
චින්තන ගීතාල් වයස උප්පැන්නයට සීමා කර නව ශ්‍රී ලංකා වාර්තා තුනක්
'වයස සටහන්ව ඇත්තේ උප්පැන්න සහතිකයේ හා තමාගේ සිත තුළ ය. සෑම ජයග්‍රහණයක් ම සිතෙන් මතු කර ගත හැක්කේ එහෙයිනි. මේ එවැනි දක්ෂතා මතු කිරීමක් පිළිබඳ වත්මන් පුවත් වාර්තාවකි.'
වයසට වඩා වැඩි දක්ෂතාවයක් තමන් සතු බව නැවත වතාවක් ඔප්පු කරන්නට චින්තන ගීතාල් විදානගේ ට හැකි වූයේ පසුගිය සතියේ පොළොන්නරුවේ ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක්‍රීඩා සංකීර්ණ ක්‍රීඩාගාරයේ දී ය.
ඒ ශ්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයේ සහ ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංවිධානය කර තිබුණු විශේෂ බර ඉසිලීමේ තරගයේ දී නව ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වයක් බිහි කරමිනි. තමන්ට අයත් ශරීර බර පන්තියේ කිසිදු අභියෝගයකට ඉඩ ලබා නොදුන් ඔහු නව වාර්තා ත්‍රිත්වයක් මෙලෙස පිහිටුවනු ලැබී ය.
එය ඔහු යොවුන් වියේ සිට ජාතික සහ ජාත්‍යන්තර කෙළිබිමේ දී ලත් අත්දැකීම් මනා කළමනාකරණය කර ගැනීමක් ලෙස දැක්විය හැකි ය. කිලෝ ග්‍රෑම් 89 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 135 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 165 ක් ද වශයෙන් මුළු බර එකතුව ලෙස කිලෝ ග්‍රෑම් 300 ක් සාර්ථක ව ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තා ත්‍රිත්වය බිහි කිරීමට පුලතිසිපුර රන් සලකුණ ට එහිදී හැකි විය.
මේ අතර වාරයේ තිලංක විරාජ් කුමාර පළගසිංහ කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තිය යටතේ තරග වදිමින් ක්ලීන් ඇන්ඩ් ජර්ක්
ක්‍රමයට නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
කිලෝ ග්‍රෑම් 150 ක් උසුලමින් අදාළ වාර්තාව තමන් නමින් ලියවා ගැනීමට පළගසිංහ ට එහිදී හැකි විය.
ශානක මධුශංක පීටර්ස් ද කිලෝ ග්‍රෑම් 102 ට අඩු ශරීර බර පන්තිය යටතේ තරග වදිමින් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එතෙක් පැවැති ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යන්නට සමත් වූයේ කිලෝ ග්‍රෑම් 174 ක බර ප්‍රමාණයක් සාර්ථකව ඔසවමිනි.
එළඹෙන දෙසැම්බර් මස උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාව සඳහා සහභාගී කරවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් පිළිබඳ ව විශ්වසනීයත්වය ඇති කිරීමක් වශයෙන් මෙම පෙරහුරු තරගාවලිය පැවැත්විණි.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති ධුරයට අභිනවයෙන් පත්වූ අශෝක බණ්ඩාර මහතාගේ මඟ පෙන්වීම අනුව සංවිධානය කර තිබුණු මෙම විශේෂ තරගාවලිය පූර්ව සූදානම අතින් ඉහළ අගයක් ගෙන තිබිණි. එය ජාතික මට්ටමේ තරගාවලියකට අනුරූපීව සංවිධානය කර තිබීම ද කැපී පෙනුණි.
සපුමල් වීදිය බණ්ඩාර