පොලිස් සැර­යන් මැරුවා ද... මැරුණා ද මර­ණය තව­මත් අබි­ර­හ­සක් | Page 2 | සිළුමිණ

පොලිස් සැර­යන් මැරුවා ද... මැරුණා ද මර­ණය තව­මත් අබි­ර­හ­සක්

 

ම්පොල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය වසර ගණනාවක් තිස්සේ ජලය ලබා ගන්නේ රෝහල් පරිශ්‍රයේ පවත්නා ජල ටැංකියෙනි. අඩි 40 ක පමණ උසකින් යුත් එම ජල ටැංකියට නළ මගින් ජලය සැපයෙන අතර එහි ගබඩා වන ජලය පරිපාලන කාර්යාල සහ වාට්ටු ඇතුළු ස්ථානවලට නළ පද්ධතියක් ඔස්සේ යොමු කෙරෙයි. මෙම ජලයෙන් කිසියම් දුගඳක් හමන බව රෝහල් කාර්ය මණ්ඩලය පැමිණිලි කිරීමත් සමඟ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පසුගිය 29 දින ජල ටැංකිය පරීක්ෂා කළේ සතෙක් හෝ වැටී ඇද්දැයි බැලීමටය. අඩි 20 ක පමණ විශ්කම්භයකින් සමන්විත ජල ටැංකියට ඉහළින් ඇතුළු වීමට ඇත්තේ වර්ග අඩි හතරක පමණ කොටසකි. එම ස්ථානයෙන් රෝහල් සේවකයකු ඇතුළු වී බැලුවේය. දුටු දෙයින් ඔහුට ඉන්නා තැනත් අමතක වූවේය. ටැංකියේ මළ සිරුරක් පාවෙමින් තිබිණි.

වහාම රෝහල් බලධාරීන් විසින් සිද්ධිය ගම්පොළ පොලීසියට දැනුම් දුන්නේය. රෝහල් ජල ටැංකියට මළ සිරුරක් කොහෙන්ද යන්න කාටත් නැඟුණ ප්‍රශ්නයයි. දින ගණනාවක් තිස්සේ මෙම ජලය පානය කළ පිරිස් පත්වූවේ දැඩි අපහසුතාවකට ය. මළ සිරුරු සොයා ගත් දිනට හරියටම දින 51 කට පෙර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අතුරුදන්ව සිටියේය. වෘත්තියෙන් පොලිස් නිලධාරියකු වූ ඔහු නමින් සුප්පයියා ඉලන්කොවන් විය. කොත්මලේ පොලීසියට අනුයුක්තව පොලිස් සැරයන්වරයකු ලෙස සේවය කළ ඔහු පසුගිය සැප්තැම්බර් මස 08 දින පෙරවරු 6.00 ට රෝහලට ඇතුළත් කර තිබිණි. එදින පසුවරු 1.30 ට පමණ රෝහලින් අතුරුදන්වූ ඉලන්කොවන් පිළිබඳව කිසිදු තොරතුරක් ඒ වන තෙක්ම සොයා ගැනීමට නොහැකි වීම නිසා මේ මිය ගොස් සිටින්නේ ඔහුද යන ප්‍රශ්නය හැමෝ තුළම මතු විය.

මේ නිසාම පොලීසිය ඉලන්කොවන්ගේ පවුලේ අයට සිද්ධිය දැනුම් දීමට පියවර ගත්තේය.ඒ අනුව රෝහලට පැමිණි ඔහුගේ පුතු එස් .අභිමන් මියගොස් සිටින්නේ තම පියා බව ඇඳුම් පැලඳුම් වලින් හා ජංගම දුරතකනය මගින් හඳුනා ගත්තේය. මෙය සියදිවි නසා ගැනීමක් ලෙස තමන් කිසිසේත් විශ්වාස නොකරන බවත් මරණය පිළිබඳව බරපතළ සැකයක් පවතින බවත් ඔහු පොලීසියට පැවසුවේය

තාත්තා අවුරුදු 34 ක් පමණ පොලිසියේ රාජකාරී කරනවා. එයා ගොඩක් වෙලාවට වැඩ කළේ ප්‍රභූ ආරක්ෂක අංශයේ. මියගිය තොණ්ඩමන් ඇමැතිතුමාගේ ළඟ අවුරුදු 25 ක් විතරම රාජකාරි කළා. අන්තිමට වැඩ කළේ කොත්මලේ පොලිසියේ. පෙන්ෂන් යන්න මාස දෙකක් විතර තියෙද්දි තමයි තාත්තට කොවිඩ් හැදු‍ණේ. ඇන්ටිජන් පරීක්ෂාවකින් තාත්තට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබෙන බව හොයා ගත්තේ අගෝස්තු මාසේ 10 වැනිදා. වැඩි අමාරුවක් නොතිබුණ නිසා එයා ගෙදර වෙනම කාමරයක නිරෝධායනය වුණා. අගෝස්තු 30 වැනිදා වැඩට යන්න හැදුවත් ඇඟට අමාරුයි කියලා නතර වුණා.සැප්තැම්බර් මාසේ 08 වැනිදා පාන්දර තාත්තා පපුව කැක්කුමයි කිව්වා. අතකුයි කකුළකුයි හිරි වැටිලා වගේ කිව්ව නිසා අපි කෙළින්ම එයාව සුවසැරිය ගිලන් රථයකට කතා කරලා ගම්පොළ ශික්ෂණ රෝහලට අරන් ගියා. කලින් හාට් ඇටෑක් එකක් ඇවිත් තිබෙන නිසා තාත්තා සායන වලට යන්නේ ඒ රෝහලට. ඒ නිසා වෙන තැනකට නොයා එතන්ටම ගියා. ඒ වෙන කොට රට ලොක් ඩවුන් කරලා තිබ්බේ. උදේ 6.00 ට විතර රෝහලට ඇතුළු කළා. හදිසි ප්‍රතිකාර අංශයේදී පරීක්ෂණ කරලා සේලයින් එකකුත් දීලා තාත්තව 10 වාට්ටුවට අරන් ගියේ වීල් චෙයා එකකින්.

තාත්තට සීනි වැඩි වෙලා කියලා දොස්තර මහත්තයා කිව්වා. මම උදේ 10.30 වෙනකල් වාට්ටුවේ හිටියා. ලෙඩාට ඔක්සිජන් එහෙම දෙන්නේ නැති නිසා කවුරුවත් ළඟ ඉන්න ඕන නෑ කියලා වාට්ටුවෙන් කිව්ව නිසා මම ඇඳුම් අරන් එන්නත් එක්ක ආපහු ගෙදර ගියා.ආපහු දවල් 1.30 ට විතර රෝහලට එන්න පිටත් වුණා. අතරමඟදී රෝහලෙන් කෝල් එකක් ආවා තාත්තා වාට්ටුවේ නැහැ කියලා. මම ගිහින් ගම්පොළ ටවුමේ හැම තැනම බැලුවා එයා හිටියේ නැහැ. තාත්තා වාට්ටුවට රෝද පුටුවෙන් අරන් ගියේ. වතුර ටැංකිය තියෙන්නේ අඩි 40 ක් විතර උඩ. එයා කොහොමද තනියම එතන්ට ඇවිද ගෙන යන්නේ.තාත්තා අතුරුදන් වෙලා දවස 51 ක් වෙනවා. මිනිය කුණු වෙලාවත් නැහැ. මේ නිසා මට මරණය ගැන හරිම සැකයි...එස් .අභිමන් පවසයි.

පූඬළුඔය පදිංචි ඉලන්කොවන් 1966 වසරේ උපන්නෙකි. බිරිඳ එම්. පුෂ්පරානි වෘත්තියෙන් ගුරුවරියකි. ඔවුන්ට අවුරුදු 16,19 හා 24 වයසේ පසුවන පිරිමි දරුවන්ම තිදෙනෙකි. ඒ අතරින් වැඩිමලා අභිමන් ය. මිය ගිය ඉලන්කොවන්ගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සිව සුබ්‍රමනියම් විසිනි. එහිදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා විවෘත තීන්දුවක් ලබා දුන්නේ මළ සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කරමිනි.

මියගිය ඉලන්කොවන්ගේ ඥාති පුත්‍රයකු වන රත්නම් සුරේෂ් මෙසේ ප්‍රකාශ කළේය.

‘මාමා නැති වුණ දවසේ ඉඳලා අපි එයා යන එන තැන් හැමතැනම බැලුවා.කොළඹ ගිහින් දවස් ගණන් නතර වෙලා හෙව්වා. මාම වාට්ටුවේ නෑ කියලා කිව්වම අපි රෝහලේ සී.සී.ටී.වී රෙකොඩින් බලන්න මොන තරම් මහන්සි වුණාද? ඩිරෙක්ටර් නැහැ කියලා අපිට ඒක පෙන්නුවේ නැහැ. සෑහෙන පාරක් කිව්වට පස්සේ තමයි ඒක පෙන්නුවේ. මාමා රෝහලට එක්ක ගෙන එනවා පටිගත වෙලා තියෙනවා. රෝහලේ ප්‍රධාන ගේට්ටුවයි පිටි පස්සේ කොටසකුයි තමයි කැමරාවට අහු වෙන්නේ. වතුර ටැංකියට යන පැත්ත පේන්නේ නැහැ. මාමා ට ගෙදර ප්‍රශ්න මොනවත් තිබුණේ නැහැ. රස්සාව කරන තැනත් හැමෝ එක්කම හොඳින් හිටියා. ඒ නිසා අපිට මේ මරණය සැකයි. එයාට ජීවිතේ නැති කර ගන්න හේතුවක් තිබුණේ නැහැ.

කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක පැවසුවේ මෙවැන්නකි.

‘මිය ගිය සාජන් ඉලන්කොවන් නුවරඑළිය පොලිසියේ සේවය කරමින් ඉඳලා තමයි කොත්මලේට ආවේ. එයා කා සමඟත් සුහඳව රාජකාරී කළ නිලධාරියෙක්. කොවිඩ් හැඳුනට පස්සේ රෝහල් ගතකරන තෙක්ම එයා රාජකාරියට ආවේ නැහැ.

ජලයේ පැවැති මළ සිරුර නරක් නොවීම බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබේ. මළ සිරුරක් නරක් වීම සහ නරක් නොවීම සම්බන්ධව මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය,නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මෙසේ විස්තර කළේය.

‘මනුෂ්‍යයෙක් මැරෙනවා කියන්නේ එයාගේ ශ්වසනය හා හෘදය ස්පන්ධනය නතර වෙනවා කියන එකයි. මොළයේ ක්‍රියාකාරීත්වය ඇන හිටිනවා. ශරීර සෛල ජීව ක්‍රියාවලියේදී නිපදවන අප්‍රද්‍රව්‍යය හැම වෙලාවෙම රුධිරය මඟින් ඉවත් කරනවා. මරණයට පත්වූ පුද්ගලයකුගේ රුධිර ගමනය නතර වෙන නිසා සෛලවල ඇසිඩ් ගතිය වැඩි වෙනවා. ඒ අපද්‍රව්‍යය ඉවත් නොවී සෛල ඇතුළේ එකතු වන නිසයි. සෛල ඇතුළේ න්‍යෂ්ටියට අමතරව තවත් උපාංග තිබෙනවා. මේ පටල ඇතුළේ එන්සයිම තිබෙනවා. ඒ පටල දියවී එන්සයිම එළියට එනවා. ඒවා ජීර්ණය කරන එන්සයිම නිසා වටේ තිබෙන ප්‍රෝටීන් සියල්ල ජීර්ණය වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මළ සිරුර නරක් වෙනවා කියන්නේ. මෙයට අමතරව අපේ ශරීරයේ බැක්ටීරියා තිබෙනවා. විශේෂයෙන් බඩවැල්වල ගොඩක් බැක්ටීරියා ඉන්නවා. ඒවායින් එන්සයිම ශ්‍රාවය කරලා පටක දිරාපත් කරනවා. අමෝනියා, සල්ෆඩයොක්සයිඩ් වගේ වායු නිකුත් වීමත් එක්ක දුඟද හමන්න පටන් ගන්නවා. ඒත් එක්කම මැස්සෝ සිරුරට ඇදී එනවා. මැස්සෝ බිත්තර දානවා.ඒවායින් පණුවෝ හැදෙනවා. මේ ක්‍රියාකාරීත්වය ඉක්මන් වීම සහ පමා වීම පවතින පරිසර තත්ත්වය මත තීරණය වෙනවා. එකම වයසේ පුද්ගල මළ සිරුරක් මහනුවර, නුවරඑළියේ සහ යාපනයේ ස්වභාවික පරිසරයේ තිබ්බොත් ඒවා නරක් වෙන්න ගත වෙන කාලය වෙනස්. මොකද මේකට පරිසර උෂ්ණත්වය, සුළං තත්ත්වය, වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය බලපානවා. උෂ්ණත්වය වැඩි වුණොත් එන්සයිම හා බැක්ටිරියා ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. කාන්තාරයකදී පුද්ගලයෙක් මැරුණොත් ඒක නරක් නොවී කාලයක් තිබෙන්නේ ඒ නිසයි. දිය අගලක මළ සිරුරක් තිබුණොත් ඒක ඉක්මනින් නරක් වෙනවා.බැක්ටිරියා ගොඩක් තිබෙනවා. අනිත් එක මළ සිරුර සතුන් ආහාරයට ගත්තම සම තුවාල වෙනවා. ජල ටැංකියක මළ සිරුරක් තිබුණොත් තත්ත්වය වෙනස්. ජල ටැංකි වලට ක්ලෝරීන් දානවා. ඒ නිසා බැක්ටිරියා නැහැ. සීතල නිසා එන්සයිම මඟින් දිරාපත් වන එක අඩුයි. මේ නිසා කාලයක් මළ සිරුර නරක් නොවී තිබීමේ හැකියාවක් තිබෙනවා.බැක්ටිරියා මඟින් නිෂ්පාදනය කරන එන්සයිම නිසා ශරීරයේ තෙල් පටකය දිය වෙනවා. ඒ තෙල් සබන් වගේ ශරීරය මතුපිට බැදෙනවා. මේක නිසා ශරීරය ඔක්සිජන් සමඟ සිදුවන ගැටීම නතර වෙනවා‘

පොලිස් සැරයන් ඉලන්කොවන් ගේ දේහය ආදාහනය නොකර වළ දමනු ලැබුවේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව සොයා ගෙන නොමැති බැවිනි. රස පරීක්ෂක දෙපාර්තුමේන්තු මඟින් ලබා දෙන වාර්තා අනුව ඔහුගේ මරණය සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇත. කොවිඩ් ආසාදනය වූ පුද්ගලයන් තුළ ඇතැම් විට මානසික විකෘතිතා ඇති විය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. සියදිවි හානි කර ගැනීම සඳහා වන කිසිදු හේතුවක් ඔහුට නොමැති බව බිරිය හා දරුවෝ පවසති. කෙසේ වුවත් පොලිස් දෙපාර්තුමේන්තු නීතිරීති අනුව සියදිවි හානි කරගත් අයකුට විශ්‍රාම වැටුප අහිමිය. ඉලන්කොවන්ගේ මරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ලැබෙන තීරණය පවුලේ අයට ඔහුගේ විශ්‍රාම වැටුප හිමි වන්නේද නැද්ද යන්න තීරණය වීමට තරම් ප්‍රබල එකකි.

ඡායාරූප-ගම්පොළ සමූහ එස්.ඩී රාජනායක

 

Comments