ජයග්‍රහණයේ සලකුණු | සිළුමිණ

ජයග්‍රහණයේ සලකුණු

 

ජයග්‍රහණය ගිලිහී ගියේ ය. බොහෝ අවස්ථාවලදී දිගහැරගත් අත්ලේ ඇඟිලි තුඩු මත තැබූ ජයග්‍රහණය බිම දමාගනු දක්නට ලැබිණි. එය දැක උරණ වූවෝ මේ කරන්නේ මොනවාදැයි විමසූ හ. සමාජ මාධ්‍යයේ, මඟ තොටේ දී විවිධ නම් පට බඳිමින් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් හෙළා දකිනා යුරු අනන්තවත් දැකගත හැකිවිණි.

'අර ඉන්නේ ලකුණු කුමාරලා, පොලොස් කොටන්නෝ.........'

ආදී වශයෙන් විවිධ නම් පට බඳිමින් එසේ චෝදනා නැගූ හ. මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දැනටමත් අවසන් පූර්ව වටයෙන් එළියට ගොස් ඇති බව කිවයුතු නැත. එය පැහැදිලිවම සිදුව තිබේ.

එහෙත් මෙවර ලෝක කුසලානය තුළ සුවිශේෂී යමක් ද සිදුව නැතැයි කියන්නට කිසිවකුටත් නොහැකි ය. ඒ යළි ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබීමට ඇති හැකියාව ය. එය අතිශය සුබවාදී අපේක්ෂාවකි.

විස්සයි විස්ස ලෝක කුසලාන මූලික වටය ජයගත් ආකාරයට සුපිරි වටයේ පළමු තරගය ජයගැනීමෙන් ආරම්භ කළ ද සෙසු තරග ජයගැනීමට තිබූ අවස්ථා ශ්‍රී ලංකා පිල අතින් ගිලිහී ගිය බව සැබෑවකි. එලෙස ජයග්‍රහණය ගිලිහී ගියේ අත්දැකීම් මඳ භාවය යන කාරණය ප්‍රමුඛව බලපෑම් කළ හෙයිනි. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් වූ පමණින් මෙවර තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට එකවර ලොව පළපුරුදු කණ්ඩායම්හි ක්‍රීඩකයන් සතු අත්දැකීම් හා සමතැන්ම ගැනීම අසීරු ය.

මෙම පරාජයන් තුළින් තරගයක් ජයගන්නවාට වඩා අපූරු හා දීර්ඝ කාලීන ජයග්‍රහණයේ ප්‍රතිදීප්තිමත් සලකුණු දක්නට ඇතැයි අප කියන්නට කැමැත්තේ එහෙයිනි. ඒ ජයග්‍රාහී සලකුණු නිසිලෙස අවබෝධ කරගන්නේ නම් තවත් නොබෝ කලකින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරය තුළ දෙපයින් නැගිටුවාලීමේ අවස්ථාව මෙරට ක්‍රීඩකයන්ට හිමිවන බව පිළිගත යුතුව ඇත.

මෙතැන දී විශේෂයෙන් පිතිකරුවන් තිදෙනෙක් සම්බන්ධයෙන් දීර්ඝ කාලීන අපේක්ෂා ගොඩනැගුණු බව නොරහසකි. ඒ අන්කවුරුවත් නොව පැතුම් නිශ්ශංක, චරිත් අසලංක හා භානුක රාජපක්ෂ ය. ඒ සමඟම තවත් දෙයක් සඳහන් කළ යුතුව තිබේ.

ඒ විස්සයි විස්ස තරග රටාවට ප්‍රබලව විශේෂණය වීමෙන් මෙම ක්‍රීඩකයන් තිදෙනා අතරින් විශේෂයෙන් පැතුම් නිශ්ශංක හා චරිත් අසලංක යන ටෙස්ට් පිතිකරුවන් දෙදෙනා විනාශවී යාමට ඉඩ නොදීමේ වැදගත්කම ය. එය ඉතා ගැඹුරින් තේරුම් ගෙන එක් එක් ක්‍රීඩා රටාවට උචිත ස්වරූපයෙන් ක්‍රීඩා කරන්නට ඔවුන් සිතට ගතයුතුව ඇත.

එසේම මෙම සුවිශේෂී ක්‍රීඩකයන් වටා එක් රොක්ව කණ්ඩායමක් වශයෙන් කටයුතු කරන්නට සෙසු ක්‍රීඩකයන් දැක්වූ ප්‍රාගුණ්‍යයද අගය කළ යුතු ය. එකාවන්ව තනි අරමුණක් වෙනුවෙන් කටයුතු කරන්නේ නම් ජයග්‍රහණය සොයාගැනීම එතරම් අසීරු නොවන බව පැවසිය යුතු ය. එහෙයින් ඉදිරියේ දී ත් මේ අයුරින්ම කණ්ඩායමක් වශයෙන් එකට බැඳී ක්‍රීඩා කිරීම අත්‍යවශ්‍ය ය.

එය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් සුබ නිමිති පහළවීමකැයි කිව යුතුම ය.

 

Comments