විස්සේ අවසන් පූර්ව වටේ සුදුස්සෝ කවු ද? | Page 2 | සිළුමිණ

විස්සේ අවසන් පූර්ව වටේ සුදුස්සෝ කවු ද?

 

'ග්‍රැහැම් ගුච් කියන්නේ එංගලන්තයේ හිටපු ප්‍රබල ක්‍රිකට් නායකයෙක්. වරක් ඔහු ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට තම කණ්ඩායම මෙහෙය වීමට සමත් වුණා. එදා ඔහු අවසන් තරගය ගැන කියා තිබුණු අදහසක් තවමත් මතකයි. ඒ ලෝක කුසලානයේ ජයග්‍රහණය සමාන කළ හැක්කේ ලොතරැයි දිනුමකට බව පවසමිනුයි.

එම වසරේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදියා වූයේ පාකිස්තාන ය. එම කණ්ඩායමේ නායකයා ඉම්රාන් ඛාන්. කොහොම නමුත් අවසන් තරගය ගැන ඔහු තැබූ අපේක්ෂා හරියටම මතකයේ නෑ. එය එසේ වන්නේ ගුච් කළ ප්‍රකාශය ඒ තරම්ම ප්‍රබල හා සත්‍ය වූවක් නිසයි.

එදායින් පස්සේ යළිත් පාකිස්තානය හා එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමින් කැපීපෙනෙමින් සිටිනවා. ඒ අතර සෙසු කණ්ඩායම් දෙක තෝරාගැනීම යුද්ධයක් නිර්මාණය කරලා. මේ ඒ ගැන තැබෙන සටහනක්.'

පසුගිය තුන්වැනි දා දෙවන කොටසේ තරග දෙකක් පැවැත්වුණා. මෙයින් ස්කොට්ලන්තය පරදවා නවසීලන්තය ත් ,ඇෆ්ගනිස්ථානය පරදවා ඉන්දියාව ත් ජයගැනීමට සමත්වුණා. කොහොම වුණත් තවමත් නවසීලන්තය,ඉන්දියාව හා ඇෆ්ගනිස්ථානයට අවසන් පුර්ව වටයේ දොරටු විවෘතව තිබෙනවා.

මේ අනුව යම්හෙයකින් පසුගිය සිකුරාදා (05) පැවැත්වීමට නියමිත වූ ඉන්දියාව හා ස්කොට්ලන්තය අතර තරගයෙන් ඉන්දියාව ජයගත්තේනම් ඇෆ්ගනිස්ථානය හා නවසීලන්තය අතර අද (07) පැවැත්වෙන තරගය බොහෝවිට මෙම කණ්ඩායම් තුනේම ඉරණම තීරණය කරන තරගයක්.

ඒ වගේම බ්‍රහස්පතින් දා (04) පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා-කොදෙව්, ඔස්ට්‍රේලියා-බංග්ලා දේශය යන පළමු කොටසේ තරග දෙක කොදෙව්වන්ට හා ඔස්ට්‍රේලියාවට වඩාත් වැදගත් තරග වුණා.

ශ්‍රී ලංකාව සමග තරගය කොදෙව්වන්ගේ අවසන් පුර්ව බලාපොරොත්තු තීරණය වන තරගය බවට පත්ව තිබුණේ. කොහොම වුණත් එම කොටසේ තීරණාත්මක තරග දෙකක් පැවති (06) ඊයේ දිනයේ තරග ප්‍රතිඵලය අනුව අවසන් පුර්ව වටය සඳහා සුදුස්සන් කවුද යන්න මේ වනවිටත් දැනගැනීමට ලැබී තිබෙනවාට කිසිම සැකයක් නැහැ.

මේ අතර මෙවර තරගාවලිය සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ අතරින් කීප දෙනෙක්ගේම අදහස් දැක්වීම් වඩාත් තර්කානුකූලයි.

 

අවසන් තරගය ගැන පැතුමක් තිබෙනවා -මුෂ්ටාක්

“පාකිස්තානය සමග ඉන්දියාව අවසන් තරගයට පිවිසෙන්නේ නම් මම සතුටුයි. මම එහෙම කියන්නේ අපි ඔවුන්ව පළමු තරගයේ දී පරාජය කළ නිසා නොවෙයි. මම එහෙම හිතන්නේ තරගාවලිය ජය ගැනීම සඳහා ඉදිරියෙන් සිටින කණ්ඩායමක් ලෙස ඔවුන් ශක්තිමත්ම කණ්ඩායමක්.” මෙහෙම කියන්නේ හිටපු පකිස්තානු දඟ පන්දු යවන්නෙකු වන සක්ලෙන් මුස්ටාක්.

ඒ අතර ඔහු මෙහෙමත් කියනවා.

“කලින් තරගයේ දී විරාත් කෝලි ඇතුළු ඉන්දීය කණ්ඩායම වගේම අපේ ක්‍රීඩකයිනුත් ශක්තිමත් මිත්‍රත්වයේ පණිවිඩයක් ලෝකයට ලබා දෙන්නට සමත් වුණා. ඇත්තටම අපි සියලු දෙනාම මනුෂ්‍යයින්. අප එකිනෙකාට ආදරෙයි.

එදා තරගය, තරගයක් පමණයි. දැන් එංගලන්තය පෙරමුණේ සිටිනවා. ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවත් ශක්තිමත් තරගකරුවන්.”ඒ ඔහුගේ අදහසයි.

 

ඉන්දියාව දුර්වල නෑ- ගවස්කාර්

“එක තරගයක් පැරදුනාට කණ්ඩායම දුර්වලයි කියන්න බෑ. මේ ඉන්දියානු කණ්ඩායම ශක්තිමත්.ඉතිරි තරග කිහිපය ජයගෙන අවසන් පුර්ව වටයට තේරිලා ශුරතාව ජයගැනීමේ හැකියාව ඔවුනට තිබෙනවා. “ හිටපු ඉන්දීය නායක සුනිල් ගාවේස්කාර් පැවසුවේ ඉන්දියාව හා නවසීලන්තය අතර තරගයට කලින්.

හැබැයි ඔහු මෙහෙම කිව්වත් සමස්ත ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ වගේම ඔහුගේත් බලාපොරොත්තු කඩ කරමින් ඉන්දියාව නවසීලන්තය ඉදිරියේ කඩුලු අටක පරාජයක් ලැබුවා.

''මම හිතන්නේ අපි පන්දුවෙන් වගේම පිත්තෙනුත් ප්‍රමාණාත්මකව නිර්භීත වුණේ නෑ.'' නායක විරාත් කෝලි අවසානයේ දී පවසා තිබුණා. ඒ වගේම ගවස්කාර්ගේ පමණක් නොවෙයි ෂක්ලෙන්ගේ බලාපොරොත්තුවත් බිඳ වැටෙන තරමට මේ වනවිට ඉන්දියාව තරගාවලියෙන් ඉවතට යාවිදෝ යන සැකය ඉස්මතුවී තිබුණා.

මේ අතර 1983 වසරේ ඉන්දියාවට ලෝක කුසලානය දිනාදීම සඳහා නායකත්වය ලබාදුන් කපිල් දේව්, කෝලිගේ ඉහත ප්‍රකාශය ඉතාමත් දුර්වල ප්‍රකාශයක් ලෙස දක්වා තිබුණා. ඔහු කියන්නේ එවන් ප්‍රකාශයක් කෝලි වැනි ක්‍රීඩකයෙකුගෙන් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවයි.

ඉන්දියාව පිහිට පතයි

තමන් අයත් කොටසේ සිටින ප්‍රබලතම කණ්ඩායම් දෙක ඉදිරියේ පරාජය වූ ඉන්දියාවට අවසන් පුර්ව වටයට එන්නට සෙසු කණ්ඩාම්වල උදව් පතමින් සිටිනවා. මේ වනවිට තුන්වැනිදා පැවැති ඇෆ්ගනිස්ථානය හා තරගය ඉන්දියාව ජයගත්තා. එය තරග පාවාදීමක් යැයි කියමින් සමාජ ජාලා ඇතුළේ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙන එකත් අමතක නොකළ යුතුයි.

කොහොම වුණත් එවැනි මතයක් ගොඩනැගී ඇත්තේ ඉන්දියාව යළි අවසන් පූර්ව වටයක් ගැන බලාපොරොත්තුක් තබාගනිමින් සිටින නිසයි. ඔවුන් ඉදිරියේ දී සහභාගිවීමට නියමිත තරගවලින් ස්කොට්ලන්තය හා නැමීබියාව යන කණ්ඩායම්වලට එරෙහිව අනිවාර්යෙන් ජයගනු ඇති බව උපකල්පනය කළ හැකි යි. ඒ නිසා මෙම ඇෆ්ගන් තරගයේ ජය මුදලට ලබාගත්තා කියන එකයි ලෝකය තුළ හා හූවක් මතුවී ඇත්තේ.

එමෙන්ම අවසන් පූර්ව වටයට තේරීම සඳහා ඉන්දියාවේ ප්‍රබලම ප්‍රතිවාදියා වන නවසීලන්තයට ඉතිරිව තිබුණේත්ඇෆ්ගනිස්තානය,ස්කොට්ලන්තය හා නැමීබියාව සමග තරග වැදීමට යි. ඔවුනුත් මේ තරග ලෙහෙසියෙන් පරාජය වේයැයි සිතන්න බෑ. එසේ වුවහොත් අවසන් පූර්ව වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් මොනවාද කියන එක තීරණය කිරීම දැඩි තරගකාරී, ලකුණු වේගය ගැන සලකන තත්ත්වයක් නිර්මාණයවීම වළක්වන්න බෑ.

 

හිරු නොබසින අධිරාජ්‍යයේ සුබ පණිවුඩය

“මෙය අනෙකුත් කණ්ඩායම්වලටත් හොඳ පණිවිඩයක්. ඇත්තටම ගත්තම තරගාවලියේ ඉන්න හොඳම කණ්ඩායම එංගලන්තය. මේ වනවිට ඔවුනට සමව සිටින්නේ පාකිස්තානය පමණයි.” මෙහෙම කියන්නේ හිටපු එංගලන්ත නායක මයිකල් වෝන්.

ඒ වගේම ඔහු ඉන්දියාවට හොඳ අතුල් පහරක් එල්ල කරන්න් අමතක කරන්නේ නෑ. “අයියෝ, ඉන්දියාව තවමත් සෙල්ලම් කරන්නේ 2010 ක්‍රිකට්. මේ වනවිට ක්‍රීඩාව වේගයෙන් ඉදිරියට ගිහින්. ඔවුන් අනෙක් රටවලින් ඉගෙන ගත යුතුයි.” වෝන් කියනවා.

 

එංගලන්තයට අභියෝගය පාකිස්තානය පමණයි - පීටර්සන්

“එංගලන්තය පරාජය කිරීමට හැක්කේ පකිස්ථානයට හා ඇෆ්ගනිස්ථානයට පමණයි.” තවත් හිටපු එංගලන්ත නායකයෙකු වන කෙවින් පීටර්සන් කියනවා. ඇත්තෙන්ම මේ වනවිට පාකිස්තානය වගේම පළමු කොටසේ තමන් සහභාගි වූ තරග හතරම ජයගෙන ඇත්තේ එංගලන්තයයි.

මෙවර තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් වූ කොදෙව් හා ඔස්ට්‍රේලියා කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට ඔවුන් සමත්විමෙන්ම මෙය පැහැදිලියි.

 

මාලිංගගේ තවත් වාර්තාවක් බිම

මේ වනවිට සටහන්වන නව ක්‍රීඩක වාර්තා අතරින් දඟ පන්දු යවන රෂිඩ් ඛාන් තම 100 වන විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුල්ල දවාගත්තා. ඒ පාකිස්තානයේ මොහොමඩ් හෆිෆ්ගේ කඩුල්ල දවාලමින්.

ඔහු මෙම සන්ධිස්තානයට ළඟාවුණේ මිට පෙර මෙම සීමාවට පැමිණ සිටි ෂකිබ් අල්හසන්, ලසිත් මාලිංග, ටීම් සවුති යන පන්දු යවන්නන් අතර සමතැන් ගනිමින්.

රෂීඩ්ගේ 53 වන තරගයේ දී තමයි ඔහු මේ සමාජයට එක්වුණේ. මේ අනුව මීට පෙර අඩුම තරග ගණනකින් කඩුලු 100 ක් දවාගෙන තිබුණේ ලසිත් මාලිංග. ඒ අනුව ඔහුගේ එම වාර්තාවත් බිඳ වැටෙනවා.

ඒ වගේම එංගලන්ත නායක එවොන් මෝගන් ශ්‍රී ලංකාව සමග තරගය ජයගැනීමත් සමගම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වැඩි ගණනක් ජයගත් නායකයා ලෙස ඉතිහාසයට එක්වුණා. ඒ තරග 68 කින් 43 ක් ජයගනිමිනුයි.

මෙවර තරගමාලාවේ වාර්තා වූ එකම ශතකයත් සමග මෙතෙක් තම කණ්ඩායම සහභාගි වූ තරග හතරක දී ලකුණු 214 ක් ලබා සිටින එංගලන්තයේ ජෝස් බට්ලර්ගේ පිතිහරඹය විවියන් රිචර්ඩ්ස් හට සමාන කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නා වන ෂේන් වෝන්.

අනිල් වීරසිංහ

Comments