LPL තරගාවලියේ දෙවැනි අදියර ඇරඹෙයි | සිළුමිණ

LPL තරගාවලියේ දෙවැනි අදියර ඇරඹෙයි

 

'එල්.පී.එල්. නැතහොත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කිරීමට මේ වනවිට සියල්ල සැලසුම් කර තිබේ. දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ඇතිව පැවැත්වීමට නියමිත මෙම ප්‍රිමියර් ලීග් තරගාවලිය එහි පළමු අදියරට වඩා විචිත්‍රවත්ව හා වඩා සංවිධානාත්මකව පවත්වන බව පැවසෙයි. මේ එහි අලුත්ම අදියරේ සැලසුම සම්බන්ධව ය.'

‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලිය’ හෙවත් ‘LPL – 2021’ තරගාවලියට තෝරගත් ක්‍රීඩකයන් සිය දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, අකිල ධනංජය, දිනේෂ් චන්දිමාල් ට අවස්ථාව අහිමිවී ගියේ ය. ඔවුනට අමතරව යොවුන් ක්‍රීඩකයන් වශයෙන් ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සධීර සමරවික්‍රම, හිමේෂ් රාමනායක, සහන් ආරච්චිගේ සහ ශිරාන් ප්‍රනාන්දු ට ද මෙවර තරගාවලියට එක්වීමට අවසර අහිමිවිණි.

මෙවර තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් වනුයේ පසුගියවර ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) , අනුශුරයන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators), සමඟ කලම්බු ස්ටාර්ස් (Colombo Stars),කැන්ඩි වොරියර්ස් (Kandy Warriors), සහ දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) ය.

මෙවර IPL අවසන් මහා තරගයේ වීරයා වු දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ෆෆ් ඩුප්ලෙසිස් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ සුවිශේෂි විදේශ ක්‍රීඩකයා ලෙස තෝරා ගෙන ඇත. එම කණ්ඩායමේ සුවිශේෂි දේශිය ක්‍රීඩකයා ලෙස තිසර පෙරේරා, දියමන්ති විදේශ ක්‍රිඩකයා ලෙස වහාබ් රියාස් සහ දියමන්ති දේශිය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග ද තෝරා ගෙන ඇත.

රොව්මන් පවෙල් කැන්ඩි වොරියර්ස් (Kandy Warriors), කණ්ඩායමේ සුවිශේෂි විදේශ ක්‍රීඩකයා ය. සුවිශේෂි දේශිය ක්‍රීඩකයා ලෙස චරිත් අසලංක,දියමන්ති විදේශ ක්‍රිඩකයා ලෙස කැමරන් ඩෙල්පොට් සහ දියමන්ති දේශිය ක්‍රීඩකයා ලෙස ළහිරු කුමාර ද තෝරා ගෙන තිබේ.

මොහොමඩ් හෆීස් ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators), කණ්ඩායමේ සුවිශේෂි විදේශ ක්‍රීඩකයා ලෙස තෝරා ගෙන තිබේ. සුවිශේෂි දේශිය ක්‍රීඩකයා ලෙස ඉසුරු උදාන, දියමන්ති විදේශ ක්‍රිඩකයා ලෙස ටබ්‍රේස් ශම්ෂි සහ දියමන්ති දේශිය ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස් ද තෝරා ගෙන ඇත.

ක්‍රිස් ගේල් කලම්බු ස්ටාර්ස් (Colombo Stars), කණ්ඩායමේ සුවිශේෂි විදේශ ක්‍රීඩකයා වේ. සුවිශේෂි දේශිය ක්‍රීඩකයා දුෂ්මන්ත චමීර වන අතර දියමන්ති විදේශ ක්‍රිඩකයා ලෙස අහමඩ් ශේෂාඩ් සහ දියමන්ති දේශිය ක්‍රීඩකයා ලෙස ඩිල්ෂාන් මුණවීර ද එම කණ්ඩායම නියෝජනය කරති.

ඉම්රාන් තාහීර් දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants), කණ්ඩායමේ සුවිශේෂි විදේශ ක්‍රීඩකයා ලෙස තෝරා ගෙන තිබෙන අතර , සුවිශේෂි දේශිය ක්‍රීඩකයා ලෙස දසුන් ශානක,දියමන්ති විදේශ ක්‍රිඩකයා ලෙස රයිලි රොසව් සහ දියමන්ති දේශිය ක්‍රීඩකයා ලෙස චාමික කරුණාරත්න ද තෝරා ගෙන ඇත.

‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරගාවලිය ලබන දෙසැම්බර් මස 05 වැනිදා ගියවර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරගයෙන් ආරම්භ වේ.

මෙවර දෙවැනි තරගාවලියේ ඇති විශේෂත්වය වන්නේ අවසන් කණ්ඩායම් 4 අතර අවසන් පුර්ව වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගයකට ඉවත්වීමේ තරගයට අමතරව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරගයකට ක්‍රීඩා කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව සලසා දීමයි.

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර, පරාජිතයන්ට තවත් වරක් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නිර්මාණය කර දීම මෙවර හඳුන්වා දෙන ක්‍රමය හරහා සිදු කෙරේ.

ඒ අනුව පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට නැවතත් අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් පිළිමළුන් පිටුදැකීමේ තරගයට හෙවත් දෙවැනි අවසන් පුර්ව තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායමට එරෙහිව පළමු අවසන් පුර්ව තරගයෙන් පරාජිතයන් තරග කළ යුතුය

ඒ අනුව මෙවර තරගාවලියට සමස්ත තරග 24ක් පැවැත්වෙනු ඇත. මීට අමතරව දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට පසු දින ද අතිරේක දිනයක් ලෙස නම් කර තිබීම වේ.

බන්ධුල ජයමාන්න

Comments