කාන්තා ක්‍රිකට් සංවර්ධන සංචිතයට ක්‍රීඩිකාවෝ හතරක් | Page 2 | සිළුමිණ

කාන්තා ක්‍රිකට් සංවර්ධන සංචිතයට ක්‍රීඩිකාවෝ හතරක්

වාද්දුව මැදි විදුහලෙන් කාන්තා ක්‍රිකට් ප්‍රබෝධයක්

 

ශ්‍රී ලංක කාන්තා ජාතික ක්‍රිකට් සංවර්ධන සංචිතයට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයෙන් එකවර තේරී පත් වූ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සිවු දෙනෙකුට පසුගිය දා එම විදුහලේ දී උපහාර පිදීමේ උත්සවයක් පැවැත්විණි.

නවෝද්‍යා නෙත්මිණී (නායිකා) ,එමෝක්ෂා භාෂිනී,සාවින්දි කුරේ සහ මනෝහාරී නිසංසලා යන ක්‍රීඩිකාවන් සිව්දෙනා එලෙස ඇගයීමට ලක්විය. මෙම ක්‍රීඩිකාවන් පෙරටුව විශේෂ රථ පෙළපාලියකින් වාද්දුව නගරයේ සිට ,විද්‍යාලයීය උත්සව ශාලාව වෙතට කැඳවා ගෙන පැමිණි අතර මඟ දෙපස හා පාසලේ රැස්ව සිටි විශාල පිරිසක් අත්පොලසන් දෙමින් ඔවුනට සුබපැතූ හ.

මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සහභාගි විය. ඊට අමතරව කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කරන අප්සාරී තිලකරත්න මහත්මිය ද සහභාගිවිය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයා පැවසූයේ,

සංවර්ධන සංචිතයට වාද්දුව මධ්‍ය විද්‍යාලයෙන් ක්‍රීඩිකාවන් හතර දෙනෙක්ම එකවර තේරුණ එක ගැන මට සතුටුයි. මුළු සංචිතයටම ඉන්නේ ක්‍රීඩිකාවන් විස්සයි. ඉන් හතර දෙනෙක් කියන්නේ සියයට විස්සක්. වාද්දුව මධ්‍ය විද්‍යාලයේ වයස අවුරුදු දහ නවයට අඩු දක්ෂ දරුවන් තව ඉන්නවා ජාතික සංවර්ධන සංචිතයට එන්න වාසනාව තියෙන ගැහැණු ළමයි තව තුන් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ වාද්දුව මධ්‍ය විද්‍යාලයේ ඉතා ශක්තිමත් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් සිටින බව කිවයුතුයි. පුහුණුකාර ධනුෂ්ක රන්මුතු මහතා ⁣හුඟාක්ම වෙහෙස මහන්සිවෙලා කැප වෙලා තමයි මේ ළමයි ටික මේ තරම් දුරකට අරගෙන ආවේ කියලා මට දැන ගන්නට ලැබුණා." යැයි ද උප සභාපතිවරයා එහිදී පැවසී ය.

ඒ අනුව ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත් ක්‍රමය යටතේ ගිවිසුමකට යාමට අවස්ථාවක් ඇති බවත් එවිට මෙවැනි දක්ෂ දරුවන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගෙවීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසී ය.

මෙහිදී කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී අප්සාරි තිලකරත්න මහත්මිය ද අදහස් දැක්වූවාය. ඈ ප්‍රකාශ කළේ තේරිම් කමිටු සාමාජිකයන් ද සමග තමන් දීප ව්‍යාප්තව සංචාරය කරමින් ක්‍රීඩිකාවන් 120ක් තෝරා ගත් බවයි. ඔවුන් අතරින් වඩාත් දක්ෂ දැරිවියන් විසිදෙනෙකු මෙම සංචිතයට ඇතුළත්කරගත් බව ද ඇය පැවසුවාය.

සංවර්ධන සංචිතයට ක්‍රීඩිකාවන් තෝරාගැනීම දැඩි අසීරුතා මතුකළ බව පැවසූ තිලකරත්න මහත්මිය පෙන්වා දුන්නේ ඊට වාද්දුව මැදි විදුහල් ක්‍රීඩිකාවන් හතරක් තේරීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. 2016 වසරේ දී විදුහල්පති ඩිලාන් ගුණරත්න මහතාගේ උපදෙස් මත අනුෂා වීරමන්ත්‍රී ගුරු මෙනෙවියගේ උත්සාහය හා කැප කිරීම් හමුවේ එදා ආරම්භ වූ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගෙන ඇති බවද ඈ සිහිපත් කළා ය.

මෙම අවස්ථාව සඳහා කළුතර ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේකර , පානදුර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ඩිලාන් ගුණරත්න, විදුහල්පති රණසිංහ ඉන්ද්‍රසේන ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.

සටහන හා ඡායාරූප - කළුතර මධ්‍යම විශේෂ

Comments