ශ්‍රී ලංකා පැසිපන්දු පිල බංග්ලාදේශයට | සිළුමිණ

ශ්‍රී ලංකා පැසිපන්දු පිල බංග්ලාදේශයට

 

ජාතික පැසිපන්දු කණ්ඩායම හෙට (15) සිට දකුණු ආසියා පැසිපන්දු සංගමය විසින් බංග්ලාදේශයේ ඩකා නුවර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන අභියෝගතා කුසලානයට තරග වදී.

දකුණු ආසියාව නියෝජනය කරමින් රටවල් 7 ක් තරග වදින මෙම තරගාවලිය සබා කුසලානය වෙනුවෙන් පැවැත්වේ.

ඒ සඳහා බංග්ලාදේශය, භූතා-නය,ඉන්දියාව,නේපාලය, මාලදිවයින, සමග 2018 වසරේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකාව තරග වදී.

ශ්‍රී ලංකා කණ්ඩයම ස්ටැලෝන් තිවකුමාර්ගේ නායකතක්වයෙන් රුක්ෂාන් අතපත්තු, ගයාන් ඩී. කොස්, තිමොති නෙතුෂාන්, ප්‍රණීත් උඩුමාලගල, චානුක ප්‍රනාන්දු, ආනෝල්ඩ් බෙනට් තිවකුමාර්, උදයංග පෙරේරා, දසුන් නිලන්ත මෙන්ඩිස්, පවන් ගමගේ, නිමේෂ් ප්‍රනාන්දු, සහ අසංක මහේෂ් රාජකරුණා යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත ය.

අතිරේක ක්‍රීඩකයන් ලෙස සසිනිදු ගජනායක, යෝගනාදන් සිමරෝන් හා ශෙහාන් ප්‍රනාන්දු තරගාවලියට එක් වෙයි. ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුසිල් උඩුකුඹුරගේ කටයුතු කරන අතර රනුර නානයක්කාර පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමට නියමිත ය.

 

ගීෂා මුණසිංහ

-----------------------

කොත්මලේ කඳු තරණය දෙසැම්බර් 11 හා 12

ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය හා සෙන්කඩගල මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සංගමය සමග එක්ව සංවිධානය කරන “සියැට් කොත්මලේ ස්පීඩ් හිල්ක්ලයිම්බ් 2021“ තරගාවලිය දෙසැම්බර්11 හා 12 යන දෙදින පැවැත්වේ.

මෝටර් රථ තරග සංවිධානයේ මෙරට ඉපැරණිතම ක්‍රීඩා සංගමයක් වන ශ්‍රී ලංකා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන තරග මාලාවේ ප්‍රධාන තරගයක් වන මෙම තරගාවලිය සෙන්කඩගල මෝටර් රථ ක්‍රීඩා සංමාජය සමඟ එක්ව මෙලෙස සංවිධානය කෙරේ.

දෙසැම්බර් 10 වැනි දා මෝටර් රථ රියදුරන් වෙනුවෙන් පුහුණු විමේ අවස්ථාවක් හිමිකර දී තිබීම විශේෂත්වයකි. එම පුහුණුව යතුරු පැදි ධාවකයන්ට ලබාදී ඇත්තේ 11 වන දින පෙරවරුවේ ය. එදින සවස යතුරුපැදි තරග මාලාව පැවැත් විමට නියමිතය.

මෝටර් රථ තරග ඉසව් 12 කින් හා යතුරුපැදි ධාවන ඉසව් 10 කින් තරගාවලිය සමන්විත ය. යතුරුපැදි තරග කරුවන් 75 දෙනෙකුට අධික පිරිසක් ඇයැදුම්පත් යොමු කර ඇති තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින මෝටර් රථ රියැදුරන් සංඛ්‍යාව 125 ක ට අධිකය.

කොත්මලේ දුටු ගැමුණු රජ පීල්ල සුන්දර කඳු පන්තියෙන් වටවූ ප්‍රදේශය ආවරණය කරමින් කොත්මලේ කඳු තරණ ධාවන පථය සැකසී ඇති අතර එය වංගු 10 කින් සමන්විත මීටර් 800 අභියෝගාත්මක ධාවන පථයකි.

ගීෂා මුණසිංහ

Comments