රිදී රේඛා දකිමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට | Page 2 | සිළුමිණ

රිදී රේඛා දකිමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයෙන් ඉවතට

 

'මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව දැනටමත් ඉවත්ව තිබේ. එහෙත් එය රිදී රේඛා දිදුලුමක් සමඟ ලැබූ නික්මයාමකි. මේ ඒ ගැන තැබෙන සටහනි.'

එක්සත් අරාබි එමීරයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවන ක්‍රිකට් පිටියකි. එහි පළමු සංධිස්ථානය වනුයේ 1984 මෙම ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම නිල එක්දින තරගය ජයගත් කණ්ඩායම ශ්‍රී ලංකාව වීම ය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තත්ත්වය ලැබූ ක්‍රිකට් කණ්ඩායම් දෙකකට වැඩි ගණනක් සහභාගිවූ ප්‍රධාන පෙළේ තරගමාලාවක ශුරතාවක් රටින් පිටතදී හිමිකරගත් පළමු අවස්ථාව සනිටුහන් වන්නේද සාජාහි දී ය. ඒ 1995 වසරේ ය.

එම මතකය යළි අලුත් කරමින් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි දොළහ වටයේ තමන් සහභාගි වූ පළමු තරග හතරෙන් තරග තුනකට ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ මෙම පිටියේ දී ය. එහෙත් ඉන් එක තරගයක් ජයගෙන සෙසු තරග දෙකෙන් පරාජය විණි. කෙසේ නමුත් බංග්ලා දේශයට එරෙහිව එහි පැවති තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 172 ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් කලකට පසු විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීම අමතක කළ නොහැක.

ප්‍රථම තරගයෙන් ජයගත්ත ද ඉන්පසු ඕස්ට්‍රේලියාව සමග ඩුබායි හි දී ත් දකුණු අප්‍රිකාව හා එංගලන්තය සමග සාජා හි දී ත් පැවති තරග ශ්‍රී ලංකාව පරාජයට පත් විණි. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට පිවිසීමේ සිහිනය ගිලිහී ගියේ ය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු හයක් දැවී ලකුණු 154, දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 142 ක් රැස්කළ ද තවත් ලකුණු 20 ක් හෝ 25ක් ලබා ගැනීමට සමත්වූයේ නම් ශ්‍රී ලංකාවට බොහෝවිට මෙම තරග ජය ගැනීමට ඉඩක් තිබිණි. එමෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයේදී පන්දු යවන්නන් විශේෂයෙන් වේග පන්දු යවන්නන් නිවැරදි එල්ලයට පන්දු යැවීමට අපොහොසත්වීම,උඩ පන්දු ගිලිහී යාම් වැනි කරුණු හේතුවෙන් ප්‍රතිවාදිනට යම් තර්ජනයක් එල්ල කිරීමට තිබූ අවස්ථා අහිමිවී ගියේ ය.

ඔස්ට්‍රේලියාව සමග තරගය පරාජය වුව ද දකුණු අප්‍රිකාව සමග පැවති තරගය ශ්‍රී ලංකාවට ජයගැනීමට තිබු තරගයකි. අවසන් පන්දු වාරයේ දී දකුණු අප්‍රිකාවට ලකුණු 15 ක් ලබා ගැනීමට සිදුව තිබු අතර අවසන් පන්දු වාරය යැවූ ළහිරු කුමාර ඩේවිඩ් මිලර් අතින් දරුණු ප්‍රහාරයකට ලක් විණි.

“ඔහු පුහුණු තරගවල මැනවින් යෝකර් පන්දු යවනවා. ඒ නිසා තමයි මම ඔහු අවසන් පන්දුවාරය යවන්න තෝරා ගත්තේ” තරගයෙන් අනතුරුව අවසන් පන්දු වාරය යැවීමට ළහිරු කුමාර තෝරාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසා තිබිණි.

මුල් තරග හතරේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් වඩාත් කැපී පෙනුනේ චරිත් අසලංක ය. ඔහු බංග්ලාදේශය ලබාදුන් අභියෝගය හඹා යාමේදී නොදැවී ලකුණු 80 ක් රැස් කළේ ය. එය පන්දු 49 ක් තුළ හයේ පහර 05 ක් හා හතරේ පහර 05 ක් ද සමඟින් රැස්කළේ ය. ඔස්ට්‍රේලියාව සමග තරගයේ දී පන්දු 27 කින් ලකුණු 35 ක් රැස් කළේ හතරේ පහර 04 ක් හා එක හයේ පහරක් සමගිනි. මේ අතර දකුණු අප්‍රිකාව සමග තරගයේ දී පන්දු 14 කින් ලකුණු 21 ක් ලබා සිටියදී ඔහු දුවද්දී දැවී ගියේ ය.

අසලංක එංගලන්තයට එරෙහිව පන්දු 16 කින් ලකුණු 21 ක් ලබාගත් නමුත් එම තරගයේ දී ආරක්ෂාකාරීම දිගු ඉනිමක් ගොඩ නැගු‍වේ නම් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන යාමේ අවස්ථාවක් පැවතිණි. ඔහුට අමතරව පැතුම් නිශ්ශංක දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිම අරඹමින් රැස් කළ ලකුණු 72 මෙරට පිතිකරුවෙකු වෙතින් දැක ගැනීමට ලැබුණු විශිෂ්ට ඉනිමකි. ඔහුට මේ සඳහා වැයවූයේ පන්දු 58 ක් පමණි. ඊට හතරේ පහර 06 ක් හා හයේ පහර 03 ක් ඇතුළත් විය.එමෙන්ම බංග්ලාදේශය සමග පැවති තරගයේ දී ද ඔහු පන්දු 21 කින් ලකුණු 24 ක් ලබා ගනිමින් හොඳ ආරම්භයක් ලබාදීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පාර්ශ්වයෙන් ගත්කල භානුක රාපක්ෂද අමතක කළ නොහැකි පිතිකරුවෙකි. ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 26 කින් ලකුණු 33 ක් ලබාගැනීමට සමත්වූ අතර බංග්ලාදේශය සමග තරගයේ දී පන්දු 31 කි න් ලකුණු 53 ක් ලබා ගත්තේ හයේ පහර 03 ක් හා හතරේ පහරවල් 03 ක් ද සමගිනි. එංගලන්තයට එරෙහිව ඔහු ලැබූ ලකුණු 26 රැස්කළේ පන්දු 18 කිනි.

කුසල් පෙරේරා ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයේ දී පන්දු 25 කි න් ලකුණු 35 ක් ලබා ගත් අතර බංග්ලාදේශය,දකුණු අප්‍රිකාව හා එංගලන්තය සමග පැවති තරගවල දී ඔහු අසාර්ථක විණි. එමෙන්ම අවිශ්ක ප්‍රනාන්දු අසාර්ථක වීම ද ශ්‍රී ලංකා ලකුණු පුවරුවට අයහත් ලෙස බලපෑවේ ය.

නායක දෂුන් ශානක හා වනිඳු හසරංග දෙදෙනා පළමු තරග තුනේ දී ලකුණු අතරට පැමිණීමට අසමත්වූ නමුත් එංගලන්තය සමග තරගයේ දී වනිඳු (34) හා දසුන් (26) ලකුණු අතරට පැමිණීමට උත්සහයක නියැලුණ හ.

සමස්තයක් ලෙස බලන විට පළමු පන්දු වාර 10 තුළ හොඳ ලකුණු සංඛ්‍යාවක් මෙන්ම ලකුණු වේගයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වූව ද මුල් පන්දුවාර 12 අවසන් වනවිට මුල්පෙළ කඩුලු හතරක් බිඳ වැටිම මුල් තරග තුනේ දී ම දැක ගත හැකිවි ය.

එය ප්‍රතිවාදී කණ්ඩායම්වලට එරෙහිව විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ දී දැඩි බාධාවක් විය. එමෙන්ම එංගලන්තය සමග පැවති තරගයේ දී ලකුණු පසුපස හඹා යාමේ දී පන්දු වාර 11 ක් නිමාවන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු පහක් දැවී ලකුණු 76 ක් ලෙස ය. මෙයද ශ්‍රී ලංකාවේ පරාජයට බලපෑ හේතුවකි.

පන්දු යවන්නන් අතරින් වඩාත් කැපී පෙනුණු හසරංග එංගලන්තයට එරහිව පැවති තරගයේ දී 21/03 ලෙස කඩුලු දවාලමින් තම 50 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුල්ල දවාලී ය. එමෙන්ම දකුණු අප්‍රිකාව සමග තරගයේ දී අවශ්‍ය අවස්ථාවේ දී කඩුලු ත්‍රිත්වයක් ලැබුවේ 20/03 ලෙස ය.ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු දෙකක් දවාගත් ඔහු තමා ජාත්‍යාන්තර මට්ටමේ පන්දු යවන්නෙකු බව නැවත වරක් ලෝකයා හමුවේ ඔප්පු කර පෙන්වී ය.

“තරගාවලියේදී අපේ පන්දු යවන්නන් මුල් පන්දුවාර 10 තුළ කැපී පෙණුනා. නමුත් අපේ බොහෝ ක්‍රීඩකයන්ගේ පළමු ලෝක කුසලාන අත්දැකීම තමයි මේ. ක්‍රමයෙන් අත් දැකීම ලබා ගන්නාවිට ඔවුන් කණ්ඩායම වෙනුවෙන් හොඳ දස්කම් දක්වාවි.” ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පැවසී ය.

එය සැබෑවකි. කෙසේ නමුත් අවශ්‍යව ඇත්තේ මෙලෙස වඩා දීප්තිමත් වූ ක්‍රීඩකයනට අමතරව සෙසු ක්‍රීඩකයන් ද තරග සැලසුමට අනුව තරගය නිරීක්ෂණය කරමින් අවස්ථානෝචිතව ක්‍රීඩා කිරීම ය. උදාහරණයකට පිතිකරුවෙක් හොඳින් ලකුණු රැස්කරන්නේ නම් කෙටි ලකුණු ලබාගනිමින් ඔහුට සහය ලබාදී කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට උපකාරී වීමයි. එය එසේ වන්නේ නම් ශ්‍රී ලංකාවට නුදුරේදීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැගී සිටීමට හැකියාව උදාවන බව මෙම ලෝක කුසලානයෙන් විද්‍යාමාන වූ බව කිවයුතු ය.

අනිල් වීරසිංහ

Comments