විස්සේ ඇඳුම් ගැන ඇසෙන නැවුම් කතන්දර | Page 2 | සිළුමිණ

විස්සේ ඇඳුම් ගැන ඇසෙන නැවුම් කතන්දර

 

'විස්සයි විස්ස ගැන කතා කෝටියකි. ඇතැම් විට ඒ්වා කියා නිම කරන්නට බැරි තරම් ය. ඇතැම් කතා තරගාවලියෙන් පසුවත් කිවිය හැකි ය. තරගාවලිය ඇරඹී දින කීපයක් ගිය ද ඇතැම් කතා යළි ලියා දක්වන්නේ ඒවා එතරම් රසවත් වන හෙයිනි. මේ එවැනි කතාවකි.'

 

ජාත්‍යන්තර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන එක් එක් කණ්ඩා-යම්හි ක්‍රීඩකයන් වෙනුවෙන් ඒ ඒ රටවල ක්‍රිකට් බලධාරීන් විසින් වෙනස්ම අන්දමේ විසිතුරු නිල

ඇඳුම් කට්ටල නිර්මාණය කර ඇත. ඒ්වායේ අපූර්වත්වය කොතරම් ද යන්න සැවොම සියැසින් දකිමින් සිටින හෙයින් ඒ් පිළිබඳ යළි කතා කිරීමට අවශ්‍ය නැත. කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියක් වෙනුවෙන් එක් එක් රටවල් විසින් තම ක්‍රීඩකයන් උදෙසා නිල ඇඳුම් නිර්මාණය කිරීම සාමාන්‍ය දෙයක් වුව ද ඒ අතර, ඇතැම් කණ්ඩා-යම් සඳහා මෙවර නිර්මාණය කරන ලද ඇඳුම් කිහිපයක් විවිධ හේතූන් නිසා කැපී පෙනීම සුවිශේෂී කරුණක් විය.

 

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ඇඳුම

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ නිල ඇඳුම සකසා ඇත්තේ ඉවත ලන ප්ලාස්ටික් උපයෝගී කර ගෙන ය. මෙරට මුහුදු වෙරළ තීරයෙන් සොයාගත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමෙන් සකසා ගත් අමුද්‍රව්‍යවලින් මෙම නිල ඇඳුම නිමවා ඇත. ඊට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ද ලැබී තිබේ.

 

ස්කොට්ලන්තයට ඇන්දුවේ දොළොස් වියැති දැරියක්

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ස්කොට්ලන්ත කණ්ඩායමේ නිල ඇඳුම නිර්මාණය

කර තිබෙන්නේ 12 හැවිරිදි පාසල් සිසුවියක් විසිනි. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තම ජාතික කණ්ඩායමට නිල ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියක් පවත්වා තිබූ අතර, එ් සඳහා එරට පාසල් සිසු සිසුවියන්ට ද අවස්ථාව හිමි ව තිබුණේ ය. ඊට ඉදිරිපත් වූ පාසල් සිසු සිසුවියන් 200 ක් අතුරින් 12 හැවිරිදි රෙබෙකා ඩවුනිගේ ඇඳුම් නිර්මා-ණයට එහි ජයග්‍රහණය හිමි ව තිබිණි. ඇයගේ නිර්මාණ සැලසුමට අනුව ස්කොට්ලන්ත නිල ඇඳුම නිර්මාණය කර තිබේ. ඊට ස්කොට්ලන්තයේ ජාතික පුෂ්පය වන Thistle පුෂ්පයේ වර්ණය යොදාගෙන තිබීම විශේෂත්වයකි.

 

ලොව උසම ගොඩනැඟිල්ලේ එළිදැක්වූ ඉන්දීය ඇඳුම

මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියන් ඕමානය සහ ඩුබායි රාජ්‍යයන් කේන්ද්‍ර කර ගෙන පැවැත්වුණත් එහි සත්කාර-කත්වය දක්වන්නේ ඉන්දියාව ය. මෙවර ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව නව නිල ඇඳුමක් නිර්මාණය කර තිබූ අතර, එය එළිදැක්වීම අපූර්ව ආකාරයට සිදු කරන්නට ඔවුන් කටයුතු කර තිබිණි.

ඒ අනුව ඉන්දීය නව නිල ඇඳුම ලොව උසම ගොඩනැ-ඟිල්ල වන ඩුබායි හි බර්ජ් කලීෆාහි ප්‍රදර්ශනය කරන්නට ඔවුහු කටයුතු කළ හ. ඩිජිටල් ආලෝක රටා මඟින් එම ප්‍රදර්ශනය සිදු කළ අතර, නිල ඇඳුමට අමතර ව එහිදී ඉන්දීය ක්‍රිකට් ලාංඡනය මෙන්ම නිල ඇඳුමින් සැරසී සිටින විරාට් කෝලි, රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ රූප රාමුද ප්‍රදර්ශනය කර තිබීම ද විශේෂත්වයකි. මෙම අවස්ථාව 'Billion Cheers Jersey' යනුවෙන් නම් කර තිබුණි

 

අර්බුද මැවූ පාකිස්තාන නිල ඇඳුම

පාකිස්තානයේ ලෝක කුසලාන නිල ඇඳුම මෙවර කරළියට පැමිණියේ අර්බුද මැද ය. එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ලෝක කුසලාන නිල ඇඳුම නිල වශයෙන් නිකුත් කිරීමට පෙර වෙනත් නිල ඇඳුමක් සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වීම එකී අර්බුදයට හේතු විය.

එසේම මෙවර ලෝක කුසලානයට සත්කාරකත්වය සප-යන ඉන්දියාවේ නාමය සෑම රටක ම පාහේ නිල ඇඳුම්වල දකුණු පස ඉහළ කෙළවරෙහි මුද්‍රණය කර තිබීම පොදු තත්ත්වයකි. නමුත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පාකිස්තාන නිල ඇඳුමෙහි ඉන්දියාව වෙනුවට සඳහන් කර තිබුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන්නයි. පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් එම නිල ඇඳුමින් සැරසී සිටි අතර එය ඉන්දියාවේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබුණේ ය. කෙසේ නමුත් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුව නිල වශයෙන් නිකුත් කළ නිල ඇඳුමෙහි ඉන්දියාව ලෙස සටහන් කර තිබීම නිසා එම අර්බුදය සංසිඳී ගියේ ය.

 පසිඳු මිහිරාන් රැටියල

 

Comments