යොමු වූ ඇය සම්බන්ධව වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඇය හදවත් රෝගියකු බවය. එහෙත් ඇය තම රෝගී බවට කොටු වීමට සූදානම් නොවූවාය.
ඩාෂ් හමුවන විට ඇය තම ජීවිත ගමනේ සිවුවැනි දශකයට මුල පුරා සිටියාය. යුරෝපා රටකදී ඇයට මුණ ගැසුණූ ඩාෂ් ශ්‍රී ලාංකේය සම්භවයකින් යුක්ත බ්‍රිතාන්‍ය පුරවැසියකු වීම ඇය අමන්දානන්දයට පත් කරවන සුලු විය.
ඔවුන් දෙදෙනා විවාහ වූයේ සමාන අදහස් සහ බොහෝ ගැළපීම් සම්බන්ධව ප්‍රීතියෙනි. 2013 වසරේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ බොහෝ හේතූන් පදනම් කර ගනිමිනි. ලීසාගේ හදවත් රෝගයට ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම ඒ අතරින් ප්‍රධාන විය. එපමණක්ද නොව ශ්‍රී ලංකාවේ හිතකර කාලගුණය ලීසාගේ රෝගී හදවතට බොහෝ සුවදායක විය.
එහෙත් ඔවුන්ගේ කැදැල්ලේ කිරි සුවඳක අඩුවක් විය. ඔවුන්ගේ මවුපියන් වීමේ සිහිනය අවස්ථා කිහිපයකදී බිඳ වැටුණේ ගබ්සාවීම් සමඟිනි. එහෙත් ලීසාට දුකක් නොදැනුණේ බොහෝ විවෘත මඟක් ඇය ඉදිරියේ වූ බැවිණි. ඒ දරුවකු ‘අරන් හදා ගැනීමයි‘. තම මිත්තණියගේ නිෙවසේදී බොහෝ නිදහස සහ සමානාත්මතාව සමඟ ඇති දැඩි වූ දරුවන් දුටු ඇයට දරුවකු තම භාරයට ගැනීම ගැටලුවක් වූයේ නැත.
ඇයගේ අදහස සැමියා වූ ඩාෂ් ගේ උපරිම සහාය ලැබුණු අතර ඔවුන් දෙදෙනා තමන් දරුවකු සොයන බව කිහිප දෙනකුටම දැන්වූහ. අවසානයේ දී මොරටුවේ කන්‍යා සොයුරියන් විසින් පාලනය කරන අනාථ නිවාසයකදී ලීසාට සහ ඩාෂ්ට ඔවුන්ගේ ජිවිතයේ පුංචි සුරංගනාවන් දෙදෙනා මුණ ගැසිණි.
ලිසා සහ ඩාෂ් බලාපොරොත්තු වූයේ එක් දරුවකු වුවද එතන දරුවෝ දෙදෙනෙක්ම වූහ. ඔවුන් දරා සිටි මව ගැබිනි සමයේදී බොහෝ දුක් විඳ තිබූ අතර ගැබෙහි නිවුන් දරුවන් වන බව ද ඇය නොදැන සිටියාය. උපත ලබන විට එක් බිලිඳියක් ග්‍රෑම් 874ක් සහ අනෙක් බිලිඳිය ග්‍රෑම් 1979කින් යුක්ත විය. සති 32දී උපත ලැබූ ඔවුන් දෙදෙනාම නොමේරූ බිලිඳියන් වූහ. ඒ හේතුවෙන්ම ඔවුන් නොයෙක් රෝගාබාධවලින් යුක්ත වූ අතර මවගෙන් වෙන් කිරීම ගැටලු සහගත විය. ලීසා මනා අවබෝධයකින් යුක්ත වූ කාන්තාවක වූ අතර ඇය දියණියන්ගේ ජීව විද්‍යාත්මක මව සමඟ එක්ව මාස අටක් දියණියන් ලොකු මහත් කර ගත්හ. එතැන් සිට මේ කුඩා දියණියෝ ලීසා සහ ඩාෂ්ගේ ලෝකය සුන්දර කිරීමට වන්හ. මේ සියල්ල සිදුවූයේ 2019 වර්ෂයේදීය.
ආර්යා සහ ලැවීනියා යනුවෙන් නම් ලැබූ මේ සිඟිත්තියෝ සැබවින්ම සුරතල් දැරියෝ වූහ. වසර තුනක් පුරා මේ දරුවෝ ලීසා සහ ඩාෂ් සමග අතිශය ප්‍රීතියෙන් යුක්තව කාලය ගෙවූහ. ලීසා සහ ඩාෂ් ශ්‍රී ලංකාවේ තම ව්‍යපාර ඇරඹූ අතර දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ මවුබිම වන බ්‍රිතාන්‍යයේ පුරවැසි භාවය සඳහා ද අයැදුම් කළහ.
බ්‍රිතාන්‍යයේ සිට වරින්වර ශ්‍රී ලංකාවට පැමිණි ලීසාගේ මවුපියෝ තම මිණිබිරියන් සමඟ බෙහෙවින් සුන්දර දවස් ගෙවා දැමූහ. දරුවන් ද රැගෙන බ්‍රිතාන්‍යයේ සංචාරය කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබූ නමුත් නොයෙක් හේතු මත කල් දැමීමට සිදුවිය.
ලීසාගේ රෝගී තත්ත්වය උත්සන්න වූයේ මේ අතරය. ඇයගේ හෘදය බෙහෙවින් රෝගී ව තිබූ අතර ඇයට ඇඳ විවේකය පමණක්ම නිර්දේශ විය. ඇයගේ හදවත ඕනෑම මොහොතක හෘදයාබාදයක් ගෙන ඒමට සූදානමින් තිබිණි. ඇයට දරුවකු වඩා ගැනීමට හෝ හැකියාවක් තිබුණේ නැත. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ වඩා වැඩි සෞඛ්‍ය පහසුකම් සහිත බ්‍රිතාන්‍යයේදී හෘදය සැත්කමක් කර ගැනීම වඩාත් යහපත් බවයි. එබැවින් ලීසා සහ ඩාෂ් පෙරළා තම මවු රට වන බ්‍රිතාන්‍ය බලා යෑමට කටයුතු සූදානම් කළහ. තමාට සහ දරුවන් සඳහා බ්‍රිතාන්‍යයට ගමන් කිරීමට ලියකියවිලි සුදානම් කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ නොසිතූ ගැටලුවකටය. ලීසාට ඩාෂ්ට මවුබිමේ හිමිකම් තිබූණද බ්‍රිතාන්‍ය රජය ඔවුන්ගේ හදාගත් දරු දෙදෙනා වන ලැවනියා සහ ආර්යාට පුරවැසිභාවය ලබා දීම ප්‍රතික්ෂේප කළහ. අවම තරමින් දරුවන් රැගෙන බ්‍රිතාන්‍යයට පැමිණීමේ අවස්ථාව ලබා දීම පවා බ්‍රිතාන්‍ය රජය ප්‍රතික්ෂේප කර තිබිණී.
ලීසා සහ ඩාෂ් මුහුණ දුන්නේ නොසිතූ අර්බූදයකටය. තම මවු පදවිය යටතට දරුවන් ලබා ගත් දින පටන් ලීසා එක් දිනක් හෝ ඔවුන් තනි කර තිබුණේ නැත. ඇය නොමැතිව ඔවුන් එක් රැයක් හෝ පහන් කර නොතිබුණි. දැන් ඇයට ප්‍රතිකාර ගැනීමට යෑමට සිදුවී තිබෙන අතර ඩාෂ් ද තමා සමීපයේ සිටීම ඇයට අත්‍යවශ්‍ය කරුණක් විය. දරුවන් කිසිසේත් ශ්‍රී ලංකාවේ තනි කර දමා යෑම කළ නොහැකිය. අනික් අතට හැකි ඉක්මනින් තම රෝගී හෘදයට ප්‍රතිකාර ලබා ගැනීම ද කළ යුතුය. ඒ අතර තම මවු රට අකාරුණික ලෙස තම දරුවන් ප්‍රතික්ෂේප කරමින් සිටී.
ලීසා කළ යුතු දෙය පැහැදිලිව වටහා ගත්තාය. එය නම් සටන් වැදීමය. තම දරුවන් වෙනුවෙන් සටන් වැදීමය. ඇය තම මවු රටෙන් තම අයිතිය ඉල්ලා අයැද සිටියාය.
බ්‍රිතාන්‍ය බලධාරීන් ඇයට ලබා දුන් පිළිතුර පැහැදිලි එකක් විය. එනම්, දරුවන්ට කිසිසේත් පුරවැසිභාවය හිමි නොවන බවයි. එහෙත් ලීසා තම රෝගී තත්ත්වය සහ දරු සෙසෙනහස අතරට මැදිව අරගලය අත් නොහැර සටන් වදිමින් සිටින්නීය. ඒ ද ලෙඩ ඇඳේ වැතිර සිටිමිනි.
මේ වන විට ලීසාගේ අසාමාන්‍ය සටන කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමු වෙමින් තිබුණි. ශ්‍රී ලංකාවේ නීතිවේදීන් ද ඇයගේ සහායට ඉදිරිපත්ව සිටින අතර බ්‍රිතාන්‍ය රජය ද ඇයගේ ඉල්ලීම සලකා බැලීමට තීරණය කළේය. ලොව පුරා මාධ්‍ය ඔස්සේ ඇයගේ දරු අයිතිය සහ මවුබිම අතර සටන පිළිබඳ පුවත් වාර්තා වෙමින් තිබෙන අතර දරු සෙනෙහස සහිත බොහෝ දෙනා ඇයගේ සහායට පැමිණෙමින් සිටී.
මේ අතර ලීසා දරුවන් හෝ මවුබිම හෝ තම ජීවිතය යන වරණයන් අතර කාලය ගෙවමින් සිටින්නීය. තම දරුවන් ශ්‍රී ලංකාවේ තබා තම රෝගයට ප්‍රතිකාර ලබාගෙන යළි පැමිණීම කළ හැකි වුවද ඇය තම දරුවන්ගේ අයිතිය තම මවුබිමෙන් අයැද සිටින්නීය. ඒ හැර අන් විකල්පයක් කරා යෑම ඇය ප්‍රතික්ෂේප කරන්නේ තම ජිවිතය දැඩි අනතුරක පවතින බව නොසලකා හරිමිනි. හෙට දිනයේදී බ්‍රිතාන්‍ය රජයෙන් මේ ධෛර්යවන්ත මවට කිනම් අන්දමේ පිළිතුරක් ලැබේදැයි සැක සහිතය.
එහෙත් ඇය තම කුසෙන් බිහි නොකළ දරුවන්ගේ සමානාත්මතාව වෙනුවෙන් ගෙන යන මේ අරගලය නම් දැනටමත් ඉතිහාසයට එක්වී ඇති බවට සැකයක් නැත.