සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ආරියරත්නයන්ට දැන් වසර 90යි
සර්වෝදය’ ගැන “විනාඩියක් පමණයි” නමින් කථික තරගයක් පැවැත් වූවොත් එහි තහනම් වචනය වන්නේ ‘ආරියරත්න’ ය. ඒ තරම් ම සර්වෝදයත් ආරියරත්නත් අවියෝජනීයව බැඳී ඇත. ආරියරත්න යනු සාමාන්‍ය මිනිසෙකි ;පුංචි මිනිසෙකි. ආශ්චර්යමත් මිනිසෙකි. කුඩා සිරුරකින් යුතු මේ මිනිසා පළමුකොට පරමාදර්ශී ගුරුවරයෙකි;සමාජ සේවකයෙකි; මානව හිතවාදියෙකි. මුළු ලොවම සිය ගම්මානය කොට ගත් ප්‍රජා නායකයෙකි.
1931 නොවැම්බර් 5 වැනිදා ගාල්ලේ උණවටුනේ දී උපන් අහංගමගේ ටියුඩර් ආරියරත්න ඉකුත් නොවැම්බර් 5 වැනිදා 90 වැනි ඡන්ම දිනය සැමරූ අතර ඔහුට දරුවන් 6 දෙනෙකි. මුනුපුරු මිනිබිරියන් 14කි.
තමා උපන් ගමේ සමාජසේවා කටයුතු කිරීමෙන් ලත් ආභාසය ඔස්සේ ආරියරත්නයන් මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ කාලයේ මුල්වරට සමාජසේවා සංගමයක් බිහි කිරීමට පුරෝගාමි විය. කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සිටියදී ‘නාලන්දා සමාජ සේවා සංගමය’ ඇති කිරීමට පුරෝගාමී වූයේද එහි දිගුවක් ලෙසිනි.
දිනක් ආරියරත්න තම හිත මිතුරකු වූ අබේසේකර සමඟ ඔහුගේ කුඩා ෆොක්ස්වගන් වෑන් රියේ නැඟී නැඟෙනහිර, ඌව පළාත්වල සැරිසරමින් නොදියුණු ජන කොට්ඨාස ජීවත් වන ගම් බැලීමටත් කුල භේදය නිසා කොන්ව සිටි රත්නපුර, කෑගල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කවල ගම්මානවලටත් ගියේය. එහිදී දුටු අත්දැකීම් නිසා ඔහු නාලන්දා සිසුන් කිහිපදෙනෙක් හා මිතුරන් තිදෙනකු සමඟ කනතොලුව නම් සැඩොල් ගම්මානයට ගොස් ශ්‍රමදානයක් පටන් ගත්තේ ය. මේ ගමනට නාලන්දයේ ගුරුවරයකු වූ ධර්ම ගුණසිංහගේ (පසුව නාලන්දා විදුහල්පති) ෆොක්ස්වගන් රිය ද පර්සි විජේසුන්දරගේ ෆෝඩ් කොන්සල් රිය හා සේනානායකගේ පර්ජෝ රථය ද යොදා ගත්හ. ඒ ගමන ගැන ආරියරත්න මෙසේ කීවේය.
“ මේ ශ්‍රමදානය ගැන ආරංචි වී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව චිත්‍රපටයකට ගෙන ප්‍රචාරය කළා. පුදුමයක්! ටික කලකින් 1964 දී පමණ ප්‍රදර්ශනය වූ ‘චණ්ඩාලී’ නමැති චිත්‍රපටයට කනතොලු ශ්‍රමදාන ව්‍යාපාරයේ මා පෙනී සිටි අවස්ථා අපට නොදන්වා රූප ගත කර තිබූ නිසා “ දැන් චිත්‍රපටවල රඟපාමින් මුදල් උපයනවා” යයි මට ඇණුම්බැණුම් අහන්නටත් සිදු වුණා. එදා මේ කඳවුරුවලට සහාය වූ නාලන්දා සිසුන් අතර පසුව මේජර් ජෙනරාල් වූ ආනන්ද වීරසේකාර (අද බුද්ධංගල ආනන්ද හිමි), ජී.ජී. තුරුසිංහ, සුනිල් වික්‍රමතුංගත් සිටියා.”
‘සර්වෝදය’ ගොඩනැංවීමට පදනම වැටුණේ නාලන්දා සමාජසේවා සංගමයෙනි. ආරියරත්නයන් කළ මේ සමාජ සේවා ව්‍යාපෘතියට නොමඟ ගිය දෙමවුපියන්ගෙන් ද ඊර්ෂ්‍යාකරයන්ගෙන් ද විරෝධතා එල්ලවන්නට විය. මේ ශ්‍රමදාන සංකල්පයට කොතරම් හතුරුකම් කළා ද යත් කුමන්ත්‍රණකරුවෝ ආරියරත්නයන් මැරීමට මරදානේ ගණන්කාරයා වූ ‘චොප්පෙ ’ට කොන්ත්‍රාත්තුවක් ලබා දුණි. මේ වන විට ශිෂ්‍ය වර්ජනයක් ද ක්‍රියාත්මක විය. ආරියරත්න ඊට මුහුණ දුන්නේ නිර්භීත අයුරිනි. චොප්පෙ ගේ ගෙදර යන පාර අසා ගත් ආරියරත්න හිතවත් මිතුරා ධර්ම ගුණසිංහගෙන් “පොඩි ගමනක් යන්න තියෙනවා. ධර්මෙ දැන්මම යමු ”දැ යි ඇසීය. ධර්මාගේ EL 9715 පොක්ස්වගන් රථය චොප්පෙ ගෙදර නතර වන විට ඔහු ද කලබල වී සිටියේය. චොප්පේ ගෙදර තවත් ගණන්කාරයකු වූ ‘මදාවි සෝමපාල’ ද ඔහුගේ සගයෝ ද ගංජා සුරුට්ටු උරමින් සිටියහ. එහි ගිය ආරියරත්න හා ධර්ම තමන් කවුදැයි නොකියා මෙසේ කියා ඇත.
“ආරියරත්නට බෝම්බ ගැසීම ගැන දැන ගන්න අපි ආවේ”
“සර්ලා සැක හිතන්න කාරණයක් නෑ. හෙට වැඩේ දෙන්න ඔක්කොම සෙට් කරලා ඉවරයි. පේනව නේද මගේ හමුදාව?”
“අයියා ඔය වැඩේට මේ තරම් හමුදාවක් ඕනෑ නෑ. මම ආරියරත්න. ඔක්කෝටම ඉස්සෙල්ලා මේ අහිංසක ගුණසිංහට ඉස්කෝලට යන්න දෙන්න. ඊට පස්සේ මාව ඉවරයක් කරලා දාන්න” ආරියරත්න චොප්පෙට කීවේය. නාලන්දාව වැනි උසස් විද්‍යාලයක වටිනාකම, ඕල්කට් තුමා වැනි උත්තමයන් ගැන ආරියරත්න කළ කතාව චොප්පෙ පමණක් නොව සෝපාල ඇතුළු ගෝල බාලයන් උනන්දුවෙන් අසා සිටියහ.
“සර් ආරියරත්න කිව්වාම අපි හිතුවේ මරුමුස්කාරයෙක් කියලා. බලපුවාම සර් නිකං පන්සලේ ඇබිත්තියෙක් වගෙ කොල්ලෙක් නෙ. සර්, චොප්පෙ මිනියක් මැරුවත් ප්‍රතිපත්තියක් අනුව කරන්නේ හිතට එකඟව. සර්ල වගෙ ගුරුවරු හම්බ නොවිච්ච එකෙනුයි අපි අද කාලකණ්ණි වැඩ කරන්නේ. සර්ල බය නැතිව යන්න. සර් වගෙ නිර්භීත මිනිහෙක් මට හම්බ වෙච්ච පළමුවෙනි අවස්ථාව” යැයි කියූ චොප්පේ, “හෙට වැඩේ කෑන්සල් අර කට්ටියට කියාපල්ලා” යයි කිසිවකුට කියනු ආරියරත්නට ඇසී ඇත. දවස් කීපයකට පසු චොප්පෙ මරදාන පාරේ අංක 493 දරන සිව් සිටි ස්ටෝර්ස් පිටුපස පිහිටි දෙල්ගහයට ගෙදරට ආවේය.
“එන්න ඇතුළට චොප්පෙ අයියා වාඩි වෙන්න”
“බැහැ සර්. අපි එළියේ ඉඳලා කතා කරමු. ඔය බුද්ධ රූප හෙම තියලා සුද්ද පවිත්තරේට තියෙන තැනට මම එන එක හරි නෑ. සර් දැන් කාටවත් බය වෙන්න එපා. කරදරයක් වුණොත් මට පණිවුඩයක් එවන්න”
මේ සිද්ධියෙන් පස්සේ ආරියරත්නගේ සතුරෝ නිහඬ විය.
ආරියරත්නයන් විසින් 2001 වසරේ ලියූ ‘භව තණ්හා’ කෘතියේ 491 වැනි පිටුවේ මෙසේ සඳහන්ව ඇත.
“නාලන්දයට පත් වී.ඩී.ජේ. එදිරිසිංහ, ගුණපාල වික්‍රමරත්න හා සුගුණදාස අතුකෝරාළ යන විදුහල්පතිවරුන් මගේ සුහදශීලී මිතුරෝ වූහ. නාලන්දාව සැබවින්ම පුනරුත්ථාපනය කළේ වික්‍රමරත්න විදුහල්පතිගේ ඍජු දැඩි පාලනය විසිනි. මේ දෙපළම මට ධෛර්යය සර්වෝදය කටයුතු සඳහා දුන්නෝ ය.”
නාලන්දයට ආයුබෝවන් කී ආරියරත්න මොරටුවේ මෙත් මැදුරේ සර්වෝදය ප්‍රධාන කාර්යාලය පිහිටුවා ආනන්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති එම්.ඩබ්ලිව්. කරුණානන්ද මහතා එහි සභාපති ධුරයට පත් කර ගත්තේය. ආරියරත්නගේ ප්‍රජා නායකත්වය ගැන සර්වෝදය හරහා ලෝකයම දැන සිටියහ. මරදානේ ආරියරත්නගේ දෙල්ගහයට ගෙදරට සන්ධ්‍යා වරුවේ විවිධ තරාතිරමේ පුද්ගලයෝ පැමිණියහ. මේ අතර මහාචාර්ය ආර්.පී. ජයවර්ධන, උපාලි සේනානායක ද වූහ. උපාලි යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතාගේ වැඩිමහල් සොහොයුරු ඇෆ්.ආර්. සේනානායක මහතාගේ පුත්‍රයෙකි. ඔහුගේ වැඩිමහල් සොහොයුරා ආර්.ජී. සේනානායක මහතා හිටපු අමාත්‍යවරයෙකි.
“මගේ කල්‍යාණ මිත්‍රයෙකු වූ උපාලි, කොළඹ නගරයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්, නිලධාරින් හා ලොකු පවුල්වල අයට - සර්වෝදය පිළිබඳවත් මා පිළිබඳවත් පණිවුඩය ගෙන ගියා. තමන්ගේ පන්තියේ අය ගැන සැහැල්ලුවෙන් කතා කරමින්, ශ්‍රී ලංකා සමාජය යා යුතු සැබෑ මඟ පෙන්වන, නියම මාර්ගෝපදේශකයා හැටියට උපාලි විසින් මා වර්ණා කරන්නේ අතිශයෝක්තියෙන්. එදා මගේ ජීවිතයේ අමතක නොවන දවසක්. උපාලිත් මහාචාර්ය ආර්.පී. ජයවර්ධනත් ලොකු සංවාදයක. මගේ බිරිඳ නීතා තේ රැගෙන සාලයට ආවා. මම ඉංග්‍රීසි සේවයේ ප්‍රවෘත්ති ඇසීමට සාලයේ තිබූ කුඩා ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියා කළා.
"Ceylon School Master wins The Magsaysay Award"
“ලංකාවේ ගුරුවරයෙක් මැග්සයිසයි ත්‍යාග දිනයි”
විදුලි සැරයක් වැදුණාක් මෙන් පුටුවෙන් ඉහළට විසි වූ උපාලි , "Ari, Its you - It's You"- (ආරි, ඒ ඔබ - ඒ ඔබ) යයි කියා පොඩි ළමයෙක් මෙන් මා වැලඳ ගත්තා.
“මොන පිස්සුද?” යැයි කී මම අන් අය සමඟ ප්‍රවෘත්ති විස්තරයට ඇහුම්කන් දෙන විටයි - ඇත්ත වශයෙන් ම, 1969 ප්‍රජා නායකත්වය සඳහා පිරි නැමෙන රැමන් මැග්සයිසයි ත්‍යාගය මට පිරිනමා ඇති බව මා විශ්වාස කළේ.”
ආරියරත්නයන් පැරණි සිද්ධියක් මතක් කළේය.
‘ඩේලි මිරර්’ පත්‍රයේ කර්තෘ රෙජී මයිකල් කතුවැකියෙන් වර්ණා කර තිබුණේ "A Man in Million" කියා ය. ඊට මසකට පසු ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක ප්‍රසිද්ධ Readers Digest සඟරාවේ 1971 ඔක්තෝබර් කලාපයෙනි. එමිලි හා ඕලා චුලෙයාර් යුවළගේ නමින් ලිපියක් "Ceylon's Pick - and - Shovel" ලියා තිබුණි. එහි ආරියරත්නයන් ප්‍රජාව අමතන ඡායාරූප ද පළකර තිබුණි. එහි උප ශීර්ෂය වූයේ Moving mountaina's is all in a day's work for Ari and his youthful ovlunteers. සර්වෝදය ශ්‍රමදාන සංගමය ලෝක ප්‍රකට විය. සර්වෝදය ජාත්‍යන්තර සංසදයක් වීමට පියවරෙන් පියවර ගමන් කළේය.
ආරියරත්න බලාපොරොත්තු නොවූ රැමන් මැග්සයිසයි ත්‍යාගය ලැබුණේ තරුණ වියේදීය. සම්මානය රැගෙන ලංකාවට පැමිණි පසු ආරියරත්න යුවළටත් සර්වෝදයේ නිලධාරි මණ්ඩලයටත් අරලියගහ මැදුරේ ප්‍රිය සම්භාෂණයක් සූදානම් කර තිබුණි. මේ උත්සවයේදී ආරියරත්නයන් තමාට ලැබුණු ත්‍යාගයේ මුදල් චැක්පත අගමැතිතුමාට භාර දුන්නේය. අගමැතිතුමා ඒ මොහොතේ ම එය සර්වෝදය සභාපති එම්.ඩබ්ලිව්. කරුණානන්ද ට බාර දුන්නේය. එදා ප්‍රිය සම්භාෂණයේදී අගමැති තුමා විසින් ආරියරත්නට කදිම උපදේශයක් දී ඇත.
“අපි දෙන්නම කවදා හරි මැරෙන්නේ බඩේ ලෙඩෙන් තමයි. හේතුව දන්නවා ද? මේ දේශපාලනය නිසා කවදාවත් අපට එකම වේලක්වත් වෙලාවට කන්න ලැබෙන්නේ නැහැ. ඒක සෞඛ්‍යයට හරිම නරකයි. ඔබට මම දෙන අවවාදය නම් ප්‍රධාන වේල් තුනෙන් එකක්වත් නියම වේලාවට කන්න පුරුදු වෙන්න ඕනෑ.”
අද වෙනතුරු ලෝකයේ කොහේ හිටියත් දිවා ආහාරය 12.30 ටත් 1.00 ටත් අතර ගැනීමට ආරියරත්නයන් අමතක නොකරයි.
“මගේ තාත්තාගේ නම අහංගමගේ නොහොත් කොම්මා හේවාගේ හෙන්ද්‍රික් ජිනදාස. තාත්තා ළඟට බාල නංගී සොපිනෝනා ජිනදාස. ඊළඟට නැන්දා නෝනහාමි ජිනදාස. තාත්තාගේ මල්ලි ඒ.ටී.සී. ජිනදාස. මුල් යුගයේ ප්‍රකට නවකතාකරුවකු වූ ඔහු ‘භද්‍රා සහ කුඩම්මා’, ‘තිලකා හෙවත් නිර්භීත බාලදක්ෂයා’ ආදි නවකතා ලිව්වා. කුමන හේතුවකින් මගේ උප්පැන්නේ ජිනදාස කොටස හැලිලා. මගේ අම්මාගේ ගම වැලිගම පැලෑනේ වුවත් කොළඹ හැදී වැඩුණු නිසා ‘කොළඹ ළමයා’, ‘කොළඹ අක්කා’ නමින් හඳුන්වනු ලැබුවා. මම පවුලේ තුන්වැනියා ලෙස ඉපිද තියෙන්නේ. මට වැඩිමලු අක්කා ඇසිලින් සුමිත්‍රා. දෙවෙනි අක්කා ලලනා චූලලතා. මම පවුලේ තුන්වැනියා. මල්ලී වීරමන්ට පසු බාලම නංගී අමරා කුලවති. මම මුලින්ම ඉගෙන ගත්තේ උණවටුනේ බෞද්ධ මිත්‍ර පාඨශාලාවේ. පසුව ගාල්ලේ බොනවිස්ටාවට ගියා. 1946 දී ගාල්ලේ මහින්ද විද්‍යාලයට ගියා. අපේ පන්තියේ සිටි ළමයින් අතර හිටපු ඇමති ඩී.එස්. ගුණසේකර මහතා පුත් වෛද්‍ය සනත් මහානාම ගුණසේකර, වෛද්‍ය උදයපාල ද සිල්වා, මහාචාර්ය ජේ.කේ.පී. ආරියරත්න, මහාචාර්ය ධර්මසේන ද සිල්වා, පොලිස් විද්‍යාලයේ අධිපති විමලසේන ද සිල්වා, පසු කලෙක ඇමතිවරයකු වූ රූපා කරුණාතිලක, සම්මානනීය නාට්‍ය ශිල්පයෙකු, පත්‍ර කතුවරයකු වූ ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර, අම්බලන්ගොඩ නගර සභාපති ජී.එම්. සුමනතිලක ද ආදින් ය. අපට ඉගැන්වූ පන්ති භාර ගුරුවරයා තරුණ ගුරුවරයෙක් වූයේ පසුව මහාචාර්යවරයකු වූ විනී විතාරණ මහතා.”
ආරියරත්නගේ පාසල් ජීවිතයේ දී කවියකු, විවාද කණ්ඩායමේ සාමාජිකයකු, ක්‍රිකට් ක්‍රීඩකයකු වී ඇත. නාලන්දා ක්‍රිකට් නායකව සිටි දක්ෂ ක්‍රීඩකයකු වූ ස්ටැන්ලි ජයසිංහ ලකුණු 111ක් රැස් කරද්දී, ඔහුගේ උඩ පන්දුවක් ඇල්ලූ මහින්දයේ ශිෂ්‍යයා ආරියරත්න ය.
“ඇත්ත වශයෙන් ම එය සිදු වූයේ ස්ටැන්ලිගේ වේගවත් පහරකින් මා වෙත ආ බෝලයෙන් මගේ මුහුණ මුවා කළ අතේ බෝලය රැඳීමයි.” ආරියරත්නයන් සිනාසෙමින් කීවේය.
ආරියරත්නයන්ට අනාගත බිරිය හමුවන්නේ 1958 වසරේ දී ය. එම වසරේ පැවැත්වූ මානව කඳවුරට නාලන්දේ ශිෂ්‍යයන් ඇතුළු පිරිස සහභාගි වූහ. වෙහෙසට පත් ආරියරත්නයන් මානව රෙදි විවීමේ මධ්‍යස්ථානයේ බිම පැදුරක නිදා සිටියේය. මේ කඳවුරට ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා හා තවත් විදේශික මිත්‍රයෙක් ද සහභාගි විය. ආරියරත්නයන් පසුදා උදේ හතරට සිහිනයක් දැක අවදි විය. වයසක කාන්තාවක් ගැහැනු ළමයින් දෙදෙනකු සමඟ කඳවුරට එනවා දුටු ආරියරත්න ඉන් එක් කෙනෙකුගේ අතින් අල්ලා ගෙන කුරුල්ලකු මෙන් ඉගිළී යනවා ඔහු දුටු සිහිනයයි. ඔහු පසු දා කඳවුරු භූමියට නොගිය අතර මිත්‍රයෝ ඒ ගැන විමසූහ.
“අද මා විවාහවන්නට යන සහකාරිය තෝරා ගන්නට තිබෙනවා.”
“ගුඩ් ලක්” මිතුරෝ සුබ පැතූහ.
ඔසරියකින් සැරසුණු වයසක කාන්තාවකුත් ගවුම් හැඳ ගත් ගැහැනු ළමයින් දෙදෙනකුත් ආරියරත්නයන් සිටින කඳවුරු කාර්යාලයට ආහ.
“අර එන්නේ මා විවාහ වන ගැහැනු ළමයා ” ආරියරත්නයන් ළඟ සිටි කටුගම්පොල මිතුරාට කීවේය.
ගැහැනු ළමයින් දෙදෙනා වූ නීතා හා චිත්‍රා අක්ක නගෝ ය. මේ දෙදෙනා කැඳවා ගෙන අා තෙන්නකෝන් මැතිනිය ආරියරත්නට හඳුන්වා දී ඇත්තේ “මේ ඔයා පත්තරේට ලියන ලිපි කියවලා එකතු කරන දෙන්නෙක් ”කියාය.
“නංගිගේ නම මොකක් ද?” ආරියරත්න ඇසුවේය.
“නීතා ධම්මචාරි”
“ධම්මචාරි. ධම්මි. කොච්චර හැඩ නමක් ද? කොහේද ඉගෙන ගන්නේ.”
“මියුසියස් විද්‍යාලයේ කොළඹ”
“සමාජ සේවේ කරන්ටත් ඉගෙන ගන්න ඕනෑ”
“ඇයි මම ගර්ල් ගයිඩ් කෙනෙක්නේ. රේන්ජර් කෙනෙක්. ඉතිරි හරිය ආරියරත්න මහත්තයාගෙන් ඉගෙන ගන්න බැරිය. මට කොහොම හරි ශ්‍රමදාන ව්‍යාපාරයට බැඳෙන්න ඕනෑ. අනේ මාව බාර ගන්නවද?” ඇය ඇසුවාය. එය කර්මානුරූප හමුවීමක් වූවාක් මෙන් ආරියරත්නට නීතා පිළිබඳ සිතක් ඇති විය. එයට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු අතර 1960 ජූලි 25 සිදුවූ ඔවුන්ගේ විවාහය සිදු විය.
“විවාහ වන දින මම සුදු සරමක් හා බැනියමක් ඇඳ නාලන්දයට ගියා. එදා පස්වරු 1.20 තුරු පාසලේ සේවය කොට මම ටැක්සියක් ගෙන වහාම ගෙදර ගියා. දිවා ආහාරය ගෙන ටැක්සියකින් බොරැල්ලේ තරුණ බෞද්ධ ශාලාවට ගියා. නාලන්දයේ හිටපු විදුහල්පති එම්.ඩබ්ලිව්. කරුණානන්ද හා ස්ටැන්ලි ප්‍රනාන්දු විවාහයට අත්සන් තැබුවා. එතැන සිට බම්බලපිටියේ වජිරාරාමයට ගොස් මල් පහන් පුදා අති පූජ්‍ය මඩිහේ මහ නා හිමියන්, නාරද හිමියන් ආශිර්වාදය ලබා ගත් අපිට වියදම් වූයේ රුපියල් හතක් පමණයි. විවාහය ලියාපදිංචි කළ කාරියවසම් රාළහාමි මගෙන් මුදල් ගත්තේ නෑ. මගේ කිට්ටුම මිතුරෝ බේක් හවුසියෙන් රු. 42 කට පැටිස්, කට්ලස් හා අතුරුපස ගෙනවිත් තිබුණා. කරුණානන්ද, ධර්ම ගුණසිංහ, කර්නල් අබේකෝන්, බාලසූරිය ස්ටැන්ලි, වීරේ මල්ලි මෙන්ම චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා හා චිත්‍රපට නළු ආතර් වැන්ලැන්බර්ග් උත්සවට සහභාගි වුණා. රු. 50කින් අපේ සරල විවාහයේ වියදම් පියවා ගැනීමට හැකි වුණා. ”
ආරියරත්න යුවළට දරුවන් හය දෙනෙකි. චාරිකා වෛද්‍යවරියකි. ඇය විවාහ වී සිටින්නේ ප්‍රසව හා නාරිදේහ විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහ සමඟ ය. වින්‍යා වෛද්‍යවරයෙකි. ඔහු සර්වෝදයේ සභාපතිවරයා ද වෙයි. ජීවන් ගුවන් නියමුවෙකි. ඊළඟට සදීවා ය. දියත් තොරතුරු තාක්ෂණයේ විශේෂඥයෙකි. ඊළඟට නිම්නා ය.
“මම දැන් සියල්ල අත්හළ කෙනෙක්. කිසිම දේකට මගේ ඇලීමක් නෑ. මම වයස 90 පසු කළා. මගේ මරණයෙන් පසු ජීවත් වන්නවුන් තුළ ‘මා ’ගැන මතකය නොමරා පවත්වා ගැනීමට තිබෙන ආශාව නිසා මම වසර 44 වියේදී ‘භව තණ්හා’ කෘති පෙළ ලියන්න පටන් ගත්තා. දැන් මගේ යැයි කිවහැකි කාලයක් මට නැහැ. කවදා එය ලැබේවිද? මම දන්නේ නැහැ. සමහරවිට මැරෙන තුරුම මට ම වෙන් වූ මට ම ඕනෑ දෙයක් කළ හැකි කාලයක් මට නොලැබෙන්නට පුළුවන්. ”ආචාර්ය ආරියරත්නයන් අද කියන්නේ 44 වැනි වියේ පළ කළ අදහසද?