
'නායකයෙක් වීම විශේෂිතය. එහෙත් ඔහු නායකයකු වීම තවත් සුවිශේෂී ය. ඒ කලකට පසුව ඔස්ට්‍රේලියාව නමැති ප්‍රබල ක්‍රිකට් රාජ්‍යයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වීමට ඔහුට අවස්ථාව සැලසුණු හෙයිනි. මේ ඔහු සම්බන්ධව ය.'
ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක නායකයෙක් වන්නට වරම් ලැබීම භාග්‍යයක්. මොකද ලොව සිටින සෑම ක්‍රිකට් ක්‍රීඩකයකුටම ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පිවිසෙන්නට වරම් නොලැබෙනවා සේම ජගත් ටෙස්ට් වරම් දිනා ගන්නා සෑම ක්‍රීඩකයකුටම කණ්ඩායම් නායකත්වය දරන්නට වාසනාව උදා නොවන නිසා. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ලොව ප්‍රබල මෙන්ම ප්‍රමුඛ පෙළේ ජාතික කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වශයෙන් අභිෂේක ලැබීම ඊටත් වඩා අසීරු කාර්යයක්. එහෙත් පසුගියදා ඔහු එම ගෞරවයේ සාඩම්බර හිමිකරුවා බවට පත්වුණා. ඒ තමයි තවමත් 28 වන වියෙහි පසුවන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් වන පැට් කමින්ස්.
පැට් කමින්ස් මෙලෙස ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වන්නේ ඉතිහාසගත වාර්තාවක් ද පිහිටුවමින් වීම විශේෂයි. ඒ 1956 වසරෙන් පසුව ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් පිලේ නායකත්වයට පත් වූ පළමුවැනි වේග පන්දු යවන්නා ලෙස යි.
මීට වසර 65 ක ට පෙරාතුව එනම් 1956 වසරේ දී දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වන රේ ලින්ඩ්වෝල් ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වෙනවා. ඔහු පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක් ලෙසත් ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් දායකත්වය සැපයූවෙක්. ඒ අනුව ලින්ඩ්වෝල් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව් අංශයට අයත් ක්‍රීඩකයෙක්.
නමුත් පසුගියදා නායකත්වයට පත් වූ පැට් කමින්ස් ක්‍රිකට් ක්‍රීඩාවේ නියෝජනය කරන්නේ පන්දු යැවීමේ බල ඇණියයි. එම නිසා වසර 175 ක ට ආසන්න ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේග පන්දු යැවීමේ අංශය නියෝජනය කරමින් නායකත්වයට පත් වුණු පළමුවැනි ක්‍රීඩකයා ලෙස සැලකෙන්නේ ඔහුයි.
කමින්ස් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ 2011 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි. ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි20 තරගයකින්. ඔහු ජාත්‍යන්තර එක්දින පිටියට මෙන්ම ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසෙන්නේත් එම වසරේදීම යි. ඒත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව. මේ වන විට ටෙස්ට් තරග 34 ක ට සහභාගිවී ඔහු එහිදී කඩුලු 164 ක් බිඳ හෙළන්නට සමත් වී තිබෙනවා.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නාක් මෙන් ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව තරග කළ සිය පළමු තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 79 ක ට කඩුලු 6 ක් බිඳ හෙළන්නට සමත් වුණා. එම තරගයේ වීරයා සම්මානය ද පැට් කමින්ස් විසින් හිමි කර ගන්නවා. ඔහු මේ වන විට ටෙස්ට් ඉනිමක කඩුලු 5 ක් හෝ කඩුලු 5 සීමාව ඉක්මවා දවාගත් අවස්ථා 5 ක ට හිමිකම් කියනවා. ජාත්‍යන්තර එක්දින තරග 69 ක දී කඩුලු 111 ක් ජාත්‍යන්තර විස්සයි20 තරග 37 ක දී කඩුලු 42 ක් ද ඔහු දවාගෙන තිබෙනවා.
ඒ අනුව වසර 10 ක ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ඇති පැට් කමින්ස් මෙම මාසයේ එංගලන්තය සමඟ ආරම්භ වීමට නියමිත තරග 5 කි න් සමන්විත 72 වැනි අළු බඳුන ටෙස්ට් ශූරතා තරගාවලිය තුළින් සිය නායකත්වයේ නව ඉනිම ආරම්භ කරනු ඇති. ඔහු එහි දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවන 47 වැනි ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස ඉතිහාසයට එක් වීමට ද නියමිතයි.
ඉයන් බෝතම් (එංගලන්තය), ඉම්රාන් ඛාන් (පාකිස්තානය), වසීම් අක්‍රම්(පාකිස්තානය), වකාර් යුනිස් (පාකිස්තානය), ෂෝන් පොලොක් (දකුණු අප්‍රිකාව) ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් නායකත්වයට පත් වූ ලොව ශ්‍රේෂ්ට වේග පන්දු යවන්නන්. ඒ සාඩම්බර අතළොස්සක් පිරිස අතරට එක් වන්නට මේ අනුව පැට් කමින්ස්ට ද අවස්ථාව උදා වෙනවා.
ඉතිහාසය තුළ ඉයන් බෝතම් එංගලන්තය වෙනුවෙන් තරග 12 ක ට නායකත්වය ලබා දී ඇති අතර ඔහුට කිසිදු තරගයක් ජයග්‍රහණය කරා මෙහෙයවන්නට හැකි වන්නේ නැහැ. ඉම්රාන් ඛාන් පාකිස්තානය වෙනුවෙන් තරග 48 ක දී තම කණ්ඩායමට නායකත්වය ලබා දී තිබෙනවා. එහිදී තරග 14 ක් ජයග්‍රහණයෙන් ද තරග 8 ක් පරාජිතවද තවත් තරග 26 ක් විසඳුමකින් තොරව ද නිමාවට පත් කරගන්නට ඔහු නායකත්වය ලබාදුන්නා.
වසීම් අක්‍රම් තරග 25 ක ට නායකත්වය දෙමින් 12 ක් ජයග්‍රහණයෙන් ද 8 ක් පරාජිතව ද තරග 5 ක් විසඳුමකින් තොරව ද නිමා කර තිබෙනවා. තවත් වේගපන්දුයවන නායකයෙක් වන වකාර් යුනිස් තරග 17 ක ට නායකත්වය දෙමින් ඉන් තරග 10 ක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති අතර ඉතිරි තරග 7 පරාජිතව අවසන් කළ බවයි ඔහුගේ වාර්තා පිරික්සද්දී දක්නට ඇත්තේ. ෂෝන් පොලොක් තරග 27 ක ට නායකත්වය ලබා දී ඇති අතර ඉන් තරග 14 ක් ජයග්‍රාහීව ද තරග 5 ක් පරාජිතව ද තරග 7 ක් විසඳුමකින් තොරව ද අවසන් කරන්නට දායකත්වය ලබා දී ඇත.
පසිඳු මිහිරාන් රැටියල