උතුරු දුම්රිය මඟ යනු, වයඹ පළාත සහ උතුරු මැද පළාත හරහා විහිදී උතුරු පළාතේ කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් අවසන් වන දිවයිනේ දීර්ඝතම දුම්රිය මාර්ගයයි. මෙහි දුර කිලෝ මීටර 339 ක් වන අතර පොල්ගහවෙල සහ වවුනියාව අතර පමණක් දුම්රිය නැවතුම් 55කි. ගල්කිස්ස සිට නම් ඊටත් වැඩිය. ගැඹුරු හුස්මක් අදින යාල් දේවිය ගෙවන්නට ඇති ඉදිරි දුර දිග පළල මනිමින් කුරුණෑගලට සමුදෙයි.
මඟ දෙපස නිල්ල ගැසුණු සාරවත් කෙත්වතු පසු කර වැව් බැඳි රාජ්‍යයේ අහස් කුස සිඹිමින් මවු දෙරණට රැකවල් සලසන සුදෝ සුදු දාගැබ් ද, වෙහෙර විහාර ද, විවිධ දෙවිවරුන් නෙක මුද්‍රාවලින් කැටයම් වූ කෝවිල් ද එම ගමනේදී ඇයට හමු වේ. වැව්, අමුණු අසලින් හැල්මේ ගමන් කරමින් ගංගා රැසකින් ද එතෙරව ඇය දිව යන්නීය.
යාල් දේවි යනු බටහිරින් පටන්ගෙන මවු ධරණි තලයෙන් අඩක් පසු කර උතුරට දිවෙන සංහිඳියාවේ අන්තර් යාත්‍රිකයා යැයි කිව හැකි ය. මෙරට යටත් විජිතයක් බවට පත් කරගත් විදේශිකයෝ මේ මහ පොළොවේ සශ්‍රීක බවත් සුන්දරත්වයත් නොඅඩුව දුටූහ. වර්ෂ එක්දහස් අටසිය අසූවේදී උතුරේ වනගත ප්‍රදේශවල සැරිසැරූ හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා එකී පෙදෙස්හි නොදියුණු බව දැක සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස ප්‍රවාහන මාධ්‍ය දියුණු කිරීමට කටයුතු කළේය. එහි පළමු අදියර ලෙස 1887 දී උතුරට දුම්රිය මාර්ගයක් තැනීමට කොමිසමක් පත් කළ බව දුම්රිය ඉතිහාසයේ සඳහන් වේ. අදියර කිහිපයක් යටතේ දුම්රිය මඟ ඉදි වන පසුබිමක 1895 නැවත කොමිසමක් පත් කෙරුණේ, ජනතාවගේ දැඩි ඉල්ලීම නිසාය. 1900 වසරේ අප්‍රේල් මස සිට අදියර දෙකක් ඔස්සේ කුරුණෑගල සිට යාපනය දක්වාත් පසුව කන්කසන්තුරය දක්වාත් දුම්රිය මඟ ඉදි විය.
1990 දශකයේ ඊළාම් යුද්ධය හේතුවෙන් දුම්රිය ගමන නතර වන තෙක් ම වසර ගණනාවක් පුරා මගීන්, බඩු භාණ්ඩ ප්‍රවාහනයට යාල් දේවිය දායක වූවා ය. විරාමයකින් පසු, තිස් වසරක යුද්ධය නිමාවීමෙන් පසු උතුරේත් දකුණේත් සහෝදරත්වය හා ළෙන්ගතුකම තහවුරු කරන්නට යාල් දේවි සිය යාල්පානම් ගමන නැවත ආරම්භ කළේ 2014 වර්ෂයේදීය.
අනුරාධපුරය සිට වව්නියාව දක්වා දුම්රිය මඟ දෙපස සාරවත් ය; හරිත ය. පීදීගෙන එන කුඹුරුවල නිදහසේ ඇවිද යන මොනරුන් නිතර නෙත ගැටේ. ගහකොළ හරිත පැහැයෙන් බරය. උතුරු මැද පළාත කෙමෙන් පසුකර යත් ම දුම්රිය මඟ අවට පරිසරයෙහි කටු පඳුරු, ලඳු කැලෑ සහිත වියළි කලාපීය භූ විෂමතා ලක්ෂණ ඉස්මතු වේ. යාපනය යනු හිරිගල් තට්ටුවක් මත වැලි මිශ්‍ර පසක පිහිටි වියළි කලාපීය භූමි ප්‍රදේශයකි. වර්ෂාව ඒ බිමෙහි සිරස සිඹින්නේ වසරේ මාස කීපයකට පමණි. එහෙයින් තැනින් තැන මහ පොළොව ඉරිතැලී ගොස් ය. මවිතයට කරුණ නම් මේ කාෂ්ටක භූමියේත් පෙනෙන තෙක් මානය පුරා විහිදුණු කුඹුරු ඉඩම් පැවතීම ය. මේ වන විට ඒවායේ අස්වනු නෙළා අවසන්.
යාපනය අර්ධද්වීපයේ ද්වාර මණ්ඩපය වන අලිමංකඩ ය. A9 පාර ඔස්සේ යාපනය දෙසට ගමන් කරන්නකුට නම් වවුනියා, පුලියන්කුලම්, මාන්කුලම්, පනික්කන්කුලම්, මුරුකන්ඩි, කිලිනොච්චි යන නගර පසු කරමින් අවසානයේ අලිමංකඩ වෙත පැමිණීමට සිදුවේ. මෑතක් වන තුරුම යාපනයට ඇතුළු වන එකම පිවිසුම් දොරටුව වූයේ අලිමංකඩය. කළපුව හරහා ගමන් කරන්නකුට නම් අලිමංකඩ ලුණු ලේවායත් ඈතින් චාවකච්චේරියට නුදුරු A 32 මන්නාරම මාර්ගයට යාබද සුළං බල කුලුනු පේළියත් පසෙක හසලක ගාමිණී රණවිරුවා ගේ අනුස්මරණ ස්මාරකයත් දැකගත හැකි ය. එතැන් සිට ඉදිරියට ගමන් කරන්නකුට භූමිය වඩ වඩාත් සමතලා වී ඇති අයුරුත්, වෘක්ෂලතා ආදියෙහි වෙනස්වීම් ද හොඳින් නිරීක්ෂණය වනු ඇත. රටේ සෙසු ප්‍රදේශවල මෙන් සෙවණ සපයන පැතිරුණු විසල් ගස් මෙහි නැත. පැතලි භූ දර්ශනය මත ආධිපත්‍යය පතුරුවන එකම වෘක්ෂය තල් ගස් දැයි සිතේ. උතුරු අර්ධද්වීපයට අනන්‍යතාවක් වුව, සංචාරකයන්ගේ කැමරා කාචවල නොයක් රටා මැවූවද, සෙවණක් ලබා නොදෙන ආත්මාර්ථකාමීන් පිරිසක් බඳු මේ තල් ගස් නිහඬ ඉරියව්වෙන් අදටත් බලා සිටින්නේ දශක තුනක අමිහිරි යුද්ධයක මතකවලින් කම්පිත වූවන් සේය.
අතීතයේ යාපනය සංචාරය අද මෙන් පහසු වූයේ නැත. 1905 දී කොළඹ සිට යාපනයට සංචාරය කළ යාපනයේ එවක දිසාපති, ලේඛක ලෙනාඩ් වුල්ෆ්ට ඒ සඳහා දින තුනක් ගත වී ඇත. එවකට ලංකාවේ සිවිල් සේවකයකුව සිටි ලෙනාඩ් වුල්ෆ් සිය යාපනය ගමන ගැන මෙසේ සඳහන් කර ඇත.
“අනුරාධපුර සිට අලිමංකඩ දක්වා සැතපුම් සියයක් පමණ ගමන් කළ හැකි එකම ක්‍රමය තැපැල් කෝච්චිය නමින් ව්‍යවහාර කළ ගොන් බැඳි විශාල කරත්‍තයි. ඒවාහි බිම තැපැල් මලු පුරවා තබා ඇති අතර මගීහු තැපැල් බෑග් මත නිදාගෙන ගමන් කරති. "
ගොන් බැඳි කරත්තයේ නැඟ අලිමංකඩට පැමිණීම යනු දින එකහමාරක පමණ වෙහෙසකර ගමනක් බවත් එතැන් සිට යාපනයට දුම්රියෙන් යා හැකි බවත් වුල්ෆ් වැඩිදුරටත් සඳහන් කර ඇත. අලිමංකඩ සුන්දරත්වය විස්තර කිරීමට ද ඔහු එහිදී අමතක කර නැත. මුහුදේත්, කුරුල්ලන්ගේත්, කළපුවෙන් හමා එන සුළඟේත් ජීවමාන බව පාඨකයාට ළඟා කිරීමට තරම් ඔහු ඒ ගමන වින්දනය කර ඇත. අලිමංකඩට එම කුතුහලය දනවන නම දුන්නෝ ලන්දේසීහු ය. අලිමංකඩ යනු යාපනය අර්ධද්වීපය දිවයිනට යා කරන නොගැඹුරු කළපුවක් හරහා වැටුණු මුහුදු මාර්ගයට නමයි. ලන්දේසි සමයේ මෙරටින් අලි ඇතුන් අපනයනය කිරීමට යාපනයට නුදුරු කරයිතිව් දූපත යොදාගෙන ඇත. දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් අල්ලා ගත් අලි ඇතුන් යාපනය අර්ධද්වීපයට ගෙන යෑම සඳහා කළපුව හරහා මාර්ගය භාවිත කර ඇත. අලින් ගමන් නොකළත් අදටත් මේ පිවිසුම අලිමංකඩම ය. වැසි නොමැති කාලවල අලිමංකඩ ප්‍රදේශය කාන්තාරයකට නොදෙවැනිය.
යාල්දේවියට හමු වන තවත් එක් දුම්රිය නැවතුම් පොළක් වන්නේ නාවට්කුලි ය. එහිදී ඇස ගැටෙන සොඳුරු දසුනක් නම් A 32 මන්නාරම පාර හරහා යාපනය දෙසට යන යාල් දේවියගේ ගමන් මඟට මඳක් නුදුරින් තල් ගස් අතරින් දිස්වන අලුතින් හුණු පිරියම් කළ චෛත්‍යයයි.
යාපනය යනු හින්දු බැතිමතුන්ගේ හදවතයි. කෝවිල් රැසක් මැද දිස්වෙන මේ විහාරය A 9 මාර්ගයේ ගමන් කරන කෙනකුට සිතන්නට බොහෝ දේ පවසන බවක් හැඟේ. යාපනය යනු අදටත් සිංහල මිනිසුන් ද ජීවත් වන භූමියකි. වුවමනාවක් නොමැතිකමින් යාපනය සිංහල මහා විද්‍යාලය වැසී ගිය ද නාවට්කුලිය වැනි ගම්වල අදටත් සිංහල මිනිස්සු පදිංචි වී සිටිති.
සැතපුම් ගණනාවක් දිව ආ යාල් දේවියේ ගමන අතර වාරයේ විඩා නිවා ගනු පිණිස ඉරිඟු කරලක්, කජ්ජාන් (රට කජු), පනම් කිලන්ගු (කොට්ට කිලන්ගු), වඩයක් සමඟ බැදුණු මිරිස් කරල් කීපයක් ද වරදින්නේ නැත.
තල් ගහ කියද්දී මතක් වෙන්නේ කොට්ට කිලන්ගු ය. ‘ඔඩියල් ’එහෙමත් නැත්නම් තල් අල ය. ‘කොට්ට’ නම් බීජය. ‘කිලන්ගු’ නම් අලය. යාල් අර්ධද්වීපයේ තැන තැන තල් ගස් සිටුවීම ඉපැරැණි සිරිතකි. නියමිත වේලාවට මහ පොළව උඩු යටිකුරු කරමින් නිස්සාරණය කරන අල, කූඩයට ගොඩ ගැසූ විට අලංකාර ලී වැනි ඔඩියල් ය.
හිරු බටහිර අහසේ ගිලීමට සූදානම්ය. හෝරා හතක පමණ ගමනක් ගෙවා යාල් දේවිය කන්කසන්තුරේට සේන්දූ වී අවසන් ය. දුම්රිය නැවතුම්පොළට නුදුරින් පෙනෙන්නේ කන්කසන්තුරේ වෙරළ උද්‍යානය හා ප්‍රදීපාගාරයයි. කලකට මත්තෙන් මේ ප්‍රදීපාගාරය නෞකා බොහොමයකට පාර කියූවත් අද මහ මුහුද දෙස බලා නිසොල්මන්ව සිටී. එයින් මඟ අසන නාවිකයන් අද නැතිවා වැන්න.
යාපනය යනු අප රටේම එක් අර්ධයකි. සංචාරකයකුට නැවුම් අත්දැකීම් සම්භාරයකි. යාපන ජනතාවගේ මනරම් ජීවිතය, ඔවුන්ගේ අභිමානවත් සංස්කෘතිය මොහොතකින් විඳ, වටහා ගත නොහැකි තරමට ගැඹුරු ය. ඒ සඳහා ඔබට ගවේෂකයකුගේ ඉවත් දේශාඨකයකුගේ ධෛර්ය හා විමසුම් ඇසත් වුවමනා කෙරේ. යාපනයේ ආහාර සංස්කෘතිය ද එහි රස ද වෙනම ම හඳුනා ගන්නට කලක් ගත වුවද යාල්පානම් දෙමළ වැසියාගේ සහෝදරත්වයෙන් පිරි හදවතේ මිත්‍රශීලීබව, සංග්‍රහශීලීබව එක මොහොතකින් හදවතට දැනෙන තරමටම උණුසුම්ය.
විදුනි බස්නායක,
වෛද්‍ය පීඨය, යාපනය විශ්වවිද්‍යාලය
ඡායාරූප - ෂර්මිලා විනෝදනී