ඕනෑම තත්ත්වයක් සමහන් කරන්න අපි මාර්ගෝපදේශ හදලයි තිබෙන්නේ | සිළුමිණ

ඕනෑම තත්ත්වයක් සමහන් කරන්න අපි මාර්ගෝපදේශ හදලයි තිබෙන්නේ

 

එල්.පී.එල්. සංවිධානය වන්නෙත් ඊට අනුකූලවයි

 වෛද්‍ය ලාල් ඒකනායක

(අධ්‍යක්ෂ ජනරාල් ක්‍රීඩා වෛද්‍ය ආයතනය)

 

ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරනුයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා ය. එල්.පී.එල්. තරගාවලිය ඇරඹීමට නියමිත ව තිබියදී අන්තර්ජාතික තරග මෙන් ම විවිධ ක්‍රීඩා තරග සංවිධානය කිරිමේ දී මෙරට ක්‍රීඩා බලධාරීන් හා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අතර ගැළපීම් ගොඩනඟා ගැනීම සම්බන්ධ ව 'ක්‍රීඩා' ඒ මහතා සමඟ සාකච්ඡා කළේ ය.

කොරෝනා එක්ක රට තුළ ක්‍රීඩාව පවත්වාගෙන යන්න හදපු ක්‍රමවේදය සාර්ථකව සැලසුම් කරලා ඉවර ද?

ඔව්. නමුත් ඇත්තම කතාව කොරෝනා පැතිරීම කියන එක ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් වෙනස් වෙනවා. ලබන වසර වෙන විට කොරෝනා තත්ත්වය කොයි තරම් දුරට ව්‍යාප්ත වෙයිද කියලා දැන්ම අපිට කියන්න බැහැ. අන්තර්ජාතික මඟ පෙන්වීම් එක්ක අපි මෙරටට ගැළපෙන සැලසුමක් හැදුවා.

මොකක් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ වෛද්‍ය ආයතනය මේ සම්බන්ධයෙන් හදලා තිබෙන වැඩපිළිවෙළ?

ඕනෑම මොහොතක ඕනෑම රටක් තුළ යම් යම් සංචරණ සීමා, වසා දැමීම් සිදුවීමේ අවකාශයක් තිබෙනවා. එය අප පිළිගත යුතුයි. ඒ නිසා අවාසනාවන්ත ලෙස පුරවැසියා වගකීම් විරහිතව කටයුතු කළහොත් කොවිඩ් බහුලව ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒක ඕනෑම රටකට පොදු දෙයක්. එවැනි අවස්ථාවක ඕනෑම රටක් වහන්න පුළුවන්. එවැනි අවස්ථාවක රටක ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපි ක්‍රමවේදයන් සකස් කළා. ඒ අනුව තමන්ගේ පුහුණුකරුවන් සමඟ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තනි තනිව පුහුණුවීම් කරන්න සහ මාර්ගගත ක්‍රමය යටතේ ක්‍රීඩාව පුහුණු කරන්න අපි නිර්දේශයන් සකස් කළා. එවැනි අවස්ථාවක දෙවැනි අදියර තමයි වැසූ රටක් විවෘත කළ පසු ඕනෑම ක්‍රීඩාවක නියැ‍ෙළන ක්‍රීඩකයන්ට තමන්ගේ පුහුණුකරුත් සමග තනි තනිව හෝ කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා පුහුණුවීම් කළ හැකියි.

මේ අපි අහලා තියෙනවා යම් වර්ගීකරණයක් අනුව සිදුවනවා කියලා. ඒ ඒ වර්ගීකරණය අනුව තමයි ක්‍රීඩාවන් සඳහා පුහුණුවීමේ අවස්ථාවන් සලසා දී ඇත්තේ. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

ලෝකයේ ක්‍රීඩා වර්ගීකරණය කොටස් 4කින් සමන්විතයි. පළමු කාණ්ඩයේ ක්‍රීඩා තනි තනියෙන් සිදුකරන ක්‍රීඩායි. යම්කිසි අවදානමකින් කරන ක්‍රීඩා, උදාහරණ ලෙස මලල ක්‍රීඩා,පිහිනුම් වැනි ක්‍රීඩා ගත හැකියි.

දෙවැනි කාණ්ඩයේ ක්‍රීඩා දෙදෙනෙක් හෝ කුඩා කණ්ඩායම් සමඟ සිදුකරන අඩු අවදානම් ක්‍රීඩා දක්වන්න පිළිවන්. උදාහරණ ලෙස ක්‍රිකට්, එල්ලේ‍, බැඩ්මින්ටන් වගේ ක්‍රීඩා එසේ කුඩා කණ්ඩායම් මඟින් පුහුණුවීම් කළ හැකියි.

තුන්වැනි කාණ්ඩයේ ක්‍රීඩා දෙදෙනෙකුට වැඩියෙන් සිදුකරන ක්‍රීඩා යි. ඒවා ගැටීම් සහිතයි උදාහරණ පාපන්දු වගේ ක්‍රීඩාවක් දක්වන්න පිළිවන්. සිව්වැනි කාණ්ඩයේ ක්‍රීඩා ලෙස සැලකෙන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සහ පුහුණුකරුවන් තිදෙනෙකුගෙන් සමන්විත 15 ක් පමණ සහභාගිවන ක්‍රීඩායි. එවැනි ක්‍රීඩා කණ්ඩායම් සදහාද සෞඛ්‍ය මාර්ගෝපදේශ සමඟ පුහුණුවීම් කටයුතු කිරීමේ අවසරය සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබාදී තිබෙනවා. උදාහරණ ලෙස කබඩි, රගර්, මල්ලවපොර දක්වන්න කැමතියි.

එතකොට ජීව බුබුළු ක්‍රමවේදය මොන වගේ තැනකදී ද යොදාගන්නේ?

සිව්වැනි කාණ්ඩයේ පවතින ක්‍රීඩා වෙනුවෙන් මේ ජීව බුබුළු සංකල්පය යොදාගන්න සිදුවෙනවා. ඒවගේ ක්‍රීඩාවලදී එකිනෙකා සමඟ ගැටීම් වැඩි නිසා තරගාවලියකට පෙර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජෛව බුබුළකට ඇතුළු කෙරෙනවා.

දැන් ක්‍රීඩකයන් ජෛව බුබුළට ඇතුළත් කරන්නේ මොන ක්‍රමයකට ද?

සෑම ක්‍රීඩකයෙක් ම ජෛව බුබුළට ගන්න පෙර පැය 72ක් තුළ තනි තනිව PCR පරීක්ෂණ දෙකකට භාජනය විය යුතුයි. එතෙක් ඔවුන් හුදෙකලා කරලායි තියා ගන්නේ. එම පරීක්ෂණ මඟින් කොවිඩ් වයිරසය ශරීරගතව නැත්නම් තමයි ඔවුන්ව ජෛව බුබුළට ඇතුළත් කරන්නේ. එයට ඇතුළත් කළ මොහොතේ ඉඳලා ක්‍රීඩකයන්ට එයින් පිටතට යන්න අවස්ථාව අහිමි වෙනවා.

යම් විදිහකින් ඉන් පිටට ගියොත් නැවත වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වීම අනිවාර්යය කර තිබෙනවා. අනික ජෛව බුබුළ තුළ සිටින අයට පමණයි ක්‍රීඩා තරගාවලියකට සහභාගී විය හැකි වන්නේ.ඒක තමයි අපේ මාර්ග උපදේශනය.

ඊට අතිරේකව යම් යම් උපදෙස් යොදා ගන්නා අවස්ථා තිබෙනවා ද?

මෙහෙමයි. මෙතැනදී ජාතික හා අන්තර්ජාතික තරගයන් පවත්වන්න සිදුවන අවස්ථාවල ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ මාර්ග උපදේශන ලබාදී තියෙනවා. රටේ ති‍ෙයන කොරෝනා තත්ත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් ඔවුන් ලබාදෙන නිර්දේශ කලින් කලට වෙනස් කරනවා. මේ වන විට පාසලවලටද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් ක්‍රීඩා කිරීමේ අනුමැතිය ලබා ගැනීම සඳහා අපි අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා. ‍ෙකාවිඩ් තත්ත්වය හමුවේ පුහුණුකරුවෝ සහ පරිපාලකයෝ හොඳ අවබෝධයකයි සිටින්නේ.

දැන් කොවිඩ් ප්‍රතිරෝධී එන්නත්කරණයට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනා ඇතුළත් ද?

ඔව්. අපේ ක්‍රීඩකයෙක් නම් ඔහු හෝ ඇය එන්නතක් ලබාගැනීම අනිවාර්යයි. දැනට ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සියයට අසූපහකට වැඩි පිරිසක් අපි එන්නත්කරණයට ලක්කර තිබෙනවා. ක්‍රීඩා වෛද්‍ය ආයතනය ඊට සෘජුව මැදිහත් වෙනවා.

ඇයි මේ සියලු කණ්ඩායම් එන්නත්කරණයට ලක්කරගන්න බැරි ? ඇතැමුන් අකැමැති ද?

ස්කොෂ්,මේසපන්දු, ටෙනිස්,ටයිකොන්ඩෝ සහ පිහිනුම් වැනි ක්‍රීඩාවල නියැළී සිටින ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බහුතර පිරිසක් වයස අවුරුදු 15 ට අඩුයි. අපි එන්නත් කරණයට ලක්කරන්නේ අවුරුදු 18 ට වැඩි දරුවන්වයි. ඒ නිසා එතැන ගැටලුවක් තිබෙනවා.

ඇතැම් ක්‍රීඩා තවම ආරම්භ කරලා නැති බවක් පෙනෙනවා. විශේෂයෙන් පාසල් තුළ ක්‍රීඩාව සිදුවන්නේ ම නැති තරම්. මේ ගැන මොකක් ද ඉදිරියේ දී සිදුකරන්න අපේක්ෂා කරන්නේ?

පාසල්වල හා ක්‍රීඩා සමාජයන්හි පාපන්දු ,රග්බි නැවත ආරම්භ කිරීම සඳහා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට යොමුකර තියෙනවා. ඒ විධිහට පාසල් තුළ ක්‍රීඩාව ඉක්මනින් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මාර්ගෝපදේශ අපි යවලයි තිබෙන්නේ.

රගර් කියන්නේ ස්පර්ශීය ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව කොහොම ද පවත්වන්නේ?

දැනටමත් ක්‍රීඩා සමාජ හයක සහභාගිත්වයෙන් රග්බි තරගාවලියක් සාර්ථකව පැවැත්වූවා. අපි උපදෙස් දෙන්නේ හොඳින් පුහුණු වෙලා සෞඛ්‍ය මාර්ග උපදෙස්වලට අනුව කටයුතු කරන්න කියලයි. රටේ යෝග්‍යතාවය පිරිහෙන නිසා ක්‍රමානුකූලව ක්‍රීඩාව ආරම්භ කළයුතු බව අපි ඒ අයට උපදෙස් දී තිබෙනවා. පාපන්දු හා රග්බි, ටයිකොන්ඩෝ වැනි ක්‍රීඩා සඳහා මාර්ග උපදේශනවලට අනුව අපේ උපදෙස් අනුමැතියට දාලයි තියෙන්නෙ. කබඩි ජෛව බුබුළක් තුළ ක්‍රියාත්මකයි.

ඔය ඔක්කොම නිර්නායක, මාර්ගෝපදේශ අස්සේ ඇතැම් ජාතික ක්‍රීඩා කණ්ඩායම්වල සියලු දෙනාටම ‍ෙකාවිඩ් වැලඳුනා?

ඔව්.ජාතික වොලිබෝල් කණ්ඩායම සහ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඒ දේට මුහුණ දෙන්න වුණා. ඇත්තටම ඒක ඔවුන් උපදෙස් පිළිනොපැදීම නිසා ඇතිවූ තත්ත්වයක්. මුළු කණ්ඩායමටම ‍ෙකාවිඩ් හැදුනා. එවැනි අපහසුතා ක්‍රීඩා කණ්ඩායම් කිහිපයකම වුණා.

දැන් එල්.පී.එල්. තරගාවලිය මෙරට පවත්වනවා. විවිධ ජාත්‍යන්තර තරග සංවිධානය කරනවා. මේ තත්ත්වය කොහොමද කළමනාකරණය කරන්නේ?

විදෙස් ක්‍රීඩකයෝ මෙරටට එද්දී ඔවුන් අනිවාර්යයෙන්ම එන්නත්කරණය කරගෙනයි එන්නේ. කෙසේ වෙතත් ඔවුනුත් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්නායකවලට අනුකූලව කටයුතු කළ යුතුයි. ඒ අනුව ඔවුන් මෙරටට ආ සැනින් පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරනවා. ඒ වගේම ඔවුනුත් ආරක්ෂිත ජෛව බුබුළක රඳවනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එතැන දී ඒ වගකීම අරගෙන කටයුතු කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය වශයෙන් අපත් ඒ සම්බන්ධයෙන් සංවේදී ව කටයුතු කරනවා.

ඔවුන්ගේ ‍ෙකාවිඩ් අවදානම් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයිය යුතු වෙනවා. එයින් අපි බලනවා ඒ ක්‍රීඩකයා ‍ෙකාවිඩ් රෝග ලක්ෂණ හා එම රෝගය වැලඳුණු අයෙක් ද කියලා. සෞඛ්‍ය අංශ මඟින් මෙරට කණ්ඩායමේ හා විදෙස් කණ්ඩායමේ දෛනිකව උෂ්ණත්වය මැන බලනවා. රෝග ලක්ෂණ සම්බන්ධයෙන් නිරතුරුව අවධානයෙන් සිටිනවා. කණ්ඩායම් භාර නිලධාරියා විසින් අදාළ සියලු තොරතුරු සෞඛ්‍ය අංශ වෙත දැනුම් දිය යුතුයි. හෝටල් හෝ වෙනත් නවාතැන් පොළක සිටියදී රෝග ලක්ෂණ මතුවන්නේ නම් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙන්කිරීමට හැකි ස්ථානයක් කලින්ම වෙන්කරවා ගෙන සිටීම අනිවාර්යය කර තිබෙනවා.

උදුලා පීරිස්

Comments