
'ජීවිතය තුළ අරමුණු බිඳෙන අවස්ථා එමට ය. ඇෆ්ගනිස්ථානය වැනි යුද බිය මැද දිවි ගෙවන රටක් තුළ එවැනි බිඳ වැටීම් අධික ය. අප එසේ කියන්නේ අරමුණු දිනන්නට පහසු වන්නේ යහපත් සමාජ ආරක්ෂාවක් පවතිද්දී වන හෙයිනි. එය විවිධ ක්ෂේත්රවලට ප්‍රබල ව බලපෑම් කරන්නේ ය. මේ එවැනි තත්ත්ව මත ජීවිතය කෙළින් කළ තරුණයකුගේ කතාවක් ය.'
අඟ පසඟවලින් පිරිපුන් නිරෝගී දරුවකුගේ උරුමය ලැබීම ඕනෑ ම අම්මා කෙනෙකුගේ එක ම අහිංසක පැතුම ය. නමුත් 1997 වසරේදී ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි දී පිරිමි දරුවකු බිහි කළ මේ කියන අම්මාගේ ඒ අහිංසක පැතුම සුනු විසුනු වී තිබුණාය. ඒ, ඇය දෑත ම අහිමි දරුවකු බිහි කිරීම හේතුවෙනි.
ඇය බිහි කරනුයේ දෑත් රහිත දරුවෙකු බව වෛද්‍ය පර්යේෂණ ඇසුරින් ප්‍රසූතියට පෙර වෛද්‍යවරු ඇය දැනුවත් කර තිබිණි. එබැවින් තමාගේ උරුමය පිළිබඳ ඇය දැන සිටියා ය. එසේ වුව ද තම දරුවා දුටු මුල් ම වතාවේදී රෝහල දෙවනත් වන ලෙසින් ඇය හඬා වැළපුණා ය. ඒ දසුන ඇයට කිසිසේත් දරාගත හැකි වූවක් නොවී ය.

“අනේ.... මගෙ දරුවාට මෙහෙම වුණේ ඇයි? මේ දරුවා මේ විදිහට කොහොමද තනියම ජීවිතයට මුහුණ දෙන්නේ? අපි නැති කාලෙකදි මේ දරුවා අසරණ වෙනවා නේද?” ඇය විලාප තබමින් පැවසුවා ය.
“ඔයා කොයිතරම් ඇඬුවත් මේ දරුවාට අත් දෙකක් ලැබෙනව ද? නෑ. මේ තමයි අපේ උරුමෙ. අපි එයාව අපේ පණටත් වැඩිය ආදරෙන් රැක බලාගමු. අනික අත් නැතුව ලෝකෙ ඉපදුණු එකම දරුවා මෙයා නෙවෙයිනෙ. මෙයා ලොකු වෙලා තනියම තමන්ගෙ දේවල් කරන්න හුරු වෙයි. අපි ඒ විදිහට මේ දරුවව හදමු. එහෙම නැතුව වෙන මොනව කරන්නද?” බිරියගේ බිඳුණු සිත සනසනු අටියෙන් දරුවාගේ පියා කීවේ ය. අවසන ඇය ද එක සිතින්ම ඔහුගේ කතාව හා එකඟ වූවා ය.
දරුවාට නම් තැබුණේ මොහොමඩ් අබ්බාස් කරිමි ලෙසිනි. දැනුම් තේරුම් වියට පා එසවූ කරිමිට තමා ගැනම ඇති වූයේ අසීමිත දුකකි. අසහනයකි, කලකිරීමකි.
“පුතේ, ඔයා කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතන්න එපා. මේ ලෝකෙ ඕන තරම් දරුවො ඉන්නවා අත පය නැති. තවත් සමහරුන්ට ඇස් පේන්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ. ඒත් ඒ ගොඩාක් දෙනෙක්ට මොකක් හරි විශේෂ හැකියාවක් තියෙනවා. ඒ සමහරු ඒ හැකියාවලින් ලෝක ප්‍රසිද්ධ වෙලාත් තියෙනවා.
ඉතින් අපි අපිට නැති දේවල් ගැන කොයිතරම් දුක් වුණත් අපිට ලැබෙන්නෙ දුක විතරමයි. ඒ වෙනුවට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න හුරු වෙන්න. ඒවායින් ප්‍රයෝජන අරගෙන පුතාත් කවදා හරි ලෝක ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න හිතට ගන්න. ඔයාට බැරි වෙන එකක් නැහැ පුතේ. ඇත්තමයි.” මවුපියෝ සිය හැකි පමණින් ඔහු දිරිමත් කළ හ.
මෙවදන් කරිමිගේ දිවි ගමනට නව මාවතක් විවර කළේ ය. ඔහු මුලින්ම කළේ තම දෙපා වඩාත් සවිමත් කර ගැනීම ය. ඒ වෙනුවෙන් ඉතාමත් කැප වී ව්‍යායාමවල නිරත විය. අනතුරුව දෙපාවලින් කළ හැකි ක්‍රීඩාවක් ගැන සිත යොමු කළේ ය. පිහිනීම සිතට නැංවුණේ මේ අතරවාරයේ දී ය.
“අත් නැතුව කොහොම ද පීනන්නෙ? ඒක හරි යන දෙයක් නෙවෙයි.” බොහෝ දෙනෙක් කී හ.
“හැමෝම කියන හින්දා අත් නැතුව කකුල් දෙකෙන් පීනලා මගේ හැකියාව පෙන්නනවා කියලා මම හිතාගත්තා.” ඒ තරමට ම කරිමිගේ අධිෂ්ඨානය ප්‍රබල ය.
ඇත්තෙන්ම එය පහසු උත්සාහයක් නම් නොවී ය. මුලින්ම ඔහු දියේ ගිලී ජලය පෙවී අසාධ්‍ය තත්ත්වයට පත්වූයේය. නමුත් උත්සාහය කිසි ලෙසකිනුදු අත්හළේ නැත. කෙටි කලක දී දක්ෂ පා පිහිනුම් ශිල්පියකු බවට ඔහු පත්වි ය.
මේ අතරවාරයේ කාබුල් නගරය තුළ තලෙයිබාන්වරුන්ගේ ප්රචණ්ඩත්වය උත්සන්න විය. අවසන මවුපියෝ කරිමිගේ දිවි ගලවා ගැනීමේ අරමුණින් ඔහු රටින් පිටමං කිරීමට තීරණය
කළ හ. ඒ, ඔහුගේ වැඩිමහල් සොහො-යුරෙකුද සමඟිනි. එවකට කරීම් පසු-වුණේ 19 වැනි වියේ ය.
මුලින්ම සරණාගතයකු ලෙසින් තුර්කියට ගිය ඔහු එහි සරණාගත කඳ-වුරු හතරක වාසය කළේ ය. අනතුරුව අමෙරිකානු ජාතික ගුරුවරයකුගේ හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ උපකාරය ඇතිව අමෙරිකාවට සංක්‍රමණය වූ ඔහු ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ්හි ද පසුව ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලොවුඩර්ඩේල්හි ද වාසය කළේ ය.
මේ වන විට කරිමි ඇෆ්ගනිස්ථා-නයේ දී පිහිනුම් ජාතික ශූරතාව ද තුර්කියේ දී පිහිනුම් ජාතික ශූරතා 2 ක් සහ වෙනත් පිහිනුම් ඉසවුවලින් පදක්කම් 15 ක් ද දිනාගෙන සිටියේ ය.
අමෙරිකාවේ දී කරිම් හට පිහිනුම් ශිල්පය තවදුරටත් ප්‍රගුණ කිරීමේ අවස්ථාවන් උදාවිණි. විද්‍යාත්මක පසුබිමක් තුළ ලද මේ පුහුණුවේ ප්‍රතිඵලයක් ලෙසින් 2017 ලෝක ආබාධිත පිහිනුම් ශූරතා තරගාවලියේ දී මීටර 50 සමනල ආර ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තේ ය. ඒ, මේ තරගාවලියේ දී පදක්කමක් දිනාගත් මුල්ම සරණාගත ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
2018 දී ඔහු අමෙරිකා එක්සත් ජනපද පැරාලිම්පික් පිහිනුම් ජාතික ශූරතාව ද දිනාගත්තේ ය. මෙබඳු වූ තවත් පිහිනුම් ජයග්රහණයන් රැසක් ඔහු සතු ය.
“මුලින් මාව දැකපු හැම දෙනාම වගේ මට අනුකම්පා කළා. මම කිසි දෙයක් කර ගන්න බැරි ලී කොටයක් වගේ කියලා ඒ අය හිතුවා. මට ඕන වුණේ මෙන්න මේ ආකල්පය ඒ හිත්වලින් ඉවත් කරන්න උත්සාහ කරන්නයි. මම හිතනවා මගේ උත්සාහය මම හිතුවාටත් වඩා සාර්ථකයි කියලා.” අද මුළු ලොවේම අවධානය දිනාගෙන වැජඹෙන අබ්බාස් මොහොමඩ් කරිමි පවසන්නේ ‘හිත ඇත්නම් කළ නොහැක්කක් නොමැත’ යන කියමනට සැබෑ අරුතක් එක්කළ විරුවෙකු විලසිනි.
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි










