සමාජය වෙනුවෙන් ජීවිතය අතහැර නොදැමූ මානවීය සිංහයා ටෙරී ෆොක්ස් | සිළුමිණ

සමාජය වෙනුවෙන් ජීවිතය අතහැර නොදැමූ මානවීය සිංහයා ටෙරී ෆොක්ස්

 

‘අපි විවිධ කැපකිරීම් කරන්නෙමු. ඒ,බොහෝ විට අපගේ ම යහපත වෙනුවෙනි. නැත හොත් අපේ පවුලේ අය වෙනුවෙනි. එහෙත් එසේ නොමැතිව සිය කාලය හා ශ්‍රමය මුළුමනින්ම අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් කැප කරන අවස්ථාවද නැත්තේ නොවේ. එය සැලකිය හැක්කේ උතුම් මානුෂික වෑයමක් ලෙස ය. පිළිකා රෝගීන්ගේ අභිවෘද්ධිය උදෙසා කැප වූ ටෙරී ෆොක්ස් එවන් දුලබ ගණයේ මානව හිතවාදියෙකි.’

රොල් ෆොක්ස් හා බෙටී ෆොක්ස් යුවළට මවු-පිය වරම් උරුම කරවමින් 1958 ජූලි මස 28 වැනි දින කැනඩාවේ විනිපෙග් හි දී ටෙරී උපත ලැබී ය. ඉතාමත් හුරුබුහුටි දරුවකු ලෙසින් හැදුණු වැඩුණු ටෙරී, ඇඟපත වෙහෙසා කරන ක්‍රීඩාවලට දැක්වූයේ අසීමිත ප්‍රියතාවකි.

ඔහුට වුවමනා වූයේ නම ගිය ක්‍රීඩකයෙකු වීමට ය. ඔහු වැඩි මනාපයක් දැක්වූයේ පැසිපන්දු ක්‍රීඩාවට ය.

“ඔයා උසින් අඩුයි. ඒ හින්දා පැසිපන්දු ක්‍රීඩාවට ඔයාව ගැළපෙන්නෙ නෑ. වෙන ක්‍රීඩාවක් තෝරගන්න.”

පාසලේ ශාරීරික අධ්‍යාපන ගුරුවරයා ටෙරීට උපදෙස් දුන්නේ ය.

එහෙත් පැසිපන්දුවට සමුදීමට ටෙරීගේ සිත කිසිසේත් ඉඩ නොදුන්නේ ය. ඔහු උපරිම ජවය, සවිය යොදවමින් මේ ක්‍රීඩාව සබැඳිව පුහුණුව ලැබුවේ ය. නව වැනි ශ්‍රේණියේ දී පාසලේ පැසිපන්දු කණ්ඩායමට බැඳෙන්නට තරම් මේ පුහුණුවේ ප්‍රතිඵල දුර දිග ගොස් තිබුණේ ය.

මේ හැකියාව ඉහළින් ඵල දරමින් 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිය දී ඔහු සිය හොඳම මිතුරා වූ ඩග් අල්වාඩ් සමඟින් ‘වසරේ සම ක්‍රීඩකයා’ ලෙසින් සම්මානයට පාත්‍ර විය.

ඉගෙනීමෙන් ද ඉහළ දස්කම් දැක්වූ ටෙරී 1976 දී සයිමන්ස් ෆ්‍රෙසර් විශ්වවිද්‍යාලයට ඇතුළත් විණි. එකල එහි පැසිපන්දු කණ්ඩායමේ ඔහු ද සාමාජිකයෙකු විය.

‘කවදහරි දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙක් වෙන්න මට පුළුවන් වේවි.’ ටෙරී අනාගතය පිළිබඳ සිහින මැව්වේ එ සේ ය.

මේ අතරවාරයේ ටෙරීගේ දකුණු පාදයේ දණහිසෙන් වේදනාවක් දැනෙන්නට විය. එය කිසිසේත් දරාගත නොහැකි වේදනාවකි. වෛද්‍ය පර්යේෂණවලින් අනාවරණය වූයේ මෙය ඔස්ටියෝසාකෝමා නම් අස්ථී පිළිකාවක ලක්ෂණයක් බව ය.

“වෙන කරන්න දෙයක් නෑ. පිළිකාව පැතිරෙන එක නවත්වන්න නම් දකුණු කකුලෙන් කොටසක් ඉවත් කරන්න වෙනවා. එහෙම කළොත් පිළිකාවෙන් බේරිලා ඉන්න ඔයාට සීයට පනහක ඉඩක් ලැබෙනවා.” වෛද්‍යවරු පැවසූ හ.

ටෙරී සිනහමුසු මුහුණින් ඊට කැමැත්ත ලබා දුන්නේ කෘත්‍රිම පාදයක වාරුවෙන් නැඟී සිට ජීවිතයට මුහුණ දීමේ දැඩි අදිටනිනි.

ටෙරී ප්‍රතිකාර ලැබුවේ කැනඩාවේ ‘බ්‍රිටිෂ් කොලම්බියා කැන්සර් කොන්-ට්‍රෝල් ඒජන්සි’ නම් රෝහලේ ය. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුට සඟරා-

වක පළව තිබූ ලිපියක් කියවීමට ලැබුණේය. එයින් කියවුණේ ‘නිව්යෝ-ර්ක් සිටි මැරතන්’ තරගයේදී පාදයක් අහිමි වූවකු දිව ගිය ආකාරය පිළිබඳ ය. මේ ලිපිය තදින්ම ඔහුගේ සිත් ගත්තේ ය.

‘දැන් මේ මටට්මේ ඉන්න මට කොහෙත්ම පැසිපන්දු ක්‍රීඩකයෙක් වෙන්න බැහැ. මේ ලිපියෙන් කියවන කෙනා වගේ මටත් ධාවන ශූරයෙක් වෙන්න හැකි වුණොත් කොයිතරම් වටිනව ද?’ ටෙරී තමාට ම කියාගත්තේ ය.

ඒ සිතුවිල්ලෙන් නතර නොවූ ටෙරී, එය යථාර්ථයක් බවට පමුණුවා ගැනීමට නිරතුරුව ම වෙර දැරී ය. දුෂ්කර උත්-සාහයන් රැසක් පසුකළ ඔහු දක්ෂ ධාවන ශූරයකු බවට පත්වි ය.

‘පිළිකාව නිසා මිනිස්සු ශරීරයෙනුත් මනසිනුත් කොයිතරම් නම් දුක් විඳිනව ද? පසුතැවෙනව ද? ඒක මම රෝහලේ හිටපු කාලය තුළ අත්දැකීමෙන් ම දැනගත්ත දෙයක්. පිළිකා රෝගියෙක් හැටියට මට ඒ අය වෙනුවෙන් පිහිටක් වෙන්න පුළුවන් වුණොත් ඒක මම මේ ජීවිතයේ දී ලබන ලොකුම ජයග්‍රහණය වේවි.’ ටෙරී නිරතුරුව ම සිතුවේ ය.

ඔහු පිළිකා රෝගීන් හට පිහිට වීම වෙනුවෙන් යොදාගත්තේ තම දිවීමේ හැකියාවයි. එය දුර ධාවන ඉසව්වක් හෙවත් මැරතන් ධාවනයක් බවට පමුණුවාගෙන එමඟින් අරමුදලක් තර කර ඒ සමස්ත මුදල පිළිකා රෝගය හඳුනාගැනීම හා සුව කිරීම සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය වියදම සපයාගැනීමට පරිත්‍යාග කිරීමේ ඔහුගේ අපේක්ෂාව පෙරදැරිව ය.

මේ මැරතන් ධාවනය ආරම්භ වූයේ 1980 අප්‍රේල් මාසයේ දී ය. මෙය හැඳින්වුණේ ‘බලාපොරොත්තුවේ ධා-වනය’ ලෙසිනි. එතැන් පටන් ඔහු දින 143 ක් කෘත්‍රිම පාදයක් පැලඳ පරාර්ථය උදෙසා ධාවනයේ යෙදුණේ කිලෝමී-ටර 5300 ක දුරක් ඉක්මවමිනි. මෙමඟින් ඔහු උපයාගත් මුදල අමරිකන් ඩොලර් මිලියන 23 ක් පමණ විය.

“මමත් පිළිකා රෝගියෙක්. එහෙම කියලා මට උරුම වෙන අකල් මරණය ගැන දුක් වෙවී හිටියා නම් මම මීට කලින් මියගිහින් තියෙන්න පුළුවන්. ඒත් මට ඕන වුණේ මගේ කෙටි ජීවිත කාලය තුළදී මම වගේ මේ රෝගයෙන් පීඩා විඳින අය තුළ තමන්ගේ ජීවිත ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරවන්නයි. මට පුළුවන් උපරිමයෙන් මම ඒ දේ කළා කියලා මට මැරෙන මොහොතෙද වුණත් සතුටින් ඇස් පියාගන්න පුළුවන් වේවි.” ටෙරී පැවසූයේ කරුණාව උතුරා ගිය සිතුවිල්ලෙනි.

1981 ජුනි 28 වැනි දින මැරතන් ධාවනයේ යෙදෙමින් සිටි ටෙරී සිහිසුන්ව ඇද වැටුණේ ය. ඒ වන විට ඔහුගේ පිළිකාව පෙණහලු දක්වා වර්ධනය වී තිබූ බව වෛද්‍යවරු හඳුනාගත් හ. රෝහල්ගත කර සුළු මොහොතකින් ඔහු අවසන් සුසුම් හෙළුවේ ජීවිතය පරාර්ථය උදෙසා කැප කළ උත්තමයකුගේ අවසානය සනිටුහන් කරමිනි.

 

 

නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි

Comments