රටක සාමය සහ සමෘද්ධියට ජාතින් අතර සහජීවනය අත්‍යවශ්‍ය සාධකයකි. මේ කියන්නට යන්නේ සංහිඳියාව යන වදන පවා හරියට නුහුරු, දරිද්‍රතාවය අතින් පත්ලේ සිටින ජන සමාජයක් සාමය, සංහිඳියාව පිළිබඳව ප්‍රායෝගිකව පෙන්නුම් කරමින් බිම් මට්ටමින් මතු කරන සැබෑ ආදර්ශයක් ගැනය.
ඒ ආදර්ශය අපූරු ගම්මානය මහයියාව යි. මහනුවර නගරයට ආසන්නයේම පිහිටි කුඩා ගම්මානයක් වන මහයියාවේ පුර්ණවත්ත නැඟෙනහිර හා බටහිර ලෙස වෙන්වූ ග්‍රාමසේවා වසම් දෙකකි. මේ කතාවට විෂය වන්නේ එම පුර්ණවත්ත බටහිර ග්‍රාමසේවා වසමයි. පුර්ණවත්ත පරිපාලනමය පහසුවට MC ( Municipal Council) - නගරසභාව සහ MT (Model Tenement) - ආදර්ශ නිවාස වශයෙන් කලාප දෙකකි. මෙම නිවාසවල පාලනය හා අයිතිය මහනුවර මහනගර සභාව යටතේ පවතී.
MC කලාපයේ බහුතර වැසියන් දමිළ වන අතර MT කලාපයේ බහුතරය මුස්ලිම් ය. කලාප දෙකෙහිම වපසරිය අක්කර 4.7 කි.
මහයියාවේ ඉතිහාසය 1827 දක්වා අතීතයට දිවෙයි. එදවස බ්‍රිතාන්‍ය පාලනය යටතේ නගර පවිත්‍රතාකරුවන් වෙනුවෙන් නිර්මාණය කළ නිවාස 240 ක ජීවත් වූ ජනතාව 2020 වනවිට නිවාස 1300ක පවුල් 1509 ක් දක්වා වර්ධනය වී ඇත. නිවාස නොමැති පවුල් ගණන 125 ක් වන අතර, ඡන්දයට ලියාපදිංචි නොවූ, එකම ලිපිනය යටතේ ජිවත්වන අනු පවුල් සංඛ්‍යාව 331 කි. අඩි 8ක් දිග අඩි 5ක් පළල නිෙවසක සාමාන්‍යයෙන් සාමාජිකයන් 5දෙනකු පමණ ජීවත් වෙති.
මහයියාවේ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පිරිස 325කි. මෙහි වැඩි කොටසක් මහනුවර මහනගර සභාවේ කම්කරුවෝය. පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු සංඛ්‍යාව 317 කි. විශ්‍රාම වැටුප්ලාභීන් 314කි. මොවුන් ද නගරසභා සේවයෙන් විශ්‍රාම ලැබූ පුද්ගලයන් ය. විදේශ රැකියා සඳහා යොමුවූ පිරිස 422 කි. වැඩිහිටි දීමනාලාභීන් 41ක්ද , ආබාධිත දීමනාලාභීන් 3ක් වන අතර නවතම් සමීක්ෂණ වාර්තා අනුව වසමේ මුළු ආබාධිත පුද්ගලයන් ගණන 18කි.
නිවාස ප්‍රශ්න, සනීපාරක්ෂක පහසුකම් ගැටලු, මවුවරුන් විදේශගත වීම්, දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වසම තුළ ඇති ප්‍රධාන ගැටලු ලෙස හඳුනා ගත හැකිය.
මහනුවර නගරය පිරිසුදුව තබාගැනීමට දහදිය හෙළන මේ මිනිසුන්ගේ යටිතල පහසුකම් දෙස බැලූ විට පොදු වැසිකිළි හා ස්නානාගාර ස්ථාන කිසිසේත් සතුටුදායක මට්ටමක නොපවතී. වැසි සමයේදී උතුරායන අපජලය සීමිත ඉඩකඩ ඇති ගෙබිම් මතින් ගලා යයි. ඔවුන් පවසන පරිදි නගරය පවිත්‍ර කරන ඔවුන්ගේ කුඩා නිවෙස් පිරිසුදුව තබා ගන්නට උදවු කිරීමට මේ වනතුරු වගකිවයුතු කිසිවකු සමත් වී නැත.
''අපි ඉපදුණේ හැදුණේ මහයියාවේමයි. වැස්ස කාලෙට මෙහේ වැසිකිළි වළවල් උතුරලා මේ පුංචි ගෙවල් ඇතුළේ ගලාගෙන යනවා.ඒ දවස්වලට නම් මේක අමු අපායක්''
එහෙත් මේ ගම්මානය සොඳුරු වී ඇත්තේ බහු ආගමික හා සංස්කෘතික සුන්දරත්වය නිසාය. බහු ආගමික පරිසරයක ජීවත්වන මේ ප්‍රජාව අන්‍යෝන්‍ය සුහදතාවයෙන් හා උද්යෝගයෙන් තම දෛනික කටයුතුවල නියැළී සිටිති. වෙසක්, හජ්ජි, නත්තල, අවුරුදු , දීපවාලි,මහාශිව රාත්‍රී ,තෛපොංගල්, පොසොන්, රාමසාන් ආදී සියලුම බහුසංස්කෘතික උත්සව ඔවුහු පොදුවේ සමරති. ඔවුන්ට අනුව ඒවා එකිනෙකාගේ ආගමික හා සංස්කෘතික කටයුතුවලට හැකි ආකාරයෙන් සහාය වීමකි. මේ සංහිඳියාවේ සහ සහජීවනයේ පදනම් පිළිබඳව විග්‍රහ කරන්නට තරම් අවබෝධයක් ඔවුන්ට නැත. ඔවුන්ට තේරෙන සරල, අව්‍යාජ භාෂාවෙන් ඊට හේතුව ‘කුඩා කල සිට එකට අධ්‍යාපනය ලැබීමය.’
“අපි ඉස්කෝලෙ ගියේ එකට, සෙල්ලම් කළේ එකට, පුංචි කාලේ ඉඳලම අපි හැමෝම හැමදේකදීම එකට හිටියා” ඔවුන්ගේ සංහිඳියා ආදර්ශය පිළිබඳව වැඩිදුර තොරතුරු විමසූවිට MC නිවැසියකු වන එම්. ප්‍රභූ කීවේ එලෙසිනි.
සෑම පොදු අරමුණකදීම හා ගැටලුවකදීම එකට එක්වී වැඩ කිරීම, සාකච්ඡාකර තීරණ ගැනීම මොවුන් සතු උසස් ගුණාංගයකි. බාහිරින් පැමිණෙන ප්‍රශ්න හෝ දේශපාලන අතපෙවීම්වලින් නොබෙදී සිටීම ද ඔවුන් තුළ ඇති තවත් විශේෂත්වයකි.
”මවුලවිතුමා, ස්වාමින්වහන්සේ , ස්වාමිතුමා හා පියතුමා…මේ හැමෝම අපිට උදවු කරනවා”
MT පදිංචිකරුවකු වන ජේ. ඩී. ඉහළගේ කීවේය.
ඔවුන් අතර සිදුවන බහු ආගමික විවාහ ද මේ බැඳීම් වර්ධනයට බලපෑ ප්‍රධාන සාධකයක් බව පෙනේ. පරම්පරා ගණනාවක් එකට ජීවත් වීමෙන් ඔවුන් එකිනෙකා එකම දාමයක පුරුක් බවට පත්ව ඇත. මොවුන් සතු මේ සහජීවනය එක රැයකින් ගොඩනැඟුණු දෙයක් නොවන බව නම් පැහැදිලි ය. නැතිවූ දෙයක් ඇතිවූයේ නම් ඇතිවූ මොහොත කියන්නට හැකි නමුත් ඇතිවී ඇති දේ ඇතිවූයේ කෙසේද කියා කීම උගහට බව මහයියාවේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරකු වන මනිවානන්බාබු පැවසුවේය.
''අපේ ගමේ දෙමළ, සිංහල, මුස්ලිම් හැටියට ජාතීන් තුනම සමගියෙන් ජිවත් වෙනවා..දෙමළ අය අතර ක්‍රිස්තියානි අයත් හින්දු අයත් දෙගොලෝම ඉන්නවා.ජාති භේදයක් නැතුව අපේ අය විවාහවෙලත් ඉන්නවා. ඒ බැඳීම නිසා අපි අතරේ ප්‍රශ්න නෑ. මොන උත්සවයටත් අපි එකා වගේ සමගියෙන් ඉන්නවා”
මේ ආදර්ශමත් මිනිසුන්ගේ අලුත් පරම්පරාව තුළ නීතිවේදීන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්, ගුරුවරුන්, හමුදා සේවාවල නිරතවූවන්, විදුහල්පතිවරුන් සේම තවදුරටත් නගර පවිත්‍රකරණයේ ම යෙදී සිටින්නන් ද සිටිති. මේ වනවිට ඇතැමුන් නගරයේ වෙනත් ස්ථානවල පදිංචියට ගොස් ඇතත් ඔවුන්ගේ මවුපියන් සහෝදර සහෝදරියන් තවමත් ජීවත් වන්නේ මේ සුපුරුදු ජනාවාසයේමය.
“ MC වත්තෙන් බැහැර පදිංචි වුවත් රෝහලේදී, උසාවියේදී, පාසලේදී ඔවුන් අපිව දැක්කම උදවු කරනවා” යැයි කීවේ R. මහේෂ්වරී ය. ජන සමාජයක් ලෙස ජීවත්වීමේදී ඇතිවන්නා වූ විවිධාකාර ගැටලු ඔවුන්ට ද අදාළය. එහෙත් ඒ අර්බුද කිසිවක් තම ජනාවාසයෙන් එපිටට රැගෙන නොයෑම ඔවුන්ගේ ක්‍රමවේදයයි. මොවුන්ගෙන් බහුතරයකගේ බස දමිළ ය. එහෙත් ඔවුහු සිංහල බස ද හොඳින් හසුරවති. ඒ නිසා අදහස් හුවමාරු කරගැනීමේදී මතුවන ගැටලු අවමය.
සියලු දුක් කම්කටොලු සිනහවෙන් මුදාහරින ඔවුන්ට අනාගතය ගැන අනියත බියක් නැත. ඔවුහු වර්තමානය තුළ සතුටින් ජීවත් වෙමින් සිටිති. ඒ සතුට ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන් සතු ධෛර්යමත් දෑත්, තීක්ෂණ නෙත් සහ දයාර්ද්‍ර හිත් නිසා බව කීමට සහතික අවැසි නැත.
රුවන් මීගම්මන, මහනුවර