
'ඉන්දියාවේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂයේ (බී.ජේ.පී) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වනවිට කාශ්මීරය තුළ ප්‍රබල කම්පනයක් නිර්මාණය වී තිබේ. විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු-පාකිස්තාන පළමු ගැටුමේදී කාශ්මීරයේ සැලකිය යුතු පිරිසක් පාකිස්තානය වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධව බී.ජේ.පී. හිටපු මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබිණි. මේ ක්‍රීඩාව තුළින් බල දේශපාලනය පිළබිඹු වූ අවස්ථාවක් සම්බන්ධව ය.'
'පාකිස්තානයේ ජයග්‍රහණය වෙනුවෙන් උදම් අනපු කාශ්මීරයේ උන්ව පණ පිටින් හම ගහන්න ඕනෑ.' යැයි කියා තිබුණේ ජම්මු ප්‍රදේශයේ බී.ජේ.පී. පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන වික්‍රම රන්ද්වා යි. ඔහුගේ මේ ප්‍රකාශය සමඟ කාශ්මීරය කැළඹී ගොස් තිබුණා. ඒක හරියට අඬන්න හිටපු මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි. ඒ විඩියෝව වයිරසයක් ලෙස සමාජගතව තිබුණා. මෙම ප්‍රකාශයට ඉවහල් වෙලා තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ඉන්දු-පාකිස්තාන විස්සයි විස්ස ලෝක කුසලාන පළමු ගැටුමේ දී පාකිස්තානයේ ජයග්‍රහණය සමරමින් ඔවු-නට ආවඩන්නට කාශ්මීරයේ මුස්ලිම්වරුන් කටයුතු කිරීම සම්බන්ධව ඇති වූ තත්ත්වය යි.

ඉන්දියාව සහ පාකිස්තානය යන රාජ්‍යයන් දෙකම අයිතිය ලබාගැනීම වෙනුවෙන් දශක කීපයක සිට ගැටුමක නිරතව ඇති අතර කාශ්මීරය නරේන්ද්‍ර මෝදිගේ පාලනය සමඟ තවත් උණුසුම් දේශපාලන ගැටුමක නිරතව සිටිනවා. එය ක්‍රීඩාව තුළින් තවදුරටත් වැඩිදියුණු කරන තත්ත්වයක් නිර්මාණය කර තිබීම කනගාටුදායක බවයි පැවසිය යුත්තේ. දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරග සම්බන්ධයෙන් ඇතිවන්නා වූ මතභේදාත්මක තත්ත්වය මෙම ගැටුම්කාරී ස්වභාවය වර්ධනය කරන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එය වඩාත් සංකීර්ණත්වයට පත්කර ඇත්තේ ඉන්දියාව පාකිස්තානය හමුවේ කඩුලු දහයකින් පරාජය වූ විස්සයි විස්ස සමාරම්භක තරගයත් සමඟ පාකිස්තානු ජය වෙනුවෙන් උදම් ඇනූ කාශ්මීර වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු සිසුන් රැසකට එරෙහිව ත්‍රස්තවාදී පනත යටතේ නඩු පැවරීමට කටයුතු කිරීම හේතුවෙනුයි. ඊට අමතරව ඔවුනට පහර දීමට ද ඉන්දීය ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.
බී.ජේ.පී. පාලනයේ පවතින උත්තර ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රාජද්‍රෝහී චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කර ඇතැයි පැවසීමත් සමඟ තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙමින් තිබෙනවා. එම සිසුන් අත්අඩංගුවට ගෙන තිබුණේ අග්‍රා නගරයේ දී යි. කාශ්මීර ප්‍රදේශයේ මුස්ලිම් දේශපාලනඥයකු විසින් ට්විටර් පණිවුඩයක් ලෙස නිකුත් කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ රන්ද්වා නමැති බී.ජේ.පී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කලහකාරී ලෙස හැසිරීමට මිනිසුන් පොළඹවන ආකාරයයි.
'ඔවුන්ට පාකිස්තානය ගැන ලේ කැක්කුමක් තිබෙනවා. බෙදුම්වාදී අද-හස් තවමත් ක්‍රියාත්මකයි. උන් කවුද කියන එක හඳුනා ගෙන ඊට සම්බන්ධ වුණු කවුරු වුණත් කමක් නෑ පණ පිටින් හම ගහන්න ඕනෑ.' යැයි පවසමින් මෙම බී.ජේ.පී. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හින්දු ජනතාව ප්‍රකෝප කර ඇතැයි සඳහන්.
එසේම බී.ජේ.පී. මන්ත්‍රීවරයා විමසා ඇත්තේ පාකිස්තානයේ ජයග්‍රහණය සමරන්නට කාශ්මීරයේ ඇතැම් මුස්ලිම්වරුන් ක්‍රියාකරන්නේ නම් ඔවුන් නවසීලන්තය පරාජය කිරීම ගැන උදම් නොවන්නේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතු බවයි. ඔහු එහිදී නඟන තර්කයක් වනුයේ ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් ගැටුමකදී පාකිස්තානයට සහාය පළකිරීමෙන් ප්‍රදර්ශනය වන්නේ ඔවුන් එරටට දක්වන පක්ෂපාතීත්වය හා ඉන්දියාවට දක්වන විරුද්ධත්වය බවයි.
'පාකිස්තානය විස්සයි විස්සේ දී අන් රටක් පරාජය කළාට පස්සේ කාශ්මීරය එය සැමරුවේ නෑ. ඒක හරියට ඔවුන්ගේ අම්මා මැරුණු දවස වගේ. උන්ගේ ඔක්කෝම අම්මලා මැරිල ද? ඇයි උන් එතකොට පාකිස්තානය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා නොකළේ.' යැයි ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා.
ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබුණේ කාශ්මීරයේ මුස්ලිම් මව්පියන් තමන් ගුණමකු දරුවන් බිහිකර ඇති බව අවබෝධ කර ගත යුතු බවයි.
'මේ සිද්ධියට සම්බන්ධ කණ්ඩායම්වලට සලකන්න ඕනෑ ඔවුන් පැවත එන පරපුරවල්වලටත් දැනෙන්න. ඉන්දීය විරෝධය එහෙමත් නැත්නම් පාකිස්තානයට පක්ෂපාතී ප්‍රකාශ ඉන්දියානු භූමිය ඇතුළේ ඉඳගෙන කරන්න බෑ.' යැයි ද රන්ද්වා පවසනවා.
ඔහු ප්‍රකාශ කරන්නේ පාකිස්තානය වෙනුවෙන් ප්‍රීති ඝෝෂා කරන කාශ්මීරයේ මුස්ලිම් ජාතිකයන්ගේ ඉන්දීය පුරවැසි භාවය අහෝසි කළ යුතු බවයි. 'මම කියන්නේ ඔය සිද්ධියට සම්බන්ධ වුණු කාශ්මීර සිසුන්ගේ උපාධිය වගේම ඔවුන්ගේ පුරවැසි භාවය අහෝසි කළ යුතු බවයි.' ඔහු තවදුරටත් පවසා තිබෙනවා.
මේ අතර රන්ද්වා නමැති හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව නඩුවක් ගොනු කරන්නට පිරිසක් කටයුතු කර ඇති බව ජම්මු හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන් කෝලි පවසනවා. ඒ ආගමික සංහිඳියාව බිඳ දමමින් එම කණ්ඩායම් අතර එදිරිවාදීකම් ඇති කරමින් සිටින බවට චෝදනා කරමිනුයි.
එමඟින් ඉස්ලාම් ආගමට නින්දා කරමින් හා සමගිය නැතිවන ආකාරයේ හැඟීම් ඇතිකරමින් මුස්ලිම් සමාජයට එරෙහිව කටයුතු කරන බවටයි අදාළ චෝදනාවේ දැක්වෙන්නේ. කෙසේ නමුත් මේ වනවිටත් රන්ද්වා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණේ නෑ.
මේ අතර ජම්මු, කාශ්මීරයේ හිටපු මහ ඇමැති මෙහෙබූවා මුෆ්ටි බී.ජේ.පී. දේශපාලන නායකත්වයෙන් විමසා තිබුණේ තවමත් රන්ද්වා අත්අඩංගුවට නොගෙන ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්නයි. ඔහු විවෘතව මුස්ලිම් සමාජයට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇති කරවනසුලු වෛරී ප්‍රකාශ සිදුකරමින් තිබියදී හා මුස්ලිම් සිසුනට එරෙහිව කටයුතු කිරීමත් රාජද්‍රෝහී ක්‍රියා ලෙස සමාජගත කිරීමට ගන්නා උත්සාහය සම්බන්ධයෙනුත් වහා බී.ජේ.පී. පක්ෂය ක්‍රියාත්මක විය යුතු බවයි හිටපු මහ ඇමැතිවරයා පවසා තිබුණේ.
මේ අතර බී.ජේ.පී. පක්ෂය විසින් රන්ද්වා නමැති තමන්ගේ හිටපු මන්ත්‍රීවරයා පක්ෂය තුළ දැරූ සියලු තනතුරු අහිමිකර තිබෙනවා. එසේම ඊට පෙර ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ අතර අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනතාව වෙත ඔහු කනගාටුව පළ කරනු ඇතැයි ද පවසා තිබුණා.
කෙසේ නමුත් මෙම සිදුවීමෙන් ප්‍රකට වන්නේ ඉන්දු හා පාකිස්තාන විරසකය සඳහා ක්‍රීඩාව අමුණා ගැනීමට ගන්නා උත්සාහයයි. එහෙත් දෙරට අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයක් වඩා උද්යෝගකර වුව ද එය තවත් එක් තරගයක් පමණක් බවයි ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි පවසා තිබුණේ.
කාන්ති ජයසිංහ










