ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසය මේ පොතට ඇතුළත් | සිළුමිණ

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසය මේ පොතට ඇතුළත්

 එක ජාතික ක්‍රීඩකයෙක්ගේ පින්තූරය සොයාගත්තේ සොහොන් බිමකින්

සුසිල් රණසිංහ යනු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ධුරය හෙබ වූවෙකි. මෙරට වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් සිය කාලය හ ශ්‍රමය වැය කළ රණසිංහයෝ පසුගිය දා දැවැන්ත කෘතියක් මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වූයේ ය. ඒ මෙරට වොලිබෝල් ඉතිහාසය සම්බන්ධ ව ය. ‘ක්‍රීඩා’ ඔහු හා සම්මුඛ වූයේ ඔහුගේ මෙම අනුපමේය වෑයම සම්බන්ධයෙන් ශීර්ෂ ප්‍රණාමය පළ කිරීමක් වශයෙනි.

සුසිල් රණසිංහ යනු දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ධුරය හෙබ වූවෙකි. මෙරට වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් සිය කාලය හ ශ්‍රමය වැය කළ රණසිංහයෝ පසුගිය දා දැවැන්ත කෘතියක් මුද්‍රණ ද්වාරයෙන් එළිදැක්වූයේ ය. ඒ මෙරට වොලිබෝල් ඉතිහාසය සම්බන්ධ ව ය. ‘ක්‍රීඩා’ ඔහු හා සම්මුඛ වූයේ ඔහුගේ මෙම අනුපමේය වෑයම සම්බන්ධයෙන් ශීර්ෂ ප්‍රණාමය පළ කිරීමක් වශයෙනි.

වොලිබෝල් ඉතිහාසය ගැන ලියන්න ඔබට තිබෙන අයිතිවාසිකම හා සුදුසුකම මොකක් ද?

මට කිසිම අයිතිවාසිකමක් නෑ. නමුත් මගේ යුතුකමක් තිබෙනවා. ඒ යුතුකම හිටපු ක්‍රීඩකයෙක්, පරිපාලකයෙක් වශයෙන් හා පුරවැසියෙක් විදිහට මට පැවරුණු වගකීමක්. ඒක ඉටුකිරීම තමයි මම මේ සිදුකරලා තිබෙන්නේ. වොලිබෝල් ක්‍රීඩාව ගැන බොහෝ දේ එක් රැස්කිරීම, මෙම ක්‍රීඩාව ගැන කියැවීම වගේ දේවල් දීර්ඝ කාලයක් තිස්සේ මම සිදු කරලා තිබෙනවා. ඉතිහාසගත තොරතුරු ගොන්නක් මා සතුයි. එය තමයි මට මෙවැනි කෘතියක් ලියන්න අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළේ. අනික වොලිබෝල් ඉතිහාසය කෘතියක් වශයෙන් ලියමුය කියන යෝජනාව අපි වොලිබෝල් පරිපාලනයට ආවට පස්සේ 2005 වසරේ දී වොලිබෝල් සම්මේලනය ඇතුළේ සාකච්ඡා වුණා. එදා ඒ කටයුත්ත විවිධ කණ්ඩායම්වලට බෙදලා දුන්නා. නමුත් එය කිසිදු පාර්ශ්වයක් යථාර්ථයක් කළේ නෑ. ඒ නිසා අවසානයේ මම මේ කටයුත්ත මටම පවරා ගත්තා.

ඒ කියන්නේ සුසිල් රණසිංහගේ ගෙදර වොලිබෝල් ඉතිහාසයේ කෝෂ්ඨාගාරයක් තියෙනවා?

මම එහෙම කියන්නෙ නෑ. නමුත් මගේ ගාව මෙරට වොලිබෝල් ක්‍රීඩාව ගැන ගොඩාක් දේවල් තැන්පත් කරගෙන ඉන්නවා. මේක මම ආදරය කරන ක්‍රීඩාව. අදටත් මම මේ ක්‍රීඩාව ගැන ලියැවෙන හැම අකුරකට ම ආදරෙයි. ඒ නිසා ඒ බොහෝ දේවල් මා ළඟ තිබෙනවා.

දේශීය වොලිබෝල් සම්බන්ධයෙන් ලියැවුණු එක ම පොත ද ඔබේ කෘතිය?

නෑ. මට ඉස්සරින් පොත් දෙකක් ලියැවිලා තිබෙනවා. 1952 පියල් වික්‍රම-සිංහගේ ‘වොලිබෝලයේ ගමන් මඟ’ කියන කෘතිය ලියැවුණා. 1985 දී විජේරත්න අතුරුපාන ලංකා වොලිබෝල් ක්‍රීඩා ව්‍යාප්තිය කියන කෘතිය ලියා තිබෙනවා. නමුත් ඒ කිසිම කෘතියක මෙම වොලිබෝල් ක්‍රීඩාවේ නියැළුණු සියලු ම කණ්-ඩායම් ගැන තොරතුරු ඇතුළත් වෙලා නෑ. ඒ අඩුව පුරවන්න තමයි මේ කෘතිය රචනා වුණේ.

මෙම කෘතියේ අන්තර්ගතය කොහොම ද සැකසිලා තිබෙන්නේ?

මේක සම්පූර්ණ සංඛ්‍යා දත්ත ඇතුළත් කළ කෘතියක්. උදාහරණයකට 1952 මෙරට වොලිබෝල් සම්මේලනය ස්ථාපනය කරපු දවසේ ඉඳලා 1954 නම් කළ පළමු ජාතික කණ්ඩායම් තුනේ ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ගේ සිට වර්තමානය දක්වා තොරතුරු මෙම කෘතියට ඇතුළත්. ඒ වගේම මම පැහැදිලි ව කිවයුතු දෙයක් තිබෙනවා, ඒ තමයි මෙය වොලිබෝල් සම්බන්ධයෙන් ලියැවුණු සාහිත්‍ය කෘතියක් නො-වෙයි. ඒක කරන්න වෙන කවුරු හරි ලේඛකයකුට අවශ්‍ය සියලු මූලාශ්‍ර මෙම කෘතිය ඇතුළේ තිබෙනවා.

ඔබ කාලයකට පෙර වොලිබෝල් ක්‍රීඩාව ගැන ලියලා ජනාධිපති සම්මාන පවා ලබාගන්න සමත් වෙනවා නේද?

ඔව්. ඒ 2016 වසරේ ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාවට වසර සියයක් සම්පූර්ණ වූවාට පසුව මම ‘ශ්‍රී ලංකා වොලිබෝලයට සියවසයි’ කියලා කෘතියක් ලිව්වා. ඒ කෘතියට මට ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ දී සම්මාන පිරිනැමුණා.

එතකොට ඒ සම්මානයෙන් ඇතිවුණු ධෛර්යය ද ඔබව මේ අලුත් කෘතිය රචනා කරන්න පෙළඹෙව්වේ?

ඒක ඇගයීම නිසාම සිදුවූ දෙයක් නොවෙයි. කොහොමත් මම වොලිබෝලයට ආදරේ මිනිහෙක් නෙ. විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්නකොට මට වැටහුණු දෙයක් තමයි මේ ක්‍රීඩාව තුළ ලොකු හිඩැසක් තිබෙනවා කියන එක. ඒ හිඩැස පුරවන්න උවමනායි කියන හැඟීම මා තුළ කාලයක් තිස්සේ කැකෑරුණු අදහසක්. ඉතින් ඒ අනුව මම ශ්‍රී ලංකා වොලිබෝලයේ ජාතික කණ්ඩායම්හි ඉතිහාසය ගැන රචනා කරන්න සැලසුමක් ඇන්දා. එහෙම තමයි මේ කෘතිය ලියැවෙන්න පාදම වැටුණේ.

මෙවැනි කෘතියක් මුද්‍රණය කරන්න විශාල පිරිවැයක් අවශ්‍යයි. ඔබ කොහොම ද ඒ කටයුත්ත සාර්ථක කරගත්තේ?

මට මෙතැනදී වොලිබෝල් සම්මේලනය සමඟ පූර්ව කොන්දේසියකට එන්න සිදුවුණා. ඇත්තටම කොන්දේසියක් කියන්නේ ඉල්ලීමක්. ඒ ඉල්ලීම හා ඔවුන් බොහොම පැහැදිලි ලෙස එකඟ වුණා. ඒ තමයි මම මේ කෘතිය ලියන්නේ වොලිබෝල් සම්මේලනය විසින් මුද්‍රණය කර නොමිලයේ බෙදාහරිනවා නම් කියලයි. එයට ඔවුන් ඉතසිතින් කැමැති වුණා. එහෙම තමයි මෙහි මුද්‍රණ වැය බර දරාගත්තේ.

එතකොට මෙම කෘතිය වෙනුවෙන් කෙතරම් වියපැහැදම් වුණා ද කියලා කියන්න එහි කර්තෘවරයා වශයෙන් ඔබ කැමති ද?

ඔව්. ඒකට රුපියල් මිලියන 1.6 ක් වැයවුණා. ඒ සියල්ල ආවරණය කළේ අනුග්‍රාහකයන්ගේ සහයෝගයෙනුයි.

ඔබගේ කර්තෘ භාගය එකෙන් සියයට දහයක් වෙන්න ඇති?

මම කර්තෘ භාග ගත්තේ නෑ. සල්ලිවලට නෙමෙයි කැක්කුමට, ආදරයට ලියපු පොතක් මේක. මම මෙම කෘතිය සම්පූර්ණ කරලා මුද්‍රණය කරන්න ඉස්සර ගත්තු පූර්ව පිටපත් කිසිවකට සම්මේලනයෙන් මුදල් ගත්තේ නෑ. මගෙත් එක්ක වැඩ කළ කිසි කොල්ලෙක්, කෙල්ලක් තමුන්ගේ මහන්සිය වෙනුවෙන් මුදල් ඉල්ලලා නෑ. තෙල් අතින් ගහගෙන ගිහින් මේ කෘතියට අවශ්‍ය සෑම තොරතුරක් ම එකතු කළා. මම කළේ දවල් හිටියොත් මගේ ගෙදරින් කන්න දීපු එකයි, තේ දීපු එකයි විතරයි.

එතකොට පොත ලියලා තියෙන්නේ වැඩවසම් ක්‍රමයට?

වැඩවසම් ක්‍රමයකට නෙමෙයි මේක ලිව්වේ. ආදරයෙන් පිරුණු මිනිස්සු කීපදෙනෙක්ගේ අඛණ්ඩ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒක සම්පූර්ණ කරන්න අපට වසර එකහමාරක කාල-යක් ගත වුණා.

ඔබ ගාව තොරතුරු තිබුණා කියද්දී මෙතරම් කාලයක් ගතවුණේ?

මේක පහසු කටයුත්තක් නොවෙයි. මා ළඟ තිබුණු තොරතුරු නිකම්ම ගෙනැවිත් මේ කෘතියට අතහැරියේ නෑ. අපි ඒවා නැවත පරීක්ෂා කළා. ජීවතුන් අතර ඉන්න ක්‍රීඩකයන් මුණගැසුණා. ඔවුන්ගේ ඡායාරූප, විස්තර ලබා ගත්තා. ජීවතුන් අතර නැති ක්‍රීඩකයන් ගැන සොයන්න සෑහෙන්න වෙහෙස වුණා. ඒකයි මේ කෘතියට මෙතරම් කාලයක් ගත වුණේ.

දැන් එහෙම බිහි කරපු මේ කෘතිය තුළ ක්‍රීඩකයන් කීදෙනෙක් ගැන කතා කරනවා ද?

1954 සිට මේ දක්වා සිටි සියලු ක්‍රීඩකයන් ගැන කතාවෙනවා. සංඛ්‍යාත්මකව 356 ක් ගැන ලියැවෙලා තිබෙනවා. අඩුම තරමේ එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන් එක් පිටුවක් වෙන් කරන්න මම කටයුතු කර තිබෙනවා. ක්‍රීඩකයාගේ නම, ඡායාරූපය, පාසල, ක්‍රීඩා සමාජය, ක්‍රීඩා කරන කාලයේ ඔහු හැඳින්වූ සුරතල් නාමය, ඔහුගේ නියෝජනයේ තොරතුරු, විශේෂ සිද්ධීන් වගේ දේවලින් තමයි මෙම කෘතිය සන්නද්ධ වෙලා තිබෙන්නේ.

ඔබ මේ කෘතිය සංස්කරණය කරද්දී තවත් පිරිසක් තොරතුරු සම්පාදනය කර ගන්න සම්බන්ධ කරගත්තා කියලා කිව්වා. නමුත් අපි දන්න විදිහට සුසිල් රණසිංහ කියන්නේ සතුටු කරන්න අසීරු වැඩකාරයකුට. නාහෙට අහන්නෙත් නැති මඳක් තද පාලකයකුට කවුද ඔබ එක්ක වැඩ කළ කණ්ඩායම?

අනේ නෑ. මම එහෙමම හයිරං දාන කෙනෙක් නෙවෙයි. වරදක් දැක්කොත් කියනවා තමයි. ඒක ටිකක් තදයි වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් මට අවශ්‍ය වැඩක් හරියට කරන එක. ඒ නිසා තමයි එහෙම කතා කරන්නේ. මේ වැඩේට මම සම්බන්ධ කරගත්තෙ මගෙත් එක්ක වැඩ කරපු අයමයි. අනූෂා දීපානි, චන්ද්‍රිකා මැලවිට, සුසිල් මංගල, අසංග ප්‍රදීප් කුමාර, පුබුදු ඒකනායක. ඒ නිසා ඔවුන්ට මාව හොඳින් තේරුම් ගන්න පිළිවන්. අපි වැඩේ කළා. ඒකනේ මේ කෘතිය දැන් එළිදක්වලා තිබෙන්නේ. ඒ වගේම ලසන්ත විජේවර්ධන තමයි මේ කෘතිය සැලසුම්

කළේ. ඔහු වැඩ කළේ අතිශය කාර්යබහුලවයි. අපි සංස්කරණය කරලා විද්යුත තැපෑලෙන් යවලා උදේ පාන්දර දැන් මෙවැනි ක්‍රීඩක තොරතුරු සොයාගෙන යෑමේ දී දුෂ්කරතා පැන නැඟුණේ නැද් ද? මොක ද දසක හයකට එපිට අතීතයක සිට එන ක්‍රීඩකයන් ගැන නෙ මේකෙ තොරතුරු කතාකරන්නෙ?

ඇයි නැත්තේ. ඔබ දන්නවද එක්තරා ක්‍රීඩකයෙක් ගැන තොරතුරු සොයලා ඔහුගේ පින්තූරයක් ගන්න අපි නොගිය තැනක් නෑ. ඔහුගේ ඥාතීන් ළඟවත් ඒ ක්‍රීඩකයාගේ ඡායාරූපයක් තිබුණේ නෑ. අන්තිමට ඔහු ගේ ඡායාරූපය අපි සොයාගත්තේ සොහොන් කොතකින්. එතැනට ගිහිල්ලා ඔහුගේ සොහොන්කොතේ ගහලා තිබුණු පින්තූරය අරගෙන තමයි මේ කෘතියට ඇතුළත් කළේ. ගල්ඔයට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ මැරිලා. ගල්ඔය සංවර්ධන මණ්ඩලයක් දැන් ඇත්තෙත් නෑ. නමුත් අපි ඒ ක්‍රීඩකයන් ගේ තොරතුරු සොයාගත්තා. යාපනයේ වොලිබෝල් ගහපු ක්‍රීඩකයන් කවුද ඔවුන්ගේ ඡායාරූප අපි මේ කෘතිය තුළ සංරක්ෂණය කර තිබෙනවා. ඇත්තටම මේවා සොයාගෙන යන එක අමාරු කටයුත්තක්. නමුත් ඒ සියලු අපහසුතා දුෂ්කරා සමහන් කරගෙන තමයි අපි මේ කෘතිය ලිව්වේ.

ඔය කියන විදිහට තවත් අපූරු විශේෂතා මේ කෘතිය තුළින් අනාවරණය වෙනවා ඇති නේ ද?

සත්තකින්ම. ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩාවන් අතරින් වැඩි ම කාලයක් ජීවත්වන වයස්ගතම ක්‍රීඩකයා ඉන්නේ වොලිබෝල් ක්‍රීඩාව තුළයි. ඊළඟට ඔබ දන්නවාද එකම පවුලේ අම්මයි, තාත්තයි, පුතයි එක ම ක්‍රීඩාවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ අවස්ථාවක් අපේ රටේ හමුවෙනවා කියලා. ඒත් වොලිබෝල් ක්‍රීඩාවෙන්. කාලික වසන්තප්‍රියගේ පවුලෙන් මතුවන ලෝක වාර්තාවක්. මම දන්න තරමට එකම ක්‍රීඩාවක් තුළින් ලෝකයේ එවැනි සිදුවීම් වාර්තා වී නෑ. මේ වගේ සුවිශේෂීතා මේ කෘතියෙන් මතුවෙනවා.

ඔබ මීට පෙර කිව්වේ මෙම කෘතියේ අන්තර්ගත වන්නේ දත්ත පමණයි කියලායි?

ඔව්. දත්ත විතරයි. නමුත් මේ තොරතුරු එම කෘතිය පරිශීලනය කරද්දී සොයාගන්න පුළුවන්. ඒවා ගැන සාහිත්‍යයික වශයෙන් ලියන එක වෙන කෙනෙකුගේ කාර්යයක්.

ඇයි ඒ වැඩෙත් ඔබට ම කරන්න පිළිවන්නෙ?

නෑ. මම සාහිත්‍යයික වශයෙන් දේවල් ලියන්න සුදුසු නෑ. මා තුළ ඒ සම්බන්ධයෙන් මහා දක්ෂතාවයක් නෑ. දෙයක් කරනවා නම් ඒකට සුදුසු කෙනෙකුට භාර දෙන්න ඕනෑ. මම මට කළ හැකි හා මගේ දැනුමට ගැලපෙන දේ කළා. කොහොමත් මම සාහිත්‍ය කෘති රසවිඳින්නෙකුත් නොවෙයි නෙ.

ඔබ සාහිත්‍යයික සම්බන්ධතා සහිත පවුලක සාමාජිකයෙක් නෙ. ඔබේ සහෝදරියගේ සැමියා මෙරට කෘතහස්ත කලාවේදියෙක්, පුවත්පත් කතුවරයෙක්, ගීත රචකයෙක් වන කිත්සිරි නිමල් ශාන්ත නෙ. ඇයි සාහිත්‍ය කෘතිවලට අකැමැති?

අකැමැත්තක් නොවෙයි. නමුත් මම නවකතා, කෙටිකතා, රූපවාහිනී බලන කෙනෙක් නොවෙයි. මම බලන්නේ වොලි-බෝල් ගැන, ක්‍රීඩාව ගැන තොරතුරු තමයි. ඒක තමයි මගේ එක ම විනෝදාස්වාදය. ඒක එදත්, අදත් හෙටත් එහෙමමයි. ඒ නිසා සාහිත්‍ය රචනා ගණයෙන් පොත් ලියන්න මගේ කැමැත්තක් හෝ නැඹුරුවක් නෑ.

ඔබ කියන ආකාරයට මෙවැනි කෘතියක් සකස් කරන එක මහාසාර කටයුත්තක්. කොහොමද ඔබ ඒ විභවතාව ඇති කර ගත්තේ? වරින් වර අභියෝග එනකොට එපා වුණේ නැද්ද?

නැත්තෙ නෑ. රෑට බැණලා, මේක කරන්න බෑ කියලා නිදාගත්ත අවස්ථා එමටයි. හැබැයි පසුවදා පාන්දර තුනට ඇහැරිලා ආයෙත් වොලිබෝල් ඉතිහාසය ගැන ලියන්න ගන්නවා. ඒක එහෙම කළේ වොලිබෝල් ගැන තියෙන ආදරය වගේම කැක්කුම නිසා. ඒ විදිහටම මා ළඟ තිබූ තොරතුරු යම් පමණකට ඒ කටයුත්තට මාව අලවලා තබාගත්තා. වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ ඉන්න පරිපාලන ප්‍රධානීන් මට මේ වෙනුවෙන් ගොඩාක් උපකාර කළා. ඒ සහයෝගයන් නොතිබෙන්න මට හුදෙකලාව මේ වැඩේ කරන්න බෑ.

මේ කෘතියේ තියෙන්නේ කළු සුදු ඡායාරූපයි. ඔබ එහෙම කළු සුදු ඡායාරූප පමණක් භාවිත කරන්න විශේෂ හේතුවක් තිබුණා නේ ද?

ඔව්. ඒක මුල ඉඳලාම සැලසුම් කරලා ගත්තු තීරණයක්. මොකද මුල් කාලයේ වොලිබෝල් ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ වර්ණ ඡායාරූප තිබුණේ නෑ. වර්ණ ඡායාරූප ආවේ පසුකාලීන ක්‍රීඩකයන්ට. කොටසක් වර්ණ සෙසු කොටස අවර්ණ දාපුවාම ඒක එක කණ්ඩායමකට කරන අසාධාරණයක්. ඒ නිසා මම තීරණය කළා සියලු ක්‍රීඩකයන්ගේ ඡායාරූප කළු සුදු ඡායාරූප ලෙස යොදාගන්න.

අවසන් වශයෙන් කියන්න ඔබ කරපු මේ කටයුත්ත ගැන තෘප්තිමත් ද? එහි කිසියම් හෝ අඩුපාඩුවක් නොතිබෙන බවට ඔබට සහතික වන්න පිළිවන් ද?

ඔව්. මේකේ ඉන්න සියලුම ක්‍රීඩකයෝ ලංකාවේ ජාතික වොලිබෝල් ක්‍රීඩකයෝ. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ සියලු ක්‍රීඩකයන් ගැන මෙහි ඇතුළත් බව මට සහතික කරලා කිව හැක්කේ ඒ නිසයි. හැබැයි මෙතැන නායකයෝ, උපනායකයෝ වගේ දේවල් ඇතුළත් නොවෙන්න පිළිවන්. ඒක මගේ වරදක් නොවෙයි. ඉතිහාසයේ නිශ්චිත සාක්ෂි නැති කිසිවක් මම මෙහි ඇතුළත් කරලා නෑ.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments