
ටී 10 අබුඩාබි හි දී උපදී
'පසුගිය සති කීපයම ක්‍රිකට් වසන්තය තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රමුඛ ප්‍රදේශ-වල ය. ඒ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ඕමානය කේන්ද්‍ර කර ගනිමින් පැවැති හෙයිනි. දැන් එය නිමවූ පසු ටී. 10 රැල්ලක් ලෙස මැදපෙරදිග ක්‍රිකට් රැල්ල මතුවී ඇත.'
ටී. 10 නැත හොත් දහයයි දහය තරගාවලිය මුලින්ම ආරම්භ වූයේ 2017 වසරේ දී සාජා හි දී ය. පසුව එය 2019 වසරේ සිට අබුඩාබි වෙත මාරු විණි. ටී. 10 තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ පස් වැනි වතාවට ය.
ඔලිම්පික් වෙන්න ආ ටී.10
ලොව ජනප්‍රියත ම ක්‍රීඩා අතරින් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් උළෙල සඳහා ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කතාබහ ඇතිවී තිබුණ ද ක්‍රීඩාව සඳහා දිගු කාලයක් අවශ්‍ය වීම එය ඔලිම්පික් කෙළි උළෙල සඳහා එක්කර ගැනීමට අයහපත් ලෙස බලපෑම් කළේ ය. කෙසේ නමුත් පසුව විස්සයි විස්ස ක්‍රිකට් බිහි වූයේ ඊට විකල්පයක් වශයෙනි.
එහෙත් විනාඩි අනූවකට සීමාවී ඇති ටී. 10 තරග රටාව මේ සඳහා වඩාත් යෝග්‍ය බව එංගලන්ත එක්දින තරග නායක එවොන් මෝගන් ප්‍රකාශ කර තිබේ. හිටපු ක්‍රීඩකයන් වන ඉන්දියාවේ විරේන්ද්‍ර ෂෙවාග්, පාකිස්තානයේ සයිඩ් ඇෆ්රිඩි හා දකුණු අප්‍රිකා සුපිරි ක්‍රීඩක ෆැෆ් ඩු ප්ලේසිස් ද මෙම තරග රටාවට පක්ෂව අදහස් දක්වා ඇත.
ටී.10 ගමන
මෙම සියවසේ මුල් දසකය තුළ ටී.20 තරග රටාව ජනප්‍රිය වූයේ යම් සේ ද ඉදිරියේ දී ටි.10 තරග රටාව ලොව පුරා පැතිරෙනු ඇතැයි අනුමාන කළ හැක ය. 2017 වසරේ ජගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් එක්සත් අරාබි එමීරයේ ඇරඹි ටී.10 තරගමාලාව අනුගමනය කරමින් 2019 කටාර්හි දී ද මෙවන් තරගමාලාවක් ඇරඹිණි.
පස් වැනි ගමන
අන්තර්ජාතික ක්‍රිකට් සමුළු අනුමැතියට යටත්ව පැවැත්වෙන එක්සත් අරාබි එමීර් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ පස් වැනි වරට ය. ආරම්භයේ දී මෙම තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් ගණන 06 කි. දෙවැනි වසරේ සිට තරගාවලි සහභාගිත්වය කණ්ඩායම් 08 දක්වා ඉහළ ගියේ ය. 2019 පැවැති තෙවැනි අදියරේ දී කණ්ඩායම් අටක් සහභාගි වූව ද නව කණ්ඩායම් කිහිපයක් තරගාවලියට එක්විණි.
කෝවිඩ් තත්ත්වය මත 2020 වසරේ තරගාවලිය පැවැත්වුණේ මෙම වසර ආරම්භයේ දී ය. එවරද කණ්ඩායම් ගණන අටක් වූ නමුත් කර්ණාටක ටස්කර්ස් කණ්ඩායම තම නම පුනේ ඩෙවල්ස් යනුවෙන් වෙනස් කර ගෙන තිබුණේ ය.
2021-22 තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් ගණන හය දක්වා පහත බැස ඇත. ඒ කලන්දර්ස්, මාර්ත අරාබියන්ස්, පුනේ ඩෙවල්ස් මෙවර තරගාවලියෙන් ඉවත්වීමත් සමඟ ය.
ශ්‍රී ලංකා එක්දින තරග නායක දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් චෙන්නායි බ්‍රේව් කණ්ඩායම අලුතෙන් ඊට එක්ව ඇත. එමෙන්ම ටීම් අබුඩාබි, දිල්ලි බුල්ස්, ඩෙකැන් ග්ලෑඩියේටර්ස්, නදන් වොරියර්ස්, බංග්ලා ටයිගර්ස් යන කණ්ඩායම් මෙවර ද තරග වදිති.
මෙවර කැපීපෙනෙන දස්කම්
පසුගිය දා ඔස්ට්‍රේලියාව සමඟ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් පසු ජගත් පිටියෙන් සමුගනු ඇතැයි බලාපොරොත්තු වූ ක්‍රිස් ගේල් තමන් සමු නොගන්නා බව ටී.10 තරගාවලිය අතරතුර පවසා තිබේ. ඒ ටීම් අබුඩාබි නියෝජනය කරමින් බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 23 කි න් ලකුණු 49 ක් ලබා ගැනීමෙන් අනතුරුව ය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් වනිඳු හසරංග ඩෙකැන් ග්ලෑඩියේටර්ස් පිල නියෝජනය කරන අතර, ඔහු ටීම් අබුඩාබි කණ්ඩායමට එරෙහිව පන්දු 18 කි න් ලකුණු 30 ක් ලබා පන්දු යවමින් කඩුලු හතරක් දවාලූයේ ලකුණු දොළහකට ය.
ඇන්ජිලෝ පෙරේරා හා භානුක රාජපක්ෂ මේ වන විට චෙන්නායි බ්‍රේව් කණ්ඩායම වෙනුවෙන් දස්කම් දක්වමින් සිටිති. ඩෙකැන් ග්ලෑඩියේටර්ස් පිලට එරෙහිව ඇන්ජිලෝ පෙරේරා ලකුණු 60 ක් රැස් කළේ පන්දු 29 කිනි. භානුක දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 64 ක් ලබා ගත්තේ පන්දු 31 කි නි.
අනිල් වීරසිංහ
------------------------------------------
වර්ගවාදී හිංසකයෝ
තමා එංගලන්තයේ දී වර්ගවාදී හිංසනයට ලක් වූ බවට කළ ප්‍රකාශයක් මඟින් එංගලන්ත ක්‍රිකට් පදනම දෙදර වූ යෝක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළ පකිස්තානයේ උපත ලද අසීම් රෆික් පසුගිය දා තවත් බෝම්බයක් අතහැර තිබේ. ඒ එංගලන්ත ක්‍රීඩකයකු වන ඇලෙක්ස් හේල්ස් ට ද චෝදනාවක් එල්ල කරමිනි.
ඔහු තමන්ගේ සුනඛයාට වර්ගවාදී චේතනාවෙන් යුතුව කෙවින් යන නම යොදා ඇති බව ද රෆික් පවසයි. තමන් එලෙස පවසන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ ගැරී බැලන්ස් වෙනත් වර්ණයක ක්‍රීඩකයකු අපහාසාත්මක ව හැඳින්වීම සඳහා භාවිත කළේ ද කෙවින් යන නම බවත් ඇලෙක්ස් හේල්ස් තම සුනඛයා ට ද එම නම යොදා ඇත්තේ අපහාසාත්මකව බව පෙන්වා දෙමිනි.
“හේල්ස් තම සුනඛයාට කෙවින් කියල නම දැම්මේ ඌ කළු නිසයි.” අසීම් පවසයි.
අසීම්ගේ මෙම ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඇලෙක්ස් හේල්ස් පවසා තිබේ. “වර්ගවාදයට හෝ කුමන ආකාරයක වෙනස්කමකට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඩක් නෑ. මම සතුටුයි ඒ සම්බන්ධයෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මගේ සහයෝගය ලබා දෙන්නට.” හේල්ස් වැඩිදුරටත් පවසා ඇත.
අනිල් වීරසිංහ