
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් ලෙස පසු ගිය අගහරුවාදා (09) දිනයේ දී කල එළි දුටු සිව් කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. විචිත්‍රවත් වූ කෙටි උත්සවයකින් අනතුරුව සමාරම්භය සටහන් වූ මෙම අවස්ථාවට මාලදිවයින ක්‍රීඩා අමාත්‍ය වරයා සහ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එක් ව සිටියේ ය.
ඒ අනුව මෙරට ක්‍රීඩා වාර්තා පිටු අතරේ ලියැවෙන පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය ලෙස "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන" සටන මෙරට ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් සටහන් වනු ඇත.
තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැතිණි. මෙම තරගය අපේක්ෂා කළ පරිදිම අතිශය තියුණු මුහුණුවරක් උසුලමින් ගෝල් 04 - 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූයේ මෙරට පාපන්දු රසිකයින් අමන්දානන්දයට පත් කරමිනි.
තරගයේ ප්‍රථම භාගය අවසන් වන විට ගෝල් 03 - 00 ක් ලෙස පෙරමුණේ පසු වන්නට මාලදිවයිනට හැකි වූ නමුත් දෙවැනි භාගය ආරම්භයේ පටන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වෙමින් විශිෂ්ට තරග නිමාවකට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා පිලට හැකිවීම එහිදී කැපී පෙනුණි.
තරගය ඇරඹී 07 වැනි මිනිත්තුවේ දී පළමූ ගෝලය ද 09 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය ද 33 වැනි මිනිත්තුවේ දී තෙවැනි ගෝලය ද 58 වැනි මිනිත්තුවේ දී සිව් වැනි ගෝලය ද වාර්තා කරමින් ගෝල් 04 - 00 ක් ලෙස පෙරමුණේ පසු වූ මාලදිවයින හඹාගොස් ලැබූ ජය අතිවිශිෂ්ට ජයග්‍රහණයකි. එය මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළම දක්ෂතාවයක් ලෙස හැදින්වීමේ වරදක් නොමැත.
දකුණු කොරියාවේ දී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරාගැනීමේ වටයේදී ලෙබනනයට එරෙහිව මනරම් ගෝල් 02 ක් රැස් කරමින් කැපී පෙනුණු ද්විත්ව පුරවැසි ලාභී මොහොමඩ් වසීම් රාසික් මෙදින ද ප්‍රේක්ෂක ආදරය උපරීමයෙන් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා කිරීමට සමත් වූයේ ය.
එහිදී මොහොමඩ් වසීම් රාසික් ගෝල රැස්කළේ තරගයේ දෙවැනි භාගයේ 64, 69, 73 සහ 91 යන මිනිත්තු වල දී ය. ජර්මනියේ දී ලත් පාපන්දු අත්දැකීම් උපරිමයෙන් ප්‍රදර්ශනය කරමින් වාර්තාගත ගෝල් රැස් කිරීමක නිරත වූ රාසික් පළමු දිනයේ ආරම්භක තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය.
කටාර් ජාතික විනිසුරු මොහොමඩ් අල්ෂමරී මහතාගේ නලා හඬට අනුව ක්‍රියාත්මක කෙරුණු මෙම තරගයේ දී අරම්භක ක්‍රීඩකයින් ලෙස සුජාන් පෙරේරා (නායක), ඩක්සන් පස්ලස්, චමෝද් ඩිල්ශාන්, චරිත රත්නායක, කවිදු ඉෂාන්, ඩිලන් සෙනන් ද සිල්වා, චලන චමීර, අහමඩ් වසීම් රාසික්, මොහොමඩ් ෆසාල්, මර්වින් හැමිල්ටන් සහ මොහොමඩ් අමාන් තරග බිමට අවතීර්ණ වූයේ ජයග්‍රහණයක පිපාසය සන්සිදුවා ගැනීමේ අරමුණ ඇතිව ය.
මේ අනුව පළමු තරගයේ විශිෂ්ට තරග නිමාව අගය කිරීමක් වශයෙන් ප්‍රසාද දීමනාවක් ප්‍රදානය කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබේ.
ඇමරිකානු ඩොලර් 30.000 ක් සමගින් "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන" දිනා ගැනීම අරමුණු කර ගනිමින් සීෂෙල්ස්, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතරේ මෙම තරගාවලිය ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරේ.
මෙම තරගාවලියේ දෙවන හමුව ලෙස බංග්ලාදේශය සහ සීෂෙල්ස් අතර තරගය බදාදා (10) දින පස්වරු 4.00 ට කොළඹ තුරඟ තරග පිටියේ දී ම ක්‍රියාත්මක වූ අතර එයද ගෝල් 01 - 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
මෙහි 05 වැනි තරගය සහ 06 වැනි තරගය අනිද්දා (16) දිනයේ පැවැත්වෙන අතර තීරණාත්මක අවසාන මහා තරගය ලබන සිකුරාදා (19) රාත්‍රි 07.00 ට පැරණි තුරඟ තරග පිටියේ දී ම පැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලන සභාපති ගියානී ඉන්ෆැන්ටිනෝ මහතා සහභාගී වීම ද විශේෂත්වයකි.
සපුමල් වීදිය බණ්ඩාර