හොඳ ම අශ්වයෝ අද සුගතදාස පිටියේ | සිළුමිණ

හොඳ ම අශ්වයෝ අද සුගතදාස පිටියේ

 

'ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අද (31) කොළඹ සුගතදාස පිටියේ දී අවසන් වීමට නියමිත ය. මෙරට විශිෂ්ටත ම මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලිය සම්බන්ධයෙනි මේ.'

තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ 99 වැන්නේ දෙවැනි අදියර අද (31) කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී නිමාවට පත් කිරීමට නියමිත ය.

 

මෙවර තරගාවලියේ දෙවැනි අදියර පසුගිය අගෝස්තු මස 09 සහ 10 යන දෙදින කොළඹ දී පැවැත්වීමට ගත් පළමු උත්සාහය අසාර්ථක වූයේ පළාත් අතර සංචරණය සීමා කිරීමට සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශය අනුව ය.

එහෙත්, දැන් රටම සැලකිය යුතු මට්ටමකට යථා තත්ත්වයට පත්ව ඇති බැවින් දෙවැනි අදියරේ තරග සාර්ථක කර ගැනීමට හැකි බව සංගමයේ අදහස ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූල ව මෙවර ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලියේ සියලුම තරග ඉසව් ඔක්තෝබර් 30 සහ 31 පැවැත් වීමට මලල ක්‍රීඩා සම්මේලනය ඒ අනුව පියවර ගත්තේ ය.

මීටර් 200 (පිරිමි සහ කාන්තා), මීටර් 800 (පිරිමි), මීටර් 1500 (පිරිමි සහ කාන්තා), මීටර් 5000 (පිරිමි සහ කාන්තා), මීටර් 10000 ( පිරිමි සහ කාන්තා), මීටර් 100 කඩුලු ( කාන්තා), මීටර් 400 කඩුලු (කාන්තා), දුර පැනීම (කාන්තා), උස පැනීම (පිරිමි සහ කාන්තා), රිටි පැනීම (පිරිමි සහ කාන්තා), තුන්පිම්ම (පිරිමි සහ කාන්තා), යගුළිය (පිරිමි සහ කාන්තා), මිටිය විසි කිරීම (පිරිමි සහ කාන්තා), දස ප්‍රයාම (පිරිමි), කවපෙත්ත (පිරිමි සහ කාන්තා) සප්ත ප්‍රයාම (කාන්තා) ඉසව් කීපයක් ඊයේ (30) පැවැති අතර සෙසු තරග අද දින පැවැත්වේ.

ජාත්‍යන්තර මට්ටමේ සහ ජාතික මට්ටමේ ජයග්‍රාහී ක්‍රීඩික ක්‍රීඩිකාවන් මෙන් ම අනාගත බලාපොරොත්තු තැබිය හැකි හා පරිසාධන මට්ටම් වෙත ළඟා වී ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 ක් පමණ මේ සඳහා කැඳවීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබුණේ ඒ අනුව යමිනි.

අද දිනයේදී පිරිමි මීටර් 10,000, මීටර් 1,500 මීටර් 400 කඩුලු, මීටර් 3000 බාධක, උස පැනී ම, යගුළිය දැමීම, දස ප්‍රයාම සහ මිටිය විසි කිරීම මෙන්ම කාන්තා මීටර් 5000, 400 කඩුලු, රිටි පැනීම, යගුලිය දැමීම, මිටිය විසි කිරීම, උස පැනීම සහ සප්ත ප්‍රයාම අවසන් තරග ඉසව්වන් පැවැත්වේ.

රට තුළ පවතින "කොවිඩ් 19" තත්ත්වය මුල් කර ගනිමින් අදාළ තීරණයට එළැඹ තිබේ. ඒ, තරග ඉසව් සඳහා ඊයේ සහභාගී වූ හා අද සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් උද්ගතව ඇති වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙසිනි.

පසුගිය ජූලි - අගෝස්තු ජපානයේ ටෝකියෝ අගනුවර දී පවත්වන ලද 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ පළමු අදියර මැයි මස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කරන්නට යෙදුණි. එය ඉසව් කිහිපයකට පමණක් සීමා විය.

2022 මලල ක්‍රීඩා දින දසුන

එළැඹෙන 2022 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙරට මලල ක්‍රීඩා දින දර්ශනය එළි දැක්වීමට ‍ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලිය සහ ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලිය මෙන්ම චීනයේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට හා එංගලන්තයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ පරීක්ෂණ ද මෙයට ඇතුළත් ය.

ඒ අනුව ක්‍රියාත්මක කෙරෙන ජාතික ජ්‍යෙෂ්ඨ තරගාවලිය අප්‍රේල් මස 08.09 සහ 10 දිනවල ද ජාතික කනිෂ්ඨ තරගාවලිය මැයි මස 09. 10. 11 සහ 12 යන දිනවල ද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

ශත සංවත්සරය සමරමින් මෙරට ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය මෙවර සංවිධානය කර තිබීම ඒ අතර විශේෂත්වයකි. ශ්‍රී ලාංකේය ජන හදවත් තුළට මලල ක්‍රීඩාව රැගෙන යෑමේ වැඩසටහන් කිහිපයක් සැලසුම් කර තිබීම ඒ අතර කැපී පෙනේ.

පෙබරවාරි මස 11,12 සහ 13 දිනවල ආසියානු කනිෂ්ඨ ශූරතා තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ පළමු පරීක්ෂණය සහ ආසියානු යොවුන් ශූරතා තරගාවලියට සුදුස්සන් නම් කිරීමේ අවසන් පරීක්ෂණය ද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වීමට සැලසුම් කර ඇත.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ අවසන් පරීක්ෂණය මැයි මස 09, 10, 11 සහ 12 දිනවල ද ශ්‍රී ලංකා ජාතික උසස් දක්ෂතා පුහුණු සංචිතයේ ඇගයීම් පරීක්ෂණය ජුනි මස 11සහ 12 දිනවලද පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ජූලි මස 02 දින ද ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සැප්තැම්බර් මස 03 දින ද සුගතදාස ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය සැලසුම් කර තිබෙන්නේ විපුල ඵල ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණ ඇතිවය .

ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණය

මේ අතරවාරයේ නොවැම්බර් මස 13 සහ 14 කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත් වෙන ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණය සදහා තවත් තරග ඉසව් 12 ක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.

මීටර් 1500 (බාලක සහ බාලිකා), රිටි පැනීම (බාලක සහ බාලිකා), යගුළිය දැමීම (බාලක සහ බාලිකා), කවපෙත්ත විසිකිරීම (බාලක සහ බාලිකා), මිටිය විසිකිරීම (බාලක සහ බාලිකා), කිලෝ මීටර් 05 තරග ඇවිදීම (බාලිකා) කිලෝ මීටර් 10 තරග ඇවිදීම (බාලක) ඇතුළත් කර ඇති නව තරග ඉසව්වන් ය.

එමෙන්ම මෙම මූලික පරීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කළ හැකි දිනය ද නොවැම්බර් 02 (අඟහරුවාදා) දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

මෙවර යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය එළඹෙන 2022 මාර්තු මස 01 සිට 04 යන දින දක්වා ක්වේට් දේශයේදී පැවැත් වීමට ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබෙන්නේ ආසියාතික රටවල දක්ෂත ම ක්‍රීඩක ක්‍රීඩීකාවන් හඳුනා ගැනීමේ අරමුණිනි.

මීට පෙර මීටර් 100 (බාලක සහ බාලිකා), මීටර් 200 (බාලක සහ බාලිකා), මීටර් 400 (බාලක සහ බාලිකා), මීටර් 800 (බාලක සහ බාලිකා), මීටර් 3000 (බාලක සහ බාලිකා), මීටර් 110 කඩුලු (බාලක), මීටර් 100 කඩුලු (බාලිකා), මීටර් 400 කඩුලු (බාලක සහ බාලිකා), මීටර් 2000 (බාලක සහ බාලිකා), උස පැනීම (බාලක සහ බාලිකා), දුර පැනීම (බාලක සහ බාලිකා), තුන්පිම්ම (බාලක සහ බාලිකා), හෙල්ල විසි කිරීම (බාලක සහ බාලිකා), යන ඉසව් වෙනුවෙන් අයදුම් පත් කැඳවා තිබිණි.

තම අයදුම්පත් ලේකම්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07. යන ලිපිනයට යොමු කරන මෙන් දක්ෂතා පූර්ණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය ඉල්ලා සිටියි.

සපුමල් වීදිය බණ්ඩාර

Comments