අමතක නැති අවසානයක් සටහන් කළ අමරණීය මිනිසා අපේ කාලයේ බ්‍රැඩ්මන් | සිළුමිණ

අමතක නැති අවසානයක් සටහන් කළ අමරණීය මිනිසා අපේ කාලයේ බ්‍රැඩ්මන්

 

පන්දුවාර 20 සත් වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් පිල පසුගිය සෙනසුරාදා (06) අබුඩාබි ක්‍රීඩාංගණයේ දී ඔස්ට්‍රේලියාව සමඟ තරග කරනු ලැබුවේ එය මෙවර ඔවුන්ගේ අවසන් තරගය බවට ස්ථිර වී තිබිය දී යි.

දෙවරක්ම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් ශූරතා දිනා තිබුණ ද කොදෙව් පිල මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අසමත් වුණා.

කොදෙව්වන්ට මෙම තරගයේ ප්‍රති-ඵලය වැදගත් නොවූවත් ඔස්ට්‍රේලියා-වට විශාල ලකුණු පරතරයක් සහිතව ජය ගැනීම තුළින් අවසන් පූර්ව වටයට ඇතුළු වීමේ අවස්ථාව උදා වී තිබුණා.

තරග ප්‍රතිඵලයේ වැදගත්කමක් නොතිබුණ ද කොදෙව් පිලේ ක්‍රිස් ගේල්ට ඒ තරගයේ යම් වැදගත්කමක් තිබුණා. මේ තමන් සහභාගී වන කොදෙව් පිල නියෝජනය කරන අවසන් තරගය වීම ඊට හේතුවයි.

පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩාවේ ඩ්‍රොන් බ්‍රැඩ්මන් ලෙස හඳුන්වන්නේ ක්‍රිස් ගේල් ය. තරු පහේ ක්‍රීඩකයකු වූ ගේල් මෙම අවසන් තරගයේ දී කාටත් මතකයේ තබා ගැනීමට පහසු අවසන් කිරීම් දෙකක් ද සටහන් තැබුවා.

කාසියේ වාසිය අහිමි වීමෙන් පසු පළමුව ලකුණු රැස් කිරීමට සිදුවූයේ කොදෙව්වන්ට. ඒ අනුව ක්‍රිස් ගේල් සමග එවින් ලුවිස් පිටියට පැමිණියා. පළමු කඩුල්ල ලෙස ගේල් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 30 ක් ව තිබියදී යි.

ගේල් දැවී ගියේ පැට් කාඩිනිස් යවන ලද තරගයේ තුන්වැනි පන්දු වාරයේ දෙවන පන්දුව තුළයි. ඔහුගේ පළමු පන්දුවට ගේල් ගෙන් එල්ල වූයේ දැවැන්ත හයේ පහරක්. ඊළඟ පන්දුවේදි ඔහුගේ ඉනිම අවසන් වුණා.

ඒ අනුව ගේල් සිය අවසන් ඉනිමේ අවසන් ලකුණු හයේ පහරකින් වාර්තා කිරීම කිසිවෙකුටත් අමතක නොවන්නක්.

දැනට 42 හැවිරිදි වියේ පසුවන ක්‍රිස් ගේල් මෙම තරගාවලියේදී පන්දු යැවීමට එතරම් උනන්දුවක් දැක්වූයේ නෑ. එහෙත් ඔස්ට්‍රේලියානු තරගය තමන්ගේ අවසන් තරගය නිසාදෝ ඔහු පන්දු වාරයක් යැවීමට ඉදිරිපත් වී තිබුණා.

පුදුමය ඔහු යැවූ එම පන්දු වාරයේ අවසන් පන්දුවේ දී ලකුණු 53ක් ලබාසිටි මිචෙල් මාස් දැවී යාමයි. ඒ වන විට කොදෙව් පිල රැස්කර තිබූ ලකුණු 157 ඔස්ට්‍රේලියානුවන් සමකර තිබූ නිසා ක්‍රිස් ගේල්ට තවත් පන්දු වාරයක් දැමීමට අවස්ථාව තිබුණේ නෑ.

අවසානයේ ක්‍රිස්ගේල් තමන් කොදෙව් පිලට ක්‍රීඩා කළ අවසන් තරගයේ දී යැවූ අවසන් පන්දුවේ දී කඩුල්ලක් බිඳ දැමුවේ තමන්ගේ පන්දු යැවීමට ද අමතක නොවන අවසානයක් එක් කරමින්.

 

 

සීවලි එදිරිවීර

***************************

ප්‍රංශ ලීග් කලාප පන්දුවාර 20-20 ක්‍රිකට් ශූරතාව දිනා ප්‍රංශයේදිත් විස්සයි විස්සේ වැඩ දාන ශ්‍රී ලාංකිකයෝ

‘ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දැන් ලෝක ක්‍රිකට් පිටියේ විවිධ රටවල දක්-ෂතා දක්වමින් සිටී. මේ සටහන ක්‍රිකට් එතරම් ජනප්‍රිය නැති ප්‍රංශය තුළ දක්-

ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදු-ම්ලත් කණ්ඩායමක් ගැන ය.’

ප්‍රංශ ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ ප්‍රංශ කලාප ලීග් පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මෙවරත් දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් සමන්විත ඒ. එස්. එව්රි පිල පසුගියදා සමත්විය.

කණ්ඩායම් 18 ක් පළමු වටයේ දී කාණ්ඩ 3 ක් යටතේ ලීග් ක්‍රමයට තරග වැදුණු අතර, එහි දී දස්කම් දක්වමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එම කණ්ඩායම සමත් විණි.

ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයේ දී වයිපර්ස් ග්‍රිග්නි පිල කඩුලු 7 කින් පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර, එම වටයේදී ටස්කර්ස් ඇෂ්නියර්ස් පිල කඩුලු 5 කින් පරදවා අවසන් තරගයට සුදුසුකම් ලැබී ය.

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් යූ.අයි.එෆ්. එව්රි පිල නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 9 ක් පමණක් දැවී ලකුණු 139 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම දියත් කළ ඒ. එස්. එව්රි පිල පන්දුවාර 18.5 ක දී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 141 ක් රැස් කළේ ය.

යූ. අයි. එෆ්. එව්රි පිල වෙනුවෙන් ජුබයිඩ් අහමඩ් ලකුණු 61 ක් රැස් කළේ ය. ඩාවුඩ් අහම්ඩ්සායි ලකුණු 21 ක් රැස් කරනු ලැබිණි. පන්දුවෙන් දස්කම් දැක්වූ තරංග ප්‍රසාද් ලකුණු 26 ක ට කඩුලු 4 ක් දවාලීය. තරංග ප්‍රසාද් මෙම තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා හා දක්ෂත ම පිතිකරුවා විණි.

ඒ. එස්. එව්රි පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක් දියත් කළ නායක ඩීෂාන් ජයසිංහ නොදැවී ලකුණු 55 ක් රැස් කළ අතර, උපුල් නන්දන (30), මහේෂ් හෙන්දාවිතාරණ (25) සහ තරංග ප්‍රසාද් (18) තම ඉනිම ගොඩනැංවීමට දායක වූ හ.

2019 වසරේ දී ද ශූරතාව හිමි කර ගැනීමට ඒ. එස්. එව්රි පිල සමත් වූ අතර, 2020 වසරේ දී කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හමුවේ මෙම තරගාවලිය නොපැවැත්විණි.

අවසන් තරගයේ ලකුණු පුවරුව

යූ. අයි. එෆ්. එව්රි: 139/9 (පන්දුවාර 20) ජුබයිඩ් අහමඩ් 61, ඩාවුඩ් අහම්ඩ්සායි 21, තරංග ප්‍රසාද් 26/4 ඒ එස් එව්රි: 141/4 (පන්දුවාර 18.5) ඩීෂාන් ජයසිංහ නොදැවී 55, උපුල් නන්දන 30, මහේෂ් හෙන්දාවිතාරණ 25, තරංග ප්‍රසාද් 18, ප්‍රභූ බලාන් 19/3 ඒ. එස්. එව්රි පිලට කඩුලු 6ක ජයක්.

ශූරයන් වූ ඒ. එස්. එව්රි පිල: ඩීෂාන් ජයසිංහ (නායක), උපුල් නන්දන, මහේෂ් හෙන්දාවිතාරණ, තරංග ප්‍රසාද්, මලිත් හසින්ත, දිනේෂ් කුමාර, ආමන්ද නිර්මාල්, සිදත් ප්‍රියන්ත, රසල් බර්නාඩ්, සිදත් ප්‍රියන්ත, රොෂාන් ප්‍රදීප්, දුලාන් පෙරේරා, ට්‍රෙවින් කෙලර්, පසිඳු තාරක, එම්. තරුෂ

ඉෂානි යද්දෙහි

***************************

මයිකල් වෝන්ටත් පත්තුවෙයි

හිටපු එංගලන්ත නායකයකු වන මයිකල් වෝන් එංගලන්-තයට පක්ෂ විචාරකයෙකි. එංග-ලන්තය නොමැති විට ඔහු වඩා පක්ෂපාතීත්වයක් දක්වන්නේ සුදු ජාතික කණ්ඩායම් සම්බන්ධයෙනි.

වෝන් බොහෝ විට තමන් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් මත-භේදවලට පැටලෙන අවස්ථා නිතර දැක ගත හැකිය. කෙසේ නමුත් පසුගිය දා ඔහු අසීරුවට පත්වූ අවස්ථාවක් ගැන තොරතුරක් වාර්තා වී තිබිණි. ඒ තමන් හා තවත් ක්‍රීඩකයන්ට එරෙහිව වර්ගවා දී ප්‍රකාශයක් සිදු කළ බවට අෂිම් රෆික් නමැති ක්‍රීඩකයා විසින් එල්ල කරන ලද චෝදනාවක් හේතුවෙනි.

මේ හේතුව නිසා ම දොළොස් වසරක පමණ කාලයක සිට බී.බී.සී. නාලිකාව වෙනුවෙන් ටෙස්ට් තරග විශ්ලේෂකයකු ලෙස ඉදිරිපත් කරන වැඩසටහනෙන් වෝන් ඉවත් කර ඇත. කෙසේ නමුත් අදාළ චෝදනාව ඔහුට එල්ලවී ඇත්තේ

2009 වසරේ එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්ත තරගයක් ආසන්න සිදුවීමක් ලෙසිනි. එය ප්‍රතික්ෂේප කරමින් වෝන් පවසා ඇත්තේ අදාළ චෝදනාවම අසත්‍යයක් බවයි.

අයි.පී.එල්. නෙවෙයි රටයි ප්‍රමුඛ - කපිල් දේව්

“ක්‍රීඩකයින් රටට ක්‍රීඩා කරනවාට වඩා අයි.පී.එල්.වලට මුල්තැන දෙන විට අපිට කියන්නට දෙයක් නෑ.” යැයි හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන කපිල් දේව් පවසා තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ඉන්දියාව අපොහොසත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබිණි.

“සෑම ක්‍රීඩකයෙකුම තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගෞරවයක් ලෙස සිතිය යුතුයි. අයි.පී.එල්.වැනි අනික් තරගමාලාවලට වඩා ක්‍රීඩකයන් තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මුල් තැන දිය යුතුයි. මෙය අපට විශාල පාඩමක්. කරපු වැරැද්ද යළිත් නොකිරීමට අපි මෙයින් පාඩමක් ඉගෙන ගත යුතුයි.” ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මුදල් තමයි ගැටලුව - මයිකල් ඇතර්ටන්

හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් වර්තමානයේ බොහෝ ක්‍රීඩකයන් මුදල් පසුපස හඹායෑම අරඹා තිබෙන්නේ යැයි චෝදනා කළේ ය. එයින් වැඩියෙන්ම පාඩු සිදුවිය හැක්කේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට බව ද ඔහු පවසා ඇත.

එහිදී ලබන වසරේ අයි.පී.එල්. තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ යෑම ද ජාත්‍යන්තර ක්‍රිකට් අනාගතයට අයහපත් ලෙස බලපෑම් කරනු ඇතැයි ඔහු පෙන්වා දී තිබේ. එලෙස කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ යෑමෙන් තරගාවලියේ පැවැත්වෙන තරග සංඛ්‍යාව වැඩි-වීමත් ගතව කාලය ඉහළ යෑමත් ජගත් ක්‍රිකට් ක්‍රීඩාවට අනිසි බලපෑමක් වීමට ඉඩ ඇති බවද ඔහු පෙන්වා දෙයි.

අයි.පී.එල්. තරගාවලියේ දී තුවාල ලැබීම නිසා මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ එංගලන්ත ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙකක් බවත් එයට හේතුවී ඇත්තේ අයි.පී.එල්. තරගාවලියේ දී ක්‍රීඩකයන් වෙත විසි කරනු ලබන මුදල් හේතුවූ බවත් ඔහු පෙන්වා දී ඇත.

බංගලි පර්යේෂණය

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටය තුළ ලද අන්ත පරාජය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

“අපි මේ පත්කරන්නේ කරුණු අනාවරණය කර ගැනීමේ කමිටුවක්. මෙවැනි දුර්වල ක්‍රීඩා රටාවක් අපි කිසිවිටකත් අපේක්ෂා කළේ නෑ. අපි ක්‍රීඩකයින්, කණ්ඩායම් කළමනාකාරිත්වය වගේම තරගාවලිය නියෝජනය කළ පාලක මණ්ඩල නිලධාරීන් මෙන්ම මාධ්‍යවේදීන් සමගත් කතා කිරීමට අපේක්ෂා කරනවා.” යැයි මෙම පරීක්ෂණය සිදු කරන කමිටුවේ සාමාජික ජලාල් යුනුස් පවසා ඇත.

 අනිල් වීරසිංහ

Comments