
සල්ලාපය
‘ආගම් රැසක් උපන් ඉන්දියානු පින් බිම තෙත් කරන මහා ජලධාරා අතර යමුනා ප්‍රකට ගංගාවක්. ඒ නිසා යමුනා යන නම ලෙහෙසියෙන් අමතක වෙන්නේ නෑ. එහෙයින්ම අපට ඇයව අමතක කරන්නත් බෑ. මේ එවන් අමතක නොවන මතකයෙන් පිරුණු ජීවිතයක හිමිකාරිණියක්......ඇය නමින් යමුනා යාපා......කලකට පසුව ‘ක්‍රීඩා’ යමුනාව මුණගැසුණා.’
අමතකවීම ස්වභාවිකයි. එහෙත් ලෝකයේ සෑමදෙයක්ම එකවගේ අමතක වෙන්නේ නෑ. ඕනෑම කාරණාවක් සතියකින් දෙකකින් අමතක වීම හෝ අමතක කිරීම බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය සිරිත. නමුත් අපට අමතකවීම ගැන ඉඳහිට හෝ තාවකාලික කණගාටුවක් ඇතිවෙනවා. ඒ අමතක වීමකට හෝ අමතක කිරීමකට ලක්නොවිය යුතු දේවල් වගේම පුද්ගලයන් අමතක වීම්වලට ගොදුරු වුණාම.
අද දවස උදා වී ඇත්තේ ඊයේ දවස අතීතයට එක් කරමිනි. හෙට දවස සාර්ථක කර ගන්නට අවැසි බොහෝ දේ ඊයේ දිනය තුළ තිබිය හැකියි. අතීතය අමතක නොකළ යුත්තේ ඒ නිසායි.
එවන් පසුබිමක ‘ක්‍රීඩා’ තම අලුත්ම විශේෂාංගය වෙනුවෙන් අද හමුවන්නේ කලක මෙරට කඩුලු මතින් පියඹන්නිය වූ යමුනා ජයලත් යාපා යි. ඈ එලෙස කඩුලු මතින් පියාඹා උපන් රටට ගෞරවය අත්කර දුන් ක්‍රීඩිකාවක්. ඇගේ දස්කම් පිළිබඳ මතක රැඳී ඇත්තේ වසර 25 ක තරම් ඈත අතීතයක. ඒ නිසාදෝ අද බොහෝ දෙනෙකුට ඇය අමතක වී දැයි සිතෙන නිසා අමතක නොකළ යුතු මතක වෙනුවෙන් අපි ඇයව මුණගැසුණා.
දෑසින් උපන් කඳුළු සඟවාගෙන ගත උණන දහදියෙන් සිරිලකට ජය පැන් ඉසින්නට වෙහෙසුන යමුනා මෙරට ක්‍රීඩා පිටියට එක් වන්නේ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විදුහලෙන්. සිය පාසල් දිවියේ වැඩි කාලයක් ක්‍රීඩා පිටියට සින්න වීමට ඉඩදුන් ඇය දැල්පන්දු හා එල්ලේ ක්‍රීඩාවන් ඔස්සේ පැමිණ කිසිදු තෝරා ගැනීමකින් තොරව මීටර් 100, 200, 400 හා 800 යන ධාවන ඉසව්වලට ද සහභාගී වුණා.
එහෙත් එකල දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරී ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ධර්මදාස මහතාගේ මැදිහත් වීම නිසා තමයි ඇය මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට නැඹුරු වුණේ. පළමු වරට 1985 වසරේ ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 තෙවැනි ස්ථානයත් හා මීටර් 800 වර්ණ ද දිනාගත් නමුත් යමුනා මලල ක්‍රීඩිකාවක ලෙස ශ්‍රී ලාංකිකයින් හඳුනා ගන්නේ කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව නිසායි.
පාසලේදී මෙම ඉසව්ව පුහුණු වීමට කඩුලු නොතිබීම ගැටලුවක් වුවද ධර්මදාස මහතාගේ මැදිහත් වීමෙන් පාසලේ තිබෙන සිසු මේස කඩුලු බවට පත් කෙරුණා.
පිට පිටම ජාතික මහා ක්‍රීඩා උළෙල හතරක දී ම (1990-93) මෙම ඉසව්වේ රන් පදක්කම් දිනාගත් ඇය අනුව දශකයේ මැද භාගය වන තෙක්ම මීටර් 400 කඩුලු ඉසව්වේ රැඳී සිටියේ ජාතික ශූරිය වුණා.
ඉන්පසු ඇය කොළඹ ගෙන්දගම් පුරවරයට ආවා. එහෙම ඇවිත් එස්.එම්.ජී. බණ්ඩාර මහතා යටතේ වැඩිදුර පුහුණු වීමට අවස්ථාව උදාකරගත්තා. තමන්ට ඒ ලැබුණු අවස්ථාව ඇයට ජාත්‍යන්තරයට පිවිසීමේ දොරටු විවර කර දුන්නා. ගල්කිස්සේ ඥාති නිවසක නතර වී ටොරින්ටන් ක්‍රීඩාංගණයට යන ඇයට වෙහෙසකර පුහුණුවීම් කරන්නට සිදුවුණා. නමුත් ඇයට කුසගින්න විශාල බලපෑමක් නොකළා නොවෙයි. ඈ ඒ කුසගිනි ඉවසා ගනිමින් වතුර කරාමයෙන් කුස පුරවාගෙන, පුංචි කෑම වේලකින් සෑහී ක්‍රීඩා පුහුණුව යුහුසුළුව කළා.
ජර්මනියේ දී වැඩිදුර පුහුණුවක් සඳහා ශිෂ්‍යත්වයකට ගිය බණ්ඩාර මහතා නොමැතිව ටික කාලයක් යමුනාට තනිවම පුහුණු වෙන්නට සිදුව තිබුණා.
‘මම කෝච් කෙනෙක් නැහැ කියලා නිකං හිටියේ නෑ. හැමදාම ටොරින්ටන් ආවා. ඔය දවස්වල තිලකා ජිනදාස අක්කත් ට්‍රේනිංවලට ආවෙත් ටොරින්ටන් ක්‍රීඩාංගණයටම තමයි. එයා ට්‍රේනිං වෙන කොට මම එයාට නොදැනෙන්න බලාගෙන ඉඳලා ටෙක්නික් හොරකම් කරගෙන තනියම පුහුණු වුණා.’
එහෙත් 1992 වසරෙ අනුරාධපුර පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු ඉසව්වේ රන් පදක්කම යමුනා දිනාගන්නා විට එහි රිදී පදක්කම දිනාගත්තේ තිලකා ජිනදාස යි.
තිලක අක්ක ඒ දවස්වල වැඩියෙන්ම ට්‍රේන් කළේ මීටර් 100 කඩුලු ඉසව්ව ඉලක්කර කරගෙනනෙ. ඇය සිය සමකාලීනයන් අවතක්සේරු කිරීමට කැමැත්තක් නැති නිසාදෝ අපට එහෙම කිව්වා.
ජාතික සංචිතයට එක් කර ගැනීමත් සමග ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාර ලැබුණු බැවින් ඇගේ ගැටලු රැසකටම විසඳුම් ලැබී තිබුණා. ශ්‍රී ලංකාවේ සත්කාරය ලබමින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක් පළමු වරට පැවැත්වූයේ 1991 වසරේදීයි. එම ක්‍රීඩා උළෙලේ පළමු දිනයේම මීටර් 400 කඩුලු ඉසව්වේ රන් පදක්කම හිමිවූයේ යමුනාටයි.
‘මගේ ඒ ජයග්‍රහණය අගය කරනවට වඩා වැඩි දෙනෙක් කළේ බාල්දු කරන එකයි. ඒ තරගයට ඉදිරිපත් වෙලා හිටපු විදෙස් ක්‍රීඩිකාවෝ තරගය මග හැරියා. ඉන්දීය ක්‍රීඩිකාව ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලත් ආපසු ගියා. ඒ නිසා මමයි නිර්මලා කුමාරියි විතරයි ඒ රේස් එකට සහභාගී වූණේ.’
අද මෙන් එකල විදෙස් තරගමාලා බහුලව නොතිබුණ නිසාදෝ ඇය සහභාගී වී ඇත්තේ ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල පැවැති තරග මාලා තුනකට පමණය.
‘මොනව වුණත් 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙල වෙනුවෙන් ස්පාඤ්ඤයට යන්න මට ලැබුණු අවස්ථාව තමයි වඩාත් වැදගත්. ඒ ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගෙන යන්න ලංකාවේ කෙනෙකුටත් අවස්ථාවක් දීලා තිබුණ එ්කට සහභාගී කරන කෙනා තෝරා ගත්තේ පාඨක ඡන්දයෙන්, පත්තරවල කූපන් එකක් දාලා තිබුණා. මාත් එක්ක ජයමිණි ඉලේපෙරුම, ධම්මිකා මැණිකේ, පැට්‍රික් සපරමාදු, ශ්‍රියන්ත දිසානායක, කේ.ඒ. කරුණාරත්න, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුලවංශ, විජිතා අමරසේකර තමයි යෝජනා කරලා තිබුණේ. ඒකෙදි වැඩි මනාපයෙන් තේරුණේ මමයි. ඒ නිසා මැඩ්රීඩ් නුවර ඉඳල මීටර් 500 ක දුරක් ඔලිම්පික් ගිනි සිලුව අරගෙන දුවන අවස්ථාව මට හිමි වුණා.’ ඇය කිව්වා.
හැමදාම පිට්ටනියට වෙලාව ඉඳලා බැරි නිසාදෝ ඇය ක්‍රීඩාව නිසාම හඳුනාගත් වසන්ත මහලියන සමග විවාහ වුණා.
‘එයා කෙටිදුර ධාවන ශූරයෙක්. ඔහු සේවය කළේ ට්‍රයිස්ටාර් ඇපරල් ආයතනයේ නිෂ්පාදන සහකාර විදියටයි. ඒත් එයාට කෙටිදුර ධාවනයෙන් වැඩිදුරක් යන්න බැරි වුණා. ඒත් ඔහු හොඳ කෙටි දුර ධාවන ශූරයෙක්. ඒ කාලේ පවත්වපු වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියක දී එයා මීටර් 100 තරගය දිනුවේ ශ්‍රියන්ත දිසානායකවත් පරාජය කරලයි.’
විවාහයෙන් ටික කාලයටක පසු ඔවුන් කොරියාවට ගියා.
‘අපි කොරියාවට ගියේ ක්‍රීඩාවෙන් සමු අරගෙනයි. ජීවත් වෙන්න හොඳ රැකියා දෙකක් අපට ලැබුණා. මට බිනොවින් ලක්මාල්, සෙනවින් දීමාල් කියලා පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම ඉපදුණේ කොරියාවේ. කාලයකට පස්සේ මම අසනීප වුණා. සෑහෙන කාලයක් ප්‍රතිකාර කරන්න සිදුවුණා. ඒ නිසාම මගේ රැකියාවත් නැතිව ගියා. ඊට පස්සේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටයි. අනිත් හැම දේකටමත් වියදම් කරන්න ඉතිරි වුණේ වසන්තගේ පඩිය විතරයි. ඒ නිසා මම ගෙදර ඉඳගෙන පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. නමුත් අපට බිස්නස් කරන්න වීසා තිබුණේ නැහැ. කවුදෝ කේලාම් කියලා අපේ ඒ වැඩත් නතර කළා. දරුවන්ගේ අධ්‍යාපනයටයි, මගේ ලෙඩේටයි ඉතුරු කරපු සේරම වියදම් කරපු අපිට ලංකාවට එන්න සිද්ධ වුණා.’ ඇය කිව්වා.
‘ලංකාවට ඇවිත් කරන්න දෙයක් තිබුණේ නෑ. අපේ ගෙරදම කොටසක වසන්ත කායවර්ධනගාරයක් පටන් ගත්තා. ඒත් මේ කොරෝනා වසංගතය නිසා ඒකෙන් දැන් ආදායමක් නැහැ. මගේ එක නංගි කෙනෙක් හෙදියක් හැටියට රැකියාව කරනවා. එයා ඕලන්ද ජාතික පරිසර විද්‍යාඥයෙක් සමග විවාහ වෙලා ඉන්නවා. ඒ නංගි තමයි දැන් අපිට උදව් කරන්නේ.
එතකොට යමුනාගේ පවුලේ වෙන කවුරුද ඉන්නේ කියන ප්‍රශ්නයක් පැන නැග්ග නිසා අපි ඒ ගැන ඇහුවා,
‘මට අක්කා කෙනෙකුයි, මල්ලි කෙනෙකුයි නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. එක නංගි කෙනෙකුයි මගේ අම්මයි පිළිකා රෝගය හැදිලා නැතිවුණා. අක්ක උපාධිධාරිනියක් අවිවාහකයි. දැන් තාත්තයි අපි ඔක්කෝමයි ඉන්නේ කොළඹ.’ ඇය කිව්වා.
මීටර් 400 කාන්තා කඩුලු පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තත්පර 56.45 යි. ක්‍රිස්ටීන් මෙරිල් ඒක පිහිටෙව්වේ 2013 වසරේ දී. අපි ඒ ගැන යමුනාගෙන් ඇහුවා.
‘මම තත්පර 62.79 ට දිව්වේ 1995 දී ඒ කාලේ පෝෂණ දීමනා, වෛද්‍ය ආධාර, භෞත චිකිත්සක සේවය, කායවර්ධන උපදෙස් ඇතුළු කිසි පහසුකමක් තිබුණේ නෑ. අපේ රටේ අද ක්‍රීඩකයින්ට ඒ පහසුකම් ලැබෙනවා. එහෙම වෙලත් අමෙරිකාවේ ඉහළම පහසුකම් ඇතිව පුහුණුව ලබන ක්‍රිස්ටීන් අවුරුදු 18 ක ට පස්සේ ඉස්සරහට ගිහින් තියෙන්නේ තප්පර 6.34කින්. එදා මට ඔය පහසුකම්වලින් භාගයක්වත්ලැබුණා නම් තවමත් ජාතික වාර්තාව මගේ.’ ඈ කිව්වා.
අපි ඇගේ ක්‍රීඩා ජීවිතය තුළ අසාධාරණකම් සිදුවී නැද්දැයි ඇසුවා.
‘මොකද නැත්තේ. එහෙම තියෙනවා. ඔබ අහන නිසා කීපයක් කියනවා මිසක් අතීතයේ අකටයුතුකම් සිහි කරන්න මම අකමැතියි.’ ඈ කිව්වා.
පොදු සමාජය දැනගත යුතු නිසා එවැනි අසාධාරණකම් නවකයන්ට පාඩමක් කරගන්න කියන්න කියලා අපි ඇයට පෙරැත්ත කළා.
‘එහෙම නැතුව අතීතය දිග හැරලා කාටවත් රිදවන්න මට ඕන නැහැ. මට හරියට දින වකවානු මතක නැහැ. නමුත් මට ඉන්දියාවෙ දී වැඩිදුර පුහුණුවක් ලබාගන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒකට රුපියල් 16000 ක් වියදම් කරන්න මට සිද්ධ වෙලා තිබුණා. මගේ ළඟ සල්ලි තිබුණේ නැහැ. නමුත් උතුරුමැද පළාත් සභාව ඒකට මුදල් අනුමත කරලා දුන්නේ නැති නිසා ඒ අවස්ථාව මට නැතිව ගියා.’ ඈ කිව්වා.
‘මම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාට පස්සේ ජාතික මහා ක්‍රීඩා උළෙල දෙකක්ම පොළොන්නරුවේ පැවැත්වූණා. නමුත් ඒ පළාතේ ක්‍රීඩිකාවන් වුණත් සහභාගී වෙන්න මට කිසිම ආරාධනාවක් කළේ නැහැ. ඒ වුණත් මගේ සමකාලීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හුඟ දෙනෙකුටම ආරාධනා ලැබිලා ඊට සහභාගී වෙලා තිබුණා. ඔවුන්ගේ අතීත දස්කම් නිතර නිතර ප්‍රචාරය කළා. යමුනා ජයලත් යාපා කියලා ක්‍රීඩිකාවක් හිටියා කියලවත් ඒ අයට මතක නැතිවෙලා තිබුණා. ඒ වුණාට මගේ ගමනට උපකාර කළ එස්.එම්.ජී.බණ්ඩාර, පුංචි බණ්ඩා සෙනෙවිරත්න, ඩබ්ලිව් ධර්මදාස, ඉන්ද්‍රානි විමලසේකර කියන පුහුණුකරුවන් වගේම ඉනේකා කුරේ, ජයමිණි ඉලේපෙරුම, සුසන්තිකා ජයසිංහ, ධම්මිකා මැණිකේ ඇතුළු මගේ සමකාලින ක්‍රීඩිකාවනුත් මට අමතක නැහැ.
සීවලී එදිරිවීර
ඡායාරූප - එස්. ආර්. කුමරේෂා