දණ නොගැසීමෙන් හම ගිය ඩි කොක් ගේ වරිගෙ | සිළුමිණ

දණ නොගැසීමෙන් හම ගිය ඩි කොක් ගේ වරිගෙ

 

‘මේ දිනවල ලොකුවට කතාවෙන ප්‍රශ්නයක් තමයි ක්‍රීඩකයෝ වර්ගවාදී ද? නැද් ද? කියන එක. මෙතැනදී අපේ අවධානයට වැඩියම ලක් වුණු ක්‍රීඩකයා තමයි දකුණු අප්‍රිකාවේ ඩි කොක්. ශ්‍රීමත් නෙල්සන් මැන්ඩෙලා උදාකළ දකුණු අප්‍රිකාවේ දේදුනු සමාජ නියෝජනයක් වන ඩි කොක් වැඩි දෙනෙක්ගේ අවධානයට පාත්‍ර වුණා. ඒ අනුව යළි වර්ගවාදී වෙඩි නූලට ගිනි තිබ්බ මිනිහා වුණේ ඔහුයි. ඇත්තටම දණ ගහලා පමණක් වර්ගවාදය තුරන් කළ හැකි ද? ඩි කොක් සැබැවින්ම වර්ගවාදියෙක් ද? මේ ඒ ගැන.'

'ඔබට ප්‍රසිද්ධියේ දණින් වැටී ඉන්න පුළුවන් ද? එහෙමත් නැත්නම් ඒ විධිහට අභිනය පාන්න හැකි ද? දණ බිම ඔබන්නට බැරිනම් අත ඔසවා ගෙන සෘජුව සිටගෙන විරෝධ ඉරියව්වක් දක්වන්නට හැකි ද?' උත්තරය හැකියි නම් ඔබ වර්ගවාදී අදහස් දරන්නෙක් නොවේ.

එහෙත් ඔබේ සිත ලබාදෙන පිළිතුර එසේ නොහැකියි නම් ඔබ අයත් වන්නේ වර්ගවාදයට පක්ෂ පුද්ගල කාණ්ඩයටයි. වර්ගවාදය කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මානව සමාජයේ ක්‍රියාත්මක දරුණුම බෙදීමක්.

මෙම වර්ණ භේදය ගෝලීය සමාජය බොහොම පැහැදිලිව කාණ්ඩ දෙකකට බෙදිය හැකි හේතුවක්. අපි මේ ගැන 'ක්‍රීඩා' පුවත්පතේ කතාකරන්න අපේක්ෂා කරන්නේ ඇයි? ඊට බොහෝම සාධාරණ හේතු මේ වනවිට නිර්මාණයවී තිබෙනවා. ඊට ප්‍රබලම හේතුව මේ දවස්වල වර්ගවාදයට එරෙහි අභිනයන් සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝකයේ ඇතිවී තිබෙන අවධානය. වර්ගවාදය ගැන ක්‍රීඩා පුවත්පතේ කතාකරන්න ඇති හොඳම නිමිත්ත තමයි ඒක.

කෙටියෙන්ම කියනවා නම් මේ ප්‍රශ්නය වැඩියෙන්ම අපිට දැනුණේ විස්සයි විස්ස ලෝක කුසලාන තර-ගාවලිය තුළ දකුණු අප්‍රිකාවේ ප්‍රබල ක්‍රීඩකයකු වන ක්වින්ටන් ඩි කොක් ගේ හැසිරීමත් සමඟයි. (අපි ඔහුගේ හැසිරීම ගැන ගිය සතියේ ක්‍රීඩා පුවත්පතේ ලිපියක් මඟින් වාර්තා කළා.)

කොහොම නමුත් මේ වෙද්දී ඩි කොක් තමන්ගේ ස්ථාවරය හකුලා ගෙන. ඒ වගේම තමුන් වර්ගවාදියෙක් නොවෙන බවත් ඔහු ප්‍රකාශ කරලා අවසන්. ඒ වගේම ප්‍රසිද්ධියේ දණ නමා ලෝකයාට තමන් වර්ගවාදයට එරෙහි බව කියන්නත් ඔහු සූදානම්. මේ මොන දේ වුණත් ඔහුට වර්ගවාදී ලේබලය ඇලවුණු තරම් වේගයෙන් ඔහුගේ නම ඒ අපවාදයෙන් ගැලවී යන එකක් නෑ. මොකද යම් තොරතුරක් ප්‍රචාරණය වන තරම් වේගයකින් එහි යම් නිවැරැදි කිරීමක් සමාජය තුළට ව්‍යාප්ත වන්නේ මන්දගාමීව වන නිසා. (ඒක තමයි ගොබෙල්ස් න්‍යාය ලෝකය තුළ බොහොම පහසුවෙන් ව්‍යාප්ත වුණේ)

කොහොම නමුත් මෙයට පිළිතුරු දෙමින් ඉස්සරහට එන්න ඩි කොක් ක්‍රියා කර තිබුණේ මෙහෙමයි.

'ඔබ දන්නේ නෑ මමත් පැවැත එන්නේ මිශ්‍ර පවුලකින්. මගේ කුඩම්මා කළු ජාතික කාන්තාවක්. ඒ වගේම මගේ අර්ධ සහෝදරියත් කළු සම්භවයක් සහිත යි. ඒ මගේ තාත්තාගේ අනික් විවාහයෙන් තමයි ඇය ඉපැදිලා තිබෙන්නේ. එ්ත් ඒවා පෞද්ගලික කරුණු නිසා මේ ගැන සමාජයට කියන්න අවශ්‍යයි කියලා මා සිතුවේ නෑ. නමුත් මේ සිදුවීමෙන් ලෝකය තුළ මා සම්බන්ධයෙන් වැරැදි අදහසක් ජනිත වුණා. ඒ නිසා මම දැන් ඒ ගැන කියන්න ඕනෑ.' ඩි කොක් ප්‍රකාශ කර තිබුණා.

මේ සංසිද්ධිය කරළිය තුළ දැඩි සංවාදයකට ලක් ‍ෙවද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා ටෙම්බා බවුමා ද බොහොම අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබුණා. ඒ තමයි,

'අපි ඔහුගේ පෞද්ගලික තීරණයට ගරු කරනවා. ඒ

වගේම ඔහුගේ විශ්වාසයටත් ගෞරව කරනවා.' යනුවෙනුයි.

එම ප්‍රකාශය ජාතික කණ්ඩායමක නායකයකු වශයෙන් සිදු කළ විශිෂ්ට ප්‍රතිචාර දැක්වීමක් යැයි පිළිගන්න සිදුවෙනවා. රටක, කණ්ඩායමක නායකයෙක් වූ පසු විවිධ පෞද්ගලික මතවාද සම්බන්ධයෙන් දැරිය යුතු ස්ථාවරය මොනවගේ ද යන්න ගැන ඔහු මෙහිදී මොනවට පෙන්වා දෙනවා.

අනික් අතට, සිතීමේ, කතා කිරීමේ වගේම මතවාද දැරීමේ නිදහසක් මිනිසාට තිබෙනවා. මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් සලකන කල කෙනෙකුට පුද්ගල අභිමතයේ හිමිකම් ඇති බව පිළිගන්නේ ඒ නිසයි. එවන් ඕනෑම අභිමතයක් සමාජයට හානිකර නොවන්නේ නම් දරාගෙන සිටින්නේ එක ප්‍රශ්නයක් නොවෙයි. එතැනදී අදාළ මතය මානව සමාජය ගරු කරන යම් නීතියක් හා නොගැටෙන්නේ නම් එතැනදී එය කිසිවකුටත් ප්‍රශ්න කරන්නට නොහැකියි.

උදාහරණයකට ක්වින්ටන් ඩි කොක් ජාතිවාදී හෝ වර්ගවාදී ස්ථාවරයක් දරන්න පිළිවන්. නමුත් එය ඔහුගේ පෞද්ගලික මතය. එහෙත් ඔහුට එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සෙසු ජනවර්ග හෙළා දකිමින්, ඔවුන්ගේ අයිතිවාසිකම් බිඳ දමමින් කටයුතු කරන්න බෑ. එසේ නොකරන්නේ නම් කිසිවකුටත් ඔහුගේ පෞද්ගලික ස්ථාවරය ගැටලුවක් විය නොහැකියි.

මොකද ඒ කියන වර්ගවාදී භාවය තිබෙන්නේ ඔහුගේ සිත තුළ පමණක් වන නිසා. සිතිවිලිවලට දඬුවම් දෙන්න ක්‍රමවේදයක් ලෝකයේ පවතින නීතිය තුළ තවම හඳුන්වා දී නෑ. එවැන්නක් තිබෙන්නේ ආගමික දර්ශනයන් තුළයි. උදාහරණයකට බෞද්ධ දර්ශ-නය තුළ “රහසින් වත් පවු නොකොට” යන්න ප්‍රබලම ස්ථම්භයක්. මොකද ඒ තරමටම සමාජයට හිතකර සාමාජිකයෙක් වන්න කියන එකයි එතැනදී කියන්න උත්සාහ කර තිබෙන්නේ.

මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක බවුමා ප්‍රකාශ කළේ ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය දැරීමේ හිමිකම ඇති බවයි. එය තේරුම් ගෙන කටයුතු කිරීම විශිෂ්ට සලකුණක්. අන්න ඒ නිසයි ඩි කොක් බවුමා ගැන දැඩි සුබවාදී අදහස් ප්‍රකාශ කර තිබුණේ.

'මගේ කණ්ඩායමේ සගයන්ට,

වගේම මගේ ප්‍රේක්ෂකයන්ට මම කනගාටුව පළකරනවා. ඇත්තටම මේ සිද්ධිය නිසා ගොඩාක් රිදුණු, අසහනයට පත්වුණු වගේම කේන්ති ගිය හැමෝගෙන්ම මම සමාව අයදිනවා. ඒත් මම පැවැත එන්නේ මිශ්‍ර පවුලකින් කියලා කවුරුවත් දන්නේ නෑ. 'ඒ ඩි කොක්ගේ ජීවිතයේ අප නොදන්න කතාවක්.

තවත් දෙයක් මෙතැනදී අප විශේෂයෙන් සටහන් කළ යුතුයි. අවස්ථාවාදී 'බොරු' මවා පෑම්, රඟ පෑම් සිදු කරන්නට මානව සමාජය තුළ හුරුවක් ඇතිකර ගෙන තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය සමඟ මම ඉන්නවා කියා ප්‍රකාශ කර එය සමඟ නොසිටිමින් කටයුතු කරන දෙබිඩි මිනිසුන් ඕනෑ තරම් අපට දැකගත හැකියි.

හදවතින්ම යම් පිළිගැනීමක් වෙනු-වෙන් කටයුතු නොකොට එවැනි මවා පෑම් මඟින් සිදුවිය හැකි දේ ගැන අප කතා කළ යුතු නෑ.

දණගසා ගෙන අප වර්ගවාදයට එරෙහියි කියා ප්‍රකාශ කළත් හදවත තුළ ජීවත් වන්නේ වර්ගවාදියෙක් නම් ඉන් ඇති ඵලක් නෑ. ඒත් බොරුවට ලෝකයට පෙනෙන්නට දණ බිම නොගැසුවත් හදවතින් වර්ගවාදියෙක් නොවේ නම් එය තමයි වඩා වැදගත් වන්නේ. මොකද මම පන්සල් ගියා, පල්ලි ගියා, කෝවිල් ගියා යැයි පෙනෙන්න යාමට වඩා හදවතින් පැවැතීම, පිළිවෙත් පිරීම තමයි වැදගත් වන්නේ.

අපි දකින්නේ ඩි කොක්ගේ සිද්ධියත් ඒ වගේ තේරුම් ගත යුතුයි. මොකද මුදලට, කණ්ඩායමේ ස්ථානයක් දිනාගන්න, ස්ථානය තහවුරු කරගන්න ව්‍යාජ අභිනයන් සමාජය තුළ ප්‍රකාශ කළාට කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව කිවයුතුයි. එවැනි මිනිසුන්ටයි 'ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ' යැයි කියන්නේ.

කාන්ති ජයසිංහ

Comments