
පුරා මාස 20 කට වඩා වැඩි කාලයක් තිස්සේ දැඩි අඳුරකින් පෙළුණු ශ්‍රී ලාංකේය රග්බි පාපන්දු කෙළි බිමට ආලෝකයේ කිරණ පතිත කළ වොරියර් අභියෝගතා කුසලාන රගර් තරාගවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනාගනු ලැබිණි.
ආරාධිත සත් සාමාජික පිරිමි රග්බි පාපන්දු තරගාවලියක් ලෙසින් පැවැති මෙම තරගාවලිය ‘ඩයලොග්’ ආසියාටා සමාගමේ සවියෙන් සංවිධානය කර තිබුණේ ය. යුද හමුදා ‘ඒ’ සහ යුද හමුදා ‘කෝල්ට්ස්’, ගුවන් හමුදා ‘ඒ’ සහ ගුවන් හමුදා ‘බී’ , නාවික හමුදා ‘ඒ’ සහ නාවික හමුදා ‘බී’, පොලිස් ‘ඒ’ සහ පොලිස් ‘ග්‍රිෆීන්ස්’, සී.එච් ඇන්ඩ් එෆ්.සී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙම තරගාවලිය පැවැත්විණි.
ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම්ලාභී ක්‍රීඩකයන් රැසක් මෙවර තරගා-වලියට එක්ව සිටියේ ය. මෙවැනි තරගාවලි දේශීය රග්බී පාපන්දු ක්‍රීඩාවේ පැහැපත් අනාගතයක පෙර මඟ සලකුණු ප්‍රකට කළ බව කිව යුතු ය.
ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙම තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ දිනාගත්තේ ගුවන් හමුදා ඉතිහාසයට සත් සාමාජික රග්බි පාපන්දු කුසලාන ජයග්‍රහණයක අරුණලු පළමු වරට හිමි කර දෙමිනි.
ජයග්‍රාහී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිලට රුපියල් 250.000/= ක් සමඟින් ‘වොරියර් කුසලානය’ පිරිනැමිණි. එහි අනුශූරතාව සමඟින් මුදලින් රුපියල් 150.000/= ක් ශ්‍රී ලංකා පොලිස් ‘ඒ’ කණ්ඩායම සතු විය.
කුසලාන ශූරතාව වෙනුවෙන් පැවති තීරණාත්මක අවසන් තරගයේදී ලකුණු 24 - 00 ක් ලෙස ජයග්‍රහණය සටහන් කර ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ පිලට හැකි විය. පළමු භාගය අවසන් වන විට ලකුණු තත්ත්වය 14 - 00 ක් ලෙස සටහන් විය.
මෙම තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායමට නායකත්වය දුන් නුවන් පෙරේරා හිමි කර ගත්තේ ය. අවසන් තරගයේ දී නුවන් පෙරේරා උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් ප්‍රවර්තන ත්‍රිත්වයක් සමඟින් ලකුණු 14 ක් රැස් කළේ ය.
ඊට අමතරව රමිත හිමාෂ ද සිල්වා 01 ශෂික ප්‍රනාන්දු 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළහ. තරගයේ විනිසුරු වශයෙන් කටයුතු කළේ දිලුම් දීෂණ ය.
අවසන් පූර්ව වටයේ දී පොලිස් ‘ඒ’ හමුවේ සී.එච්. පිල ලකුණු 17 - 14 ක් ලෙසද ගුවන් හමුදා ‘ඒ’ හමුවේ නාවික හමුදා ‘ඒ’ පිල ලකුණු 12 - 07 ක් ලෙස ද පරාජය විණි.
තරගාවලියේ ‘පළඟ’ ශූරතාව සී.එච් ඇන්ඩ් එෆ්. සී. සමාජයට හිමිවූ අතර වාරයේ නාවික හමුදා ‘ඒ’ පිලට අනුශූරතාව හිමිවිණි.
‘බඳුන’ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා (ඒ) කණ්ඩායම දිනාගත් අතර නාවික හමුදා ‘බී’ පිලට අනුශූරතාව ය හිමි විය.
කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ‘පළිහ’ ශූරතාව හිමි කර ගන්නා අතර වාරයේ අනුශූරතාව යුද හමුදා ‘කෝල්ට්ස්’ පිල සතු විය. ලකුණු තත්ත්වය 25 -12 කි.
මෙහි 09 වැනි ස්ථානය ගුවන් හමුදා ‘බී’ පිලට ද 10 වැනි ස්ථානය පොලිස් ‘ග්‍රිෆීන්ස්’ පිලට ද හිමි විය.
ජයග්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
සපුමල් වීදිය බණ්ඩාර
ඡායාරූප - ජගත් ඉරෝෂණ