අතීත මතක අවුස්සන ධනංජය ගේ Hit wicket එක | සිළුමිණ

අතීත මතක අවුස්සන ධනංජය ගේ Hit wicket එක

 

අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ හිට්-විකට් දැවී යෑම් ඉතා දුර්ලභ ය. නමුත් පසුගිය දා පැය 12-13 අතර කාලයක් තුළ පිතිකරුවන් දෙදෙනකුට එකී ඉරණමට මුහුණපෑමට සිදුවිය. පසු ගිය ඉරිදා (නොවැම්බර් 21) කොල්කටාහි දී නවසීලන්තය සමඟ පැවැති තෙවැනි විස්සයි20 තරගයේ දී හර්ෂල් පටෙල් හිට්-විකට් දැවී යෑමකට ගොදුරු වූ අතර, සඳුදා උදෑසන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවේ ධනංජය ද සිල්වා දැවී ගිය ආකාරය ද එලෙසම විය.

ධනංජය ද සිල්වා මේ වන විට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දෙවරක් හිට්-විකට් වරදට හසුව තිබෙන අතර, ඔහුට පෙර දෙවරක් දැවී ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ රොමේෂ් කළුවිතාරණ ය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තර-ගයේ දෙවැනි දිනයේ ධනංජය ද සිල්වා එලෙස දැවී ගියේ ය. ලකුණු 61 ක් ලබා සිටි ධනංජය එලෙස දැවී ගියේ ෂැනොන් ගේබ්‍රියෙල් විසින් යවනු ලැබූ පන්දුවක් සිය පිත්තේ අග ගැටී කඩුල්ල මතට පතිත වීම වැළැක්වීමට උත්සාහ කිරීමේ දී ය. ඒ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් ඔහු

පන්දු 95 කි න් ලකුණු 61 ක් රැස් කර තිබිණි.

මෙම අවස්ථාවට පෙර ඔහු 2019 පෙබරවාරි 01 ඔස්ට්‍රේලියානු සංචාරය අතරතුර කැන්බරා නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී මෙලෙස දැවී ගියේ මිචෙල් ස්ටාක්ගේ පන්දුවක් හමුවේ ය.

පළමු වැන්නා

මේ අවාසනාවන්ත පිතත කඩුල්ලේ වැදී දැවී යෑමට මුලින් ම ගොදුරු වූ ශ්‍රී ලංකා පිතිකරුවා රොමේෂ් කළුවිතාරණ ය. මේ දෙවතාව ම වාර්තා වූයේ 1997 ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර ය. ජුනි 13 දා සාන්ත ජෝන්ස්හි පැවැති පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේ දී ඉයන් බිෂොප්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය ඔහු ජුනි 20 දා කිංග්ස්ටන් නුවර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී එසේ දැවී යෑමට හසු වූයේ කර්ට්නි වොල්ෂ්ගේ පන්දුවකට ය.

මේ අතර ටෙස්ට් පිටියේ වැඩිම හිට් විකට්ලාභි පන්දු යවන්නා ඔස්ට්‍රේලියාවේ ග්‍රැහැම් ඩග්ලස් මැකෙන්සි ය. මැකෙන්සි 1961-71 දී තරග 60 ක දී පන්දු 17681 ක් යවා කඩුලු 246 ක් දවා ගෙන ඇත්තේ හිට් විකට් දවාලීම් හතරක් සමඟ ය. ඊට අමතරව එංගලන්තයේ හෙඩ්ලි වෙරිටි තරග 40 ක දී, ඔස්ට්‍රේලියාවේ රේමන්ඩ් රසල් ලින්ඩ්වෝල් තරග 61 ක දී, ඉන්දීයාවේ විනූ මන්කාඩ් තරග 44 ක දී, එංගලන්තය ෆෙඩ් ටෲමන් තරග 67 ක දී, ඉන්දීයාවේ කපිල් දේව් තරග 131 ක දී හිට් විකට් කඩුලු තුන බැගින් දවා ගෙන ඇත.

බන්ධුල ජයමාන්න

Comments