මේ කිසිදෙයක් පාපන්දුවෙන් හම්බ කළේ නෑ | සිළුමිණ

මේ කිසිදෙයක් පාපන්දුවෙන් හම්බ කළේ නෑ

 

'මහින්ද රාජපක්ෂ අභියෝගතා කුසලාන අන්තර්ජාතික සිව්කොන් පාපන්දු තරගාවලියක් ආරම්භ කිරීමට වත්මන් පාපන්දු සම්මේලනය කටයුතු කර තිබේ. එවැනි තරගාවලියක් සංවිධානය කිරීම මඟින් අරමුණු කළේ කුමක් ද? අප ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා හා සංවාදිත වූයෙමු.'

පාපන්දු මඟුල් ගෙදර මනමාලයා ඔබ. මේ දවස්වල සතුටින් නේද ඉන්නෙ?

ඔව්. මම ඉන්නේ සතුටින්. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වැනි වතාවට සිව්කොන් කුසලාන පාපන්දු තරගාවලියක් සංවිධානය කරන්න අවස්ථාව උදාවුණා. ඒ ගැන මට ලොකු අභිමානයක් තිබෙනවා. ඒක අහිංසක සතුටක් හා ගාම්භීර හැඟීමක්.

මේ තරගාවලිය වාර්ෂිකව පවත්වාගෙන යන්නද කල්පනාව?

ඔව්. අපි හිතාගෙන ඉන්නේ වාර්ෂික පාපන්දු දින දර්ශනයට මෙම සිව්කොන් අන්තර්ජාතික තරගාවලිය ඇතුළත් කර ගන්න. එමඟින් අපට විශාල ජයග්‍රහණයක් අත්පත් කරගත හැකියි.

එතකොට මේ තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරද්දී සහභාගි වන කණ්ඩායම් වෙනස් වෙන්නේ නැද් ද?

වෙනස් වෙනවා. හැබැයි මෙවර තරගාවලියට එන විදෙස් කණ්ඩායම් තුන අතුරින් ලබන අවුරුද්දේ පැවැත්වෙන තරගාවලියට මාලදිවයින පමණක් සහභාගි වෙනවා. මොකද අපි ඔවුන්ට ඒ බව පොරොන්දු වුණා. සෙසු කණ්ඩායම් දෙක වෙනස් වේවි.

කුමන පදනමක් යටතේ ද ඒ වෙනස් කිරීම කරන්නේ?

එතැනදී අපි සලකා බලන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අප ඉන්න තැනට ආසන්නව ඉන්න කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගි කරවා ගන්න. එමඟින් අපේ ක්‍රීඩකයන්ට තමන්ගේ තරගකාරිත්වය වර්ධනය

කර ගනිමින් වැඩිදියුණු වෙන්නට අවස්ථාව උදාවෙනවා. එහෙම නැතිව අපට වඩා දුර්වල කණ්ඩායම් එක්ක තරග කරන්න සැලැස්මක් නෑ. ඒ වගේමයි අපට තරග කරන්න අසීරු වඩා ප්‍රබල කණ්ඩායම්වලට ආරාධනා කරන්නෙත් නෑ.

දැන් මේ තරගාවලියේ අවසන් තරගයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සහභාගි වෙනවා නේද?

ඔව්. එය සුවිශේෂී ජයග්‍රහණයක්. එතුමා කාර්යබහුලත්වය අතරතුර තවත් සංචාර දෙකක් අවලංගු කරලා අපේ තරගාවලියේ සමාප්ති උළෙල වෙනුවෙන් සහභාගි වීම විශේෂයි.

මොකද ඉන්ෆැන්ටිනෝ එන්නේ ඡන්ද මගඩියකට පසුබිම සොයාගෙන ද?

මොන මගඩිද? නිලවරණයක් පේන තෙක් මානෙක නෑ. ඉතින් ඔහුට මොනවද මෙතැනදී ගන්න තියෙන්නේ. එයා එන්නේ ලෝකයේ පාපන්දු ක්‍රීඩාව විවිධ අන්තවලට ප්‍රචලිත කිරීමේ අරමුණ තවදුරටත් සාර්ථක කර ගන්න අනුබද්ධ සංගම් දිරිගැන්වීමේ අරමුණින් යුතුවයි. ඔහු දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව නංවාලන්න දෙන්න හැකි උපරිම උපකාර ලබා දීමේ පොරොන්දුව ශක්තිමත් කරමිනුයි මේ සංචාරයට එක්වෙන්නේ.

මීට ඉස්සරත් අන්තර්ජාතික පාපන්දු සභාපතිවරු සීමිත අවස්ථාවක් මෙරට සංචාරය කළා. එක වතාවක් හිටපු සභාපතිවරයකු වූ පසුව චෝදනාවන්ට ලක්වූ සෙෆ් බ්ලැටර් ගේ ශ්‍රී ලංකා ගමනට අසීමිතව මුදල් වැය කරලා ගැටලුවකුත් මතුවුණා. මෙවරත් එහෙම දෙයක් වෙයි ද?

මෙහෙමයි. අපි රටක් වශයෙන් ඉතා උසස් ආගන්තුක සත්කාර දක්වන රාජ්‍යයක්. එතැනදී අපි ජගත් පාපන්දු සභාපතිව නිකමෙක් වගේ මෙතැනට ගෙන්වා ගන්න බෑ. ඔහු අපි මෙරටට ගේන්නේ අනාගත පාපන්දු ආයෝජනයක් ලෙසයි. ඉතින් ඒ නිසා යම් උසස් පිළිගැනීමක් ඔහුට ලබා දෙන්න සිදුවෙනවා. මම ඒක නෑ කියන්නේ නෑ. නමුත් එක දෙයක් කිව යුතුයි. ඒ තමයි අනවශ්‍ය වියදම් කරන්නේ නෑ.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික පාප-න්දු ලොක්කා එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් කීපයක් මෙරට පාපන්දුවේ මුල්බැසගෙන තිබුණා. ඒත් අලුතෙන් සභාපති වුණු ජස්වර් උමාර්ටත් ස්විට්සර්ලන්තයේ සූරිච් ගිහිල්ලා ෆිෆා සභාපති මෙරටට ගෙන්වා ගන්න පුළුවන් වෙලා තිබෙනවා. මේක පිටුපස්සේ රහස මොකක් ද?

එක රහසක් තිබෙනවා. ඒ තමයි දීර්ඝ කාලයක් තිස්සේ මේ රට ඇතුළේ මුල් බැසගෙන තිබුණු මිථ්‍යාව අවසන් වෙලා ඕනෑම අවංක නිලධාරියකුට ෆිෆා ප්‍රධානියා සමඟ කතා කරන්න හැකියි කියන එක ඔප්පු වීම. ඕනෑම පොඩි මිනිසකුට ඒක කළ හැකියි. මම ඔප්පු කළේ එයයි.

ඔව්නෙ. ඔබ පාපන්දු සම්මේලනයට ආවේ පාපැදියෙන්. දැන් බෙන්ස් එකෙන් යනවා. මේ විදිහට ෆිෆා එක්ක ගනුදෙනු කරද්දී පෞද්ගලික ජෙට් එකකුත් ගන්න මුදල් සොයාවි කියලා ඇතැම් අය කියනවා නේ?

ඒක ද්වේශ සහගත ප්‍රකාශයක්. ඕනෑ ම කෙනෙක් එක තැන ඉන්න අවශ්‍ය නෑ. මහන්සි වෙලා මුදල් උපයලා ධනවත් වෙන්න ඕනෑ. මම ඒක පිළිගන්නවා. අනික මට මුදල් හම්බු කරන්න පාපන්දු ඕනෑ නෑ. ඒකට ව්‍යාපාර කරන්න පුළුවන්. මම පාපන්දු ක්‍රීඩාවෙන් මුදල් හම්බ කරලා මේ තත්ත්වයට ඇවිත් නෑ.

එතකොට සම්මේලනයේ තනතුරු ගන්න හැමෝම පොරකන්නේ ඇයි?

මේකට මම ආවේ පොරකාළා නෙවෙයි. ක්‍රීඩකයෙක් විදිහට ඉඳලා විනිසුරුවෙක් වෙලා මගේ තිබෙන පරිපාලන හැකියාව උපයෝගී කර ගෙන තමයි මෙතැනට මම ආවේ. එතැන කාලයක් වැඩ කරද්දී පාපන්දු දියුණු කරන්න යන ගමනේ මූලිකයා වෙන්න උවමනායි කියන හැඟීම ඇති වෙලා තමයි මම සභාපති ධුරයට ඉදිරිපත් වුණේ. එහෙම නැතිව පොරකාලා තනතුරු ගන්න මගේ උත්සහයක් නෑ.

හොඳයි. පාපන්දු සම්මේලනය විදි-හට මේ තරගාවලිය වෙනුවෙන් සැල-කිය යුතු මුදලක් වියදම් කරනවා ඇති නේද? ඒකට වියපැහැදම් කරන්නේ රටේ පාපන්දු ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඔප්නංවන්න තියෙන සල්ලි කියලා කවුරුහරි කිව්වොත්?

ඒක වැරදියි. මේක අපි අන්තර්ජා-තික පාපන්දු සම්මේලනය කියලා විශේෂ ව්‍යාපෘතියක් යටතේ මුදල් ලබා ගෙන සංවිධානය කරන තරගාවලියක්. එතැනදී අපේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්ත අත්දැකීම් වැඩි කරන්න වගේම ශ්‍රේණිගත කිරීම්හි අපිට ඉදිරියට එන්න හැකි වෙන්නයි මේ වගේ තරගාවලියක් සංවිධානය කරන්නේ. ඒ වගේම මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම මඟින් මෙරට පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින අවධානය වැඩිදියුණු වෙලා ක්‍රීඩාව වටා එක්වන අනුග්‍රාහකයන් සංඛ්‍යාව ඉහළ යනවා. එ්ක ක්‍රීඩාවේ වර්ධනයට ලොකු රුකුලක්.

ඒ කියන්නේ ලබන වසරේ මේ තරගාවලිය ස්වාධීනව පවත්වන්න ඔබලාට ශක්තියක් ලැබේවි කියන එක ද?

ඔව්. අනුග්‍රාහකයෝ එන එක ස්ථිරයි. මෙවර තරගාවලිය බලන්නකො. ඒකෙ සංවිධානය කොහොමද කියලා බලපු හැම අනුග්‍රාහකයෙක්ම අපිත් එක්ක දෙවැනි තරගාවලියට එක්වෙනවා කියලා කියන්න පිළිවන්.

පාපන්දු ක්‍රීඩාව දුප්පතාගේ ක්‍රීඩාව කියන ලේබල් එක මේ වගේ තරගාවලි-වලින් ඉවත් වෙන්නේ නෑ නේ ද?

දුප්පතාගේ ක්‍රීඩාව කියන එකට මම විරුද්ධයි. පාපන්දු කියන්නේ දුප්පතාගේ ක්‍රීඩාව නොවෙයි. අපේ ක්‍රීඩකයෙක් දාන පපාපන්දු සපත්තු යුවළක් රුපියල් හැත්තෑ පන්දහසක් විතර වෙනවා. ඇඳුම් පැලඳුම් එක්ක බලද්දී මේ ක්‍රීඩාව දුප්පතාගේ ක්‍රීඩාවක් නොවෙයි.

ඒ වුණත් ක්‍රීඩකයෝ දුප්පත්නෙ? අපේ ඉන්න ජාතික ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් පදික වේදිකාවේ පලතුරු, එළවළු තට්ටුවල වැඩ කරන පෙට්ටි කඩ වෙළෙන්දෝ. එහෙමත් නැත්නම් ත්‍රීරෝද රථ රියැදුරෝ. ඒකනෙ ලංකාවේ පාපන්දු ක්‍රීඩකයන්ගේ යථාර්ථය?

මෙහෙමයි. ඒ තත්ත්වය බිඳින්න තමයි අපි උත්සුක වෙන්නේ. එකපාරටම ඔවුන්ගේ ජීවන තත්ත්වය සියයට සියයකින් වෙනස් කරන්න අමාරු බව ඇත්ත. නමුත් අපේ පාසල් පද්ධතිය තුළ පාපන්දු ක්‍රීඩාව නංවාලමින් හොඳ අධ්‍යාපනයක් එක්ක ක්‍රීඩාව කරන්න අවශ්‍ය පහසුකම ක්‍රීඩකයන්ට ගොඩනංවලා දුන්නා නම් අපිට ඔය කියන තත්ත්වයෙන් මිදුණු ක්‍රීඩකයන්ව ගොඩනංවාගන්න පුළුවන්. සාමාන්‍ය පෙළවත් සමත් වෙලා නැති ක්‍රීඩකයන්ට වෘත්තීය අවස්ථා හදලා දෙන්න හැකිද කියලා ඔබ පොඩ්ඩක් හිතන්න. අපි ක්‍රමානුකූලව ඒ තත්ත්වය වෙනස් කරන්න යනවා.

දැන් පාපන්දු සම්මේලනය ඇතුළේ ඉන්න නිලධාරීන් නඩත්තු කරන්න විශාල මුදලක් වැය කරනවා. ක්‍රීඩකයන් හම්බවෙන්නේ සොච්චම් ප්‍රතිලාභයක් කියන එක කාලයක් තිස්සේ දේශීය පාපන්දුවට එල්ල වුණු දැවැන්ත චෝදනාවක්. ඔබේ පරිපාලනය යට-තෙත් එය එහෙම ද?

එතැනදී අපි තේරුම් ගන්න ඕනෑ සත්‍යයක් තිබෙනවා. අපේ පාපන්දු ක්‍රීඩකයන්ගේ පහසුකම් වැඩිදියුණු කරන්න අපට වෘත්තීය කාර්ය මණ්-ඩලයක සේවයක් ලබා ගත යුතුව තිබෙනවා. එතැනදී ඔවුන් අඩු වැටුපකට රැගෙන ඒ කියන වෘත්තීය භාවය අපේක්ෂා කරන්න බෑ. ඉතින් යම් සාධාරණ වේතනයක් ඔවුනට ලබා දීලා තමයි අපිට ඒ දේ කළ හැක්කේ. ඒකට යම් මිලක් වැය වෙනවා. නමුත් ඊට වඩා වැඩි ප්‍රතිලාභ අපි එමඟින් ක්‍රීඩා-වට ලබා ගන්නවා.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සහභාගිවූ තරග සංචාර සමඟ සභාපති වශයෙන් ඔබත් එක්ව සිටියා. මොකක්ද ඒ අලුත් සෙල්ලම?

මම විදෙස් ගත වුණේ ඒ රටවල්වල පැවැති පාපන්දු රැස්වීම් වෙනුවෙන් සහභාගි වෙන්නයි. එසේ නොමැතිව මම ඒ සංචාර සියල්ලටම ගියේ නෑ.

අපි දැක්කා දකුණු ආසියානු රන් කුසලාන පාපන්දු තරගාවලියේ දී ජාතික පිලේ ක්‍රීඩකයන්ගේ මානසි-කත්වය නඟා සිටුවන්න විවිධ ක්‍රීඩාවල දක්ෂතා දක්වපු ක්‍රීඩකයන්ව යොදා-ගෙන කෙටි දේශන පවත්වනවා. ඒ යෝජනා ඔබේ කියලයි ආරංචිය. ඒත් ඒවා එතරම් ඵලදායී නෑනෙ?

මෙහෙමයි. මාලදිවයිනේ තිබුණු තරගාවලියේ දී මම එහි සිටිය අපේ හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට කියලා ජාතික කණ්ඩායමට කතා කළා. ඒක කළේ එතුමා මාලදිවයින් ක්‍රිකට් කණ්ඩායමට කතාකරන්න එහි ගිහිල්ලා සිටියදී මුණගැසුණු නිසයි. මගේ ආරාධන පිළිඅරගෙන ඔහු ඇවිත් කණ්ඩායමට කතා කළා. ඉතින් එතැන වරදක් මම දකින්නේ නෑ.

ක්‍රීඩකයන්ගේ මනස හදන්න ඕනෑ තරගාවලියකට ගිහින් තරගයට ඉස්සෙල්ලා නෙවෙයිනෙ. ඒකෙ පසුබිම කල් ඇතිව දාලා තිබිලා තමයි අපිට ප්‍රතිලාභ ලබා ගන්න හැකිවෙන්නේ. එහෙම නැතිව කරන වැඩ ප්‍රතිඵලදායක නෑනෙ සභාපතිතුමා?

ඔව්. අපි ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය වැඩිදියුණු කරන්න කටයුතු කරනවා. ඒක සිදුවන දෙයක්. නමුත් එදා මේ කළේ ලංකාවේ විශිෂ්ටයකුගේ අත්දැකීම් අපේ ක්‍රීඩකයන්ට බෙදා දීම. ඒක ඔවුන්ට තරග වදිද්දී ඇතිවන පීඩනය කළමනාකරණය කර ගන්න පහසුවක් වුණා. නැතිව මේක සෝඩා බෝතලය කඩනවා වගේ පටු තැනක තියලා දකින්න එපා.

අපි දකිනවා ඔබ සභාපතිවරයා වශයෙන් අසීමිත ප්‍රසිද්ධියක් ලබා ගන්න උත්සාහ ගනිමින් ඉන්නවා. ඒක නිකං ඔබේ ප්‍රතිරූපය පුම්බාගන්න ගන්න උත්සාහයක් වගේ කියලයි පෙනෙන්න තිබුණේ. ඔබේ එවැනි උත්සාහයක් තියෙනවා නේද කියන ප්‍රශ්නය අපිට ඇතිවෙනවා. මොකද ඒ ගැන කියන්නෙ?

මට ප්‍රතිරූපයක් හදාගන්න ඕනෑ නෑ. මේ රටේ පාපන්දු සම්මේලනය අනුබද්ධ සංගම් දන්නවා මම කවුද කියලා. ඒ වගේම තමයි මම සභාපති ධුරයේ ඉන්නේ. නිලවරණයක් පවා අද හෙට නෑ. ඉතින් මම මොකටද මගේ ප්‍රතිරූපය කෘත්‍රිමව පුම්බාගන්න හදන්නේ. මම මගේ පෞද්ගලික විය-දමින් පාපන්දු ප්‍රවර්ධනය වෙනුවෙන් යම් යම් අවස්ථාවල වැඩකටයුතු කරලා තිබෙනවා. ඒ ප්‍රවෘත්ති මඟින් මම අපේක්ෂා කරන්නේ මට පිම්-බෙන්න නෙවෙයි. අපේ ක්‍රීඩාව පුම්-බාගන්නයි.

මොකද පාපන්දු ක්‍රීඩකයන්ට ජනමාධ්‍යට කතා කරන්න තහනම් කරලා තිබෙන්නේ?

ඒක ෆිෆා නියෝගයක් අනුව කටයුතු කිරීමක්. ක්‍රීඩකයන් මාධ්‍යයට කතා කළහොත් එතැන යම් යම් අනවශ්‍ය මතයන් පළවන්නට පිළිවන්. එතකොට ඉන් හානි සිද්ධ නේනේ ක්‍රීඩාවටයි. ඒක වළක්වන්න තමයි ෆිෆා මෙහෙම තීරණයක් අරගෙන තිබෙන්නේ. අපි අනුබද්ධ සංගමයක් වශයෙන් ඒ තීරණය අනුගමනය කරනවා.

අවසන් වශයෙන් මෙරට පාපන්දු සභාපතිවරයා වශයෙන් ඔබට අපේ සමාජයට යම් පණිවිඩයක් ලබා දෙන්න හැකියි?

ඔව්. මට කියන්න තියෙන්නේ අපේ පාපන්දු ක්‍රීඩාව ඔසවා තබන්න අපි නොතිත් වෙහෙසක් ගනිමින් ඉන්නවා. ඒකෙ ප්‍රතිඵල ඔබට දැකගන්න ලැබෙන්නේ හෙට දිනයේ යි. මේ වෙනුවෙන් ජනමාධ්‍ය වශයෙන් ඔබේ සහයෝගය අපට අවශ්‍යයි. මම මෙතැනදී පුද්ගලාභිවන්දනයක් අපේක්ෂා කරන්නේ නෑ. මම ගැන ලියන්න කියලා මම ඉල්ලන්නෙත් නෑ. සාධාරණ විවේචනවලට අපි එකඟයි. නමුත් වසර දෙකක්වත් යනතුරු මේ රටේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් ධනාත්මක දේවල් සමාජගත කරන්න. එවිට මේ ක්‍රීඩාව නඟා සිටුවලා යළි සමාජය තුළ පැළ කරන්න අපිට හැකි වෙනවා. එවිට ඒ පාපන්දු පැළයේ මුල් ඇවිත් ශක්තිමත් ගහක් වෙයි. ඒ ගහේ පිපෙන මල්, ගෙඩි එක්ක අපේ පාපන්දු සංස්කෘතිය ශක්තිමත් කළ හැකි වේවි. එතැනදී හැමදාමත් චෝදනා ගැන කතා කරනවා වෙනුවට සුබවාදී දේවල් ගැනත් ජනමාධ්‍ය අවකාශය ලබා දෙන්න. එතකොට නව අනුග්‍රාහකයෝ මේ ක්‍රීඩාව වටා රොක්වේවි. ඒ අනුග්‍රාහකයන්ගේ ආධාරවලින් අපේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික ජීවිත වගේම ක්‍රීඩක ජීවිතයත් සාර්ථක වේවි. එහි සෘජු ප්‍රතිලාභ හිමි වන්නේ රටට හා ක්‍රීඩාවට. ඒකයි අවසන් වශයෙන් මට පැවසිය යුතුව ඇත්තේ.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments