අපේ රටට වාර්ෂිකව රුපියල් කෝටි 230000 ක ප්රතිලාභ සමඟ අපේ තරුණ තරුණියන් 82000 කට රැකියා ලබාදෙන කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් දැන් ලහි ලහියේ සිදුවේ.
2014 සැප්තැම්බර් 17 වැනිදා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් රටේ ජනාධිපතිවරයා ලෙස ආරම්භ කළ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අරඹා දැන් වසර 7 කි. එහි දැන් වාණිජ කටයුතු සඳහා ලොව ඕනෑ ම රටක ඕනෑම ආයෝජනයකට වෙන්කර ඇත. ශ්‍රී ලාංකික වෙරළ කලාපයේ හෙක්ටයාර 269 ක් වැලි පුරවා මෙම කොළඹ වරාය නගරය ඉදිකර ඇත. ඒ සඳහා වැලි කියුබ් ලක්ෂ 65 ක් ගෙන්වා ඇත. මෙහි වාණිජ ගොඩනැගිලි ඉදිකිරීමට හෙක්ටයාර 178 ක් ලබාදීමට සූදානම් ය. මෙම වරාය නගරය ඉදිකරනු ලැබූ චීන ආයෝජන සමාගම් සඳහා ඉන් හෙක්ටයාර් 116 ක් බදු දී තිබේ.
කෙසේ වුවත් වැලිවලින් ගොඩකර ඇති මුළු හෙක්ටයාර 269 ම පාලනය ශ්‍රී ලංකා රජය යටතේ ය. එහි සිවිල් ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා පොලිසිය මෙහෙයවන අතර අධිකරණ කටයුතු අපේ රටේ නීතිය අනුව ක්‍රියාත්මක වේ.
මෙරට අලුත්ම ග්‍රාම නිලධාරි වසම වන්නේ ද කොළඹ වරාය නගර ග්‍රාම නිලධාරි වසම බව ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම කොළඹ වරාය නගර බලප්‍රදේශ තුළට ගාලු මුවදොර සිට ඕනෑම පුද්ගලයකුට ඇතුළු වී එහි සිරි නැරැඹීමට අවස්ථාව නොමිලේම ලබාදීමට අපේක්ෂා කෙරේ. ඒ සමඟම අපේ ප්‍රධානම ආයෝජන කලාපය වන අග්නිදිග ආසියාවේ මූල්‍ය නගරය ලෙසින් ද ඉදිවන කොළඹ වරාය නගරය දැන් අපේ රටේ ජනතාවට ක්‍රම ක්‍රමයෙන් විවෘත වෙමින් පවතී. මෙහි දැනටම ඉදිකර ඇති මීටර් 1500 ක් දිග හා මීටර් 200 පළල කෘතිම වෙරළේ සුන්දරත්වය විඳීමට එතෙර මෙතෙර ඕනෑම කෙනෙකුට ළඟදීම අවස්ථාව සැලසේ. ඒ සමඟම දැන් ඉදිවන මෙහි ඇති අක්කර 277 කින් විශාලත්වයකින් යුත් තිරසර හා නාගරික උද්‍යාන 7 ක් තුළ ඔබ මොබ ඇවිදීමට හා මෙරට ආවේණික ගහකොළ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබේ.
මේ පිළිබඳව අදහස් දක්වන ෆෝට් සිටි චීන ඉදිකිරීම් සමාගමේ (CHCE) මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් පවසන්නේ ළඟදීම එතෙර මෙතෙර ඕනෑම අයකුට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙන් කොළඹ වරාය නගරයට ඇතුළුවී එහි ඉදිකිරීම් සිදුවන ආකාරය හා අවට සුන්දරත්වය නැරැඹීමට අවස්ථාව සලසා දෙන බවයි.
“ඒ අනුව අපි දැන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණයට අලුත් පිවිසුමක් සකස් කරනවා. අපි ඉදිකරන්නේ විශාල පළලකින් යුත් පදික මං තීරුවක්. එහි වැඩකටයුතු දැන් 99% ඉදිකර අවසන්. එම පදික මාර්ගය ඔස්සේ අමුතුම ආකාරයට අලුතින් ඉදිකළ ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ කොළඹ වරාය නගරයේ ප්‍රධාන පාලම හරහා වරාය නගරයේ අලුත් වෙරළ ක්‍රීඩාංගණයටත් ඇතුළුවෙන්න ඉඩ තිබෙනවා.
“එහි Golf Arena එකක් තිබෙනවා. එහි අවශ්‍ය අයට ගොල්ෆ් ක්‍රීඩා කරන්නත් පුළුවන්. ඒ අතරම ඇති ATV ඇඩ්වෙන්චර් මාර්ගය ඔස්සේ වැලි කඳු මත මෝටර් සයිකල් පදින ATV ක්‍රියාකාරකම්වල යෙදෙන්නත් අවස්ථාව ලැබෙනවා. අවශ්‍ය නම් ATV සෆාරි ජීප් රථයක් මඟින් සම්පූර්ණ වරාය නගරය තුළම සිදුවන ඉදිකිරීම් බැලීමට සෆාරි චාරිකාවක යෙදෙන්න පුළුවන්. නමුත් ඒ සඳහා යම් මුදලක් අය කරනවා’’ යැයි ද කස්සප සෙනරත් මහතා පවසයි.
ඒ සමඟම ෆෝට් සිටි නගරය තුළදී Port City Marina හා අලුතින් ඉදිවන Kart racing Track වෙතටත් ඇතුළු විය හැකියි. මෙහි සැහැල්ලු යාත්‍රා යාත්‍රාංගණයට එතෙර මෙතෙර ඕනෑම කෙනෙකුගේ රුවල් යාත්‍රා හා සැහැල්ලු යාත්‍රා ඇතුළුවීමට ඉඩ සලසනු ලැබේ. ඉදිරියේදී දියගොඩ දෙකේම යන සැහැල්ලු වායු පා යානා පවා මෙහි ගොඩ බැස්සවීමට අපේක්ෂා කෙරේ.
කොළඹ වරාය නගරයේ සුවිශේෂී ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් දක්වන ග්‍රේට් ඇඩ්වෙන්චර් සමාගමේ ප්‍රධාන විධායක රනුල් අබේසිංහ පවසන්නේ දකුණු ආසියාවේ හොඳම වැලි මත ධාවනය කරන යතුරු පැදි ධාවන පතය (ATV) ඇත්තේ කොළඹ වරාය නගරය තුළ බවයි. ඕනෑම වැලි කතරක යාමට හැකි ‘ෆෝවීල් බයික්’ එකකින් මෙම ප්‍රදේශයේ ක්‍රීඩාවල නිරත විය හැකි බවත් රනුල් අබේසිංහ පවසයි.
මේ සමඟම දැන් කොළඹ වරාය නගරයේ ඉදිවන ප්‍රථම වාණිජ ගොඩනැගිල්ලේ සැලසුම් සකස් කිරීම ද ආරම්භ වී ඇත. මෙහි ඉදිවන විශාලතම ගොඩනැඟිල්ල වන එය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පිටිය අසලම ඉදිකිරීමට කටයුතු කෙරේ. අන්තර් ජාතික මූල්‍ය මධ්‍යස්ථානය ලෙස නම් කර ඇති මෙම ගොඩනැගිල්ලේ එතෙර මෙතෙර ලොව දියුණු රටවල බැංකුවල හා මූල්‍ය සමාගම්වල ශාඛා කාර්යාල මෙන් ම අන්තර්ජාතික මූල්‍ය ආයතන ද පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අමතරව පාවෙන අවන් හල් හරිත මංතීරු හා ජනතාව විවේක ගන්නා සුවපහසු තැන් රැසක් මෙම වරාය නගරයට සම්බන්ධව ඉදි කෙරේ.
දැන් ඉදිකිරීම් අවසන් වෙමින් පවතින කොළඹ වරාය නගරය වර්ග කිලෝමීටර් 2.6 ක විශාල ප්‍රදේශයක් තුළ නිර්මාණය වූ ලොව උසස් ම මට්ටමේ ඒ ශ්‍රේණියේ වාණිජ මධ්‍යස්ථානයක් වනු ඇත. විශේෂයෙන් එහි ජගත් මට්ටමේ සාප්පු සංකීර්ණ අතිනවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම් හා විනෝදාස්වාදය සඳහා වූ සුවිශේෂී පහසුකම්වලින් ද යුක්ත වනු ඇත.
මේ පිළිබඳ කරුණු දක්වන වරාය නගරය ඉදිකළ CHCE සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් පවසන්නේ මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු මෙතෙක් මෙරට වැසියන් නොදුටු සුවිශේෂී හා නව තාක්ෂණයෙන් හෙබි හා සෞන්දර්යයෙන් හෙබි සුවිශේෂී ස්ථාන කිහිපයක් වරාය නගරයෙන් බලාගත හැකි වනු ඇති බවයි. මේ පිළිබඳ වැඩි විස්තර 0112335142 අංකයෙන් ලබාගත හැකිය.
ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ