නෙස්ටමෝල්ට් සවියෙන් විහාරමහා දේවී උයන වටා පාපැදි සවාරියෙන් | සිළුමිණ

නෙස්ටමෝල්ට් සවියෙන් විහාරමහා දේවී උයන වටා පාපැදි සවාරියෙන්

 

නෙස්ලේ (ශ්‍රී ලංකා) සමාගමේ "නෙස්ටොමෝල්ට්" සවියෙන් බල ගැන්වුණු පාපැදි තරගාවලියක් පසුගිය සති අන්තයේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය වටා ක්‍රියාත්මක විය.

මෙම ක්‍රීඩා ඉසව්ව තරගකාරී අයුරින් පැවැත්වීමට සංවිධායකයින් ලෙස ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව කටයුතු කර තිබිණි.

මෙරට දිගු දුර දිවීම මෙන්ම පාපැදිය සමඟ නිතරම අත්වැල් බැඳ ගන්නා නෙස්ටොමෝල්ට් සමග එක්වෙමින් සංවිධානය කර තිබුණු අභියෝගාත්මක පාපැදි තරගාවලිය ඉසව් 07 කින් සැදුම්ලත් විය. එහි පැවැති කිලෝමීටර් 40 ක දුර ප්‍රමාණය කින් සැදුම්ලත් වූ සුපිරි අංශයේ පිරිමි රේසිං තරග ඉසව්වේ ජයග්‍රහණය සටන් කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ නිරාන් පසිඳු සමත් විය. නියමිත දුර සාර්ථකව නිමා කිරීම සඳහා ඔහුට ගතව තිබූ කාලය මිනිත්තු 56.12 කි.

එහි දෙවැනි ස්ථානය යුද හමුදාවේ අවිශ්ක මැඩොන්සා හට හිමි වූ අතර ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත ට තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් වන්නට සිදුවිය.

කිලෝමීටර් 20 ක දුර ප්‍රමාණය කින් සැදුම්ලත් වූ සුපිරි කාන්තා රේසිං ඉසව්වේ ජයග්‍රහණය සටහන් කර ගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ සුධාරිකා ප්‍රියදර්ශණී ය. ඒ සඳහා ඇයට ගත වූ කාලය මිනිත්තු 37.53 කි.

එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ මධුමාලී ප්‍රනාන්දු ට හිමිවිණි. ෆෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ඈන් ෂෙනාලී පත්වූයේ තෙවැනි ස්ථානයට යි.

අවුරුදු 23න් පහළ තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද රේසිං ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට වරාය අධිකාරියේ ෂෙනාල් චමෝද් ද සිල්වා සමත් වූයේ මිනිත්තු 59.30 කින් තරගය නිමකරමිනි.

මෙවර පිරිමි කනිෂ්ඨ ඉසව්වේ ප්‍රථම ස්ථානය තහවුරු කරගැනීමට අනුරාධපුරයේ රංජිත් අනුර පාපැදි සමාජය නියෝජනය කළ එල්.යූ. අවිශ්ක ජයවික්‍රම ට හැකිවිය. ඒ මිනිත්තු 29.44 කින් තරගය නිමකරමිනි.

කිලෝමීටර් 20 ක දුර ප්‍රමාණය කින් සැදුම්ලත් වයස අවුරුදු 40 න් ඉහළ පිරිමි රේසිං ඉසව්වේ ‍ප්‍රථම ස්ථානය ප්‍රසන්න මැඩොන්සා දිනා ගත්තේ මිනිත්තු 30.16 ක් තුළ ය.

මෙවර අවුරුදු 50 න් ඉහළ ප්‍රවීණයන් සඳහා වෙන් වූ පිරිමි රේසිං තරග ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට මොහොමඩ් මුනාෆ් ට හැකිවිය. ඒ සඳහා ඔහු ගත් කාලය මිනිත්තු 30.16 කි.

කිලෝ මීටර් 30 ක දුර ප්‍රමාණයකින් සමන්විත වූ පිරිමි ස්ටෑන්ඩඩ් විවෘත පාපැදි තරග ඉසව්වේ පළමු ස්ථානය තහවුරු කර ගැනීමට ඩිල්ෂාන් විජිත කුමාර සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කළ ඔහු ඒ සඳහා මිනිත්තු 43.28 ක කාලයක් ගත්තේ ය.

 

තරග ප්‍රතිඵල

පිරිමි කනිෂ්ඨ රේසිං අංශය

1.එල්.යූ.අවිශ්ක ජයවික්‍රම අනුරාධපුර රංජිත්, 2.එස්.පී.තරංග ප්‍රනාන්දු, 3.එල්.දේශාන් කාවින්ද

පිරිමි සුපිරි රේසිං අංශය

1.නිරාන් ප්‍රසිද්ධ, 2.අවිශ්ක මඩොන්සා,3.නිදුෂ් නිරන්ත

පිරිමි අවුරුදු 23 න් පහළ රේසිං අංශය

1.ෂෙනාල් චමෝද් ද සිල්වා, 2.සුපුන් පියුමාල්, 3.දිනේෂ් චමීර

කාන්තා සුපිරි රේසිං අංශය

1.සුධාරිකා ප්‍රියදර්ශනී,2.මධුමාලී ප්‍රනාන්දු,3.ඈන් ශෙනාලී

පිරිමි විවෘත ස්ටැන්ඩඩ් අංශය

1.ඩිල්ෂාන් විජිත කුමාර,2.රොෂාන් මධුශංක,3.එච්.කේ.එන්.එල්. වංශප්‍රිය

පිරිමි අවුරුදු 40 - 50 රේසිං අංශය

1. ප්‍රසන්න මඩොන්සා, 2.සුරේෂ් දුලංක, 3.ඩබ්ල්ව්.ඩී.රෝහිත

පිරිමි අවුරුදු 50 න් ඉහළ රේසිං අංශය

1.මොහොමඩ් මුනාෆ්, 2.සුසන්ත නන්දලාල්, 3.එම්.ඒ.රංජිත් ජයලාල්

සපුමල් වීදිය බණ්ඩාර

Comments