
'හිච්චි කොල්ලන්ගේ ක්‍රීඩාවක්, ප්‍රවේගයේ ක්‍රීඩා ඉරියව්වක් ලෙස සැලකෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ දී දඟ පාන ක්‍රීඩකයන් අතර අවුරුදු තිහෙන් ඉහළ අය කීපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරේ හතළිහෙන් ඉහළ අයත් ඉන්නවා කිව්වම මොක ද හිතන්නේ?'
මැදපෙරදිග ගල්ෆ් කලාපයේ පැවැත්වෙන හත්වැනි පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දැන් අවසන් අදියර කරා සෙමින් සෙමින් ගමන් ගනිමින් තිබෙනවා. මෙම තරගාවලියට කල් ඇතිවම සුදුසුකම් ලබා සිටියේ ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් යන රාජ්‍යයන් අටයි. සෙසු කණ්ඩායම් හතර තෝරාගන්න පළමු වටයේ තරගාවලියක් පැවැත්වුණා. ඒක දැන් අලුත් දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාව හා බංග්ලාදේශයට ඊට ඇතුළත්වීම සඳහා ඕමානය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, නැමීබියාව හා පැපුවා නිව්ගිනියා යන කණ්ඩායම් සමග සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියකට සහභාගී වුණු බවත් ප්‍රසිද්ධ කාරණයක්.
ඒ අනුව කණ්ඩායම් 16 ක සහභාගීත්වය ඇතිව ඇරඹුණු මෙම තරගාවලිය මේ වන විට සුපිරි වටයේ දී කණ්ඩායම් 12ක ට සීමාවුණා.
මෙවර තරගාවලියට සහභාගී වන කණ්ඩායම් දෙස විමසිලිමවත්ව බලන විට ජය ගත හැකි කණ්ඩායමක් කලින් නම් කළ නොහැකි වීම සුවිශේෂත්වයක් තරගාවලිය ආරම්භයේම දක්නට ලැබුණු දෙයක්. මෙලෙස තරගාවලියට සහභාගිවන කණ්ඩායම් බොහොමයක්ම තරුණ ක්‍රීඩකයින් කෙරෙහි විශ්වාසය තබා තිබුණා. ඒත් කණ්ඩායම් 9 ක ට ම අවම වශයෙන් එක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු හෝ ඇතුළත්ව සිටින බව ද අමතක කරන්න බෑ.
අප මෙහි දී අවුරුදු 35 ඉක්ම වූවන් ජ්‍යෙෂ්ඨයින් ලෙස සලකන විට මෙම පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගණන 15 ක්. ඒ අනුව තරුණ ක්‍රීඩකයින්ගෙන්ම පමණක් සමන්විත කණ්ඩායම් බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නවසීලන්තය, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා පැපුවා නිව්ගිනියා යන කණ්ඩායම් 7 පමණයි.
ඉතිරි කණ්ඩායම් නවයටම එනම් බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, නෙදර්ලන්තය, අයර්ලන්තය, ඕමානය හා ස්කොට්ලන්තය යන රටවලට අවම වශයෙන් එක් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු හෝ ඇතුළත් කර තිබෙනවා.
ඒ අතරින් වැඩිම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පිරිසක් ඇතුළත් වී සිටින්නේ කොදෙව් පිලට. මෙවර තරගාවලියට සහභාගී වන ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් දැන් 42 වැනි විය ද ඉක්මවා ගිය ක්‍රීඩකයෙක්. ඔහුට අමතරව ඩ්වේන් බ්‍රාවෝ (38), රවි රම්පෝල් (37) කොදෙව් පිලේ සිටින සෙසු ජ්‍යෙෂ්ඨයින්.
මෙතැනදී කොදෙව් බලධාරීන් පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩාවේ දී ක්‍රිස් ගේල් අමතක කරන්නට දක්වන්නේ මැලිකමක්. ඊට සාධාරණ හේතු නැතුවා නොවෙයි. පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසය තුළ ගේල් තබා ඇති වාර්තා ඊට හේතු වෙනවා.
තරග 28 ක දී ලකුණු 928 ක් රැස් කර විස්සයි විස්සේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර ඔහු ඉන්නේ දෙවැනි තැන යි.
ලෝක කුසලාන ශතක දෙකක් හා අර්ධ ශතක 9 ක් ලබාගෙන ඇති ගේල් 2007 වසරේ පළමු ශතකය වාර්තා කර ඇත්තේ පන්දු 57 ක දී යි. දෙවැනි ශතකය 2016 තරගාවලියේ දී රැස්කර තිබෙනවා. එ් පන්දු 48 ක දී.
ලෝක කුසලාන හයේ පහර 60 ක ට හිමිකම් කියන ඔහු ඉන් 11 ක් ම වාර්තා කර ඇත්තේ එක ඉනිමක දී. තරගාවලි ඉතිහාසය තුළ වැඩිම අවස්ථා ගණනක දී තරගයේ වීරයා සම්මානය හිමි කරගෙන ඇත්තේ ද ගේල්මයි. එම සංඛ්‍යාව පහක්.
මීළඟට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ගේ සේවය ලබා ගැනීමට උනන්දු වූ රටක් ලෙස පාකිස්තානය හැඳින්විය හැකියි. ඔවුන් ද ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හතළිස් එක් හැවිරිදි මොහොමඩ් හෆීස් ඉන් එක් අයෙක්. අනෙකා හතළිස් හැවිරිදි ෂොයිබ් මලික්. ඇත්ත වශයෙන්ම මේ දෙදෙනා ද පන්දුවාර 20 ක්‍රීඩාවේ දී තවමත් පාකිස්තානුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින ක්‍රීඩකයින් යැයි කිවහැකියි.
හෆීස් විස්සයි 20 ක්‍රිකට් තරග 113 ක අත්දැකීම් සහිතයි. ඔහු එහිදී ලකුණු 242 ක් රැස් කොට කඩුලු 60 ක් ද දවා ගෙන තිබෙනවා. ෂොයිබ් මලික් සහභාගී වී ඇති තරග සංඛ්‍යාව 116 ක්. එහිදී ඔහු ලකුණු 2335 ක් රැස්කර තිබෙන්නේ කඩුලු 28 ක් ද දවාගනිමිනුයි.
ඒ හැරුණු විට ඔස්ට්‍රේලියානු පිලට එක්ව සිටින ඩැනියල් ක්‍රිස්ටියන් ද ජ්‍යෙෂ්ඨයකු වශයෙන් සිහිපත් කළ යුතුම ක්‍රීඩකයෙක්. දැනට 38 වැනි වියේ පසුවන ඔහු වේගපන්දු යවන්නෙකු ලෙසත් පසුපෙළ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ලෙසත් කැපී පෙනෙනවා.
ඉහතින් සඳහන් කළ ක්‍රීඩකයින්ට අමතරව නැමීබියාවේ ඩේවිඩ් වයිස් (36), නෙදර්ලන්තයේ ස්ටීවන් මයිඩර්ග් (37), හා රයන් ටෙන් ඩොස්ට්චේ (41), ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නාබි (36), අයර්ලන්තයේ කෙවින් ඕ බ්‍රයන් (37), ස්කොට්ලන්තයේ කයිල් කෝස්ටර් (37), ඔමානයේ මොහොමඩ් නදීම් (39) හා නෂිම් කුෂී (39) ආදීන්ද මෙවර තරගාවලියට එක්ව සිටින ජ්‍යෙෂ්ඨයින් ලෙස දැක්විය හැකියි.
කොහොම වුණත් වයසට යෑම පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩාවේදී කිසියම් බලපෑමක් ඇති කරන්නක් වුවද ඒ අභියෝගය ද සාර්ථකව ජයගත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබඳව මෙහිදී සිහිපත් නොකළහොත් එය අඩුවක් විය හැකිය.
අවුරුදු 40 ඉක්ම වූ පසුවද අන්තර් ජාතික වශයෙන් පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩාවේ දස්කම් පෑ ක්‍රීඩකයින් අතර විශේෂිතයා වන්නේ ඔස්ට්‍රේලියාව නියෝජනය කළ වමතින් දඟ පන්දු යවන බ්‍රෑඩ් හොග්.
ඔහු සිය පළමු පන්දුවාර 20 අන්තර් ජාතික තරගයට සහභාගී වී ඇත්තේ ද 35 වැනි උපන් දිනයෙන් සති දෙකකට පසුව එනම් 2006 වසරේ දී යි. 2014 වසරේ පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ඇත්තේ පාකිස්තානය සමග පැවැති තරගයකින්. ඒ වන විට ඔහු පසුවූයේ 42 හැවිරිදි වියේයි.
හතළිහ පැන්න පසු විස්සයි විස්ස ක්‍රීඩා කළ තවත් ක්‍රීඩකයෙක් ලෙස දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහීර්, පාකිස්තානයේ මිෂ්බා උල්හක්, ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය මෙන්ම මුත්තයියා මුරලිදරන් ද අමතක කළ නොහැකියි.
ඉන් පෙනී යන්නේ රටකට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වටින්නේ යම් ලෙසකින්ද එපමණකින්ම පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩාවලට ජ්‍යෙෂ්ඨයින් වටිනා බව යි.
සීවලී එදිරිවීර